Home » ‘අපි යූත් සමාජය’ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක්වෙයි

‘අපි යූත් සමාජය’ අලුත් අවුරුදු උත්සවයට ජනපති එක්වෙයි

by sachintha
April 16, 2024 1:01 am 0 comment

නුවරඑළිය මීපිළිමාන ‘අපි යූත් සමාජය’ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවය පෙරේදා (14) දිනය පුරා මීපිළිමානේදී පැවැත්වුණු අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද එම අවස්ථාවට සහභාගි විය.

පැරණි සිරිත් විරිත්වලට මුල් තැන දෙමින් සංවිධානය කර තිබූ මෙම අලුත් අවුරුදු උත්සවය සාම්ප්‍රදායික ක්‍රීඩා අංග රැසකින් සමන්විත වූ අතර, සංස්කෘතිකාංග රැසකින්ද වර්ණවත් විය.

අවුරුදු උත්සව භූමිය වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවුරුදු තරග කිහිපයක් නැරඹූ අතර, පෙරවරුවේ පැවැති බක්මහ පාපැදි තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ලබාදීම ද ජනාධිපතිපතිවරයා අතින් සිදුවිය.

අවුරුදු උත්සවයට පැමිණි මීපිළිමාන ප්‍රදේශයේ ජනතාව සමඟ ජනාධිපතිවරයා සුහද පිළිසඳරක නිරතවූ අතර, එම ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට විසඳුම් ලබාදෙන බවද පැවසීය.

මෙයට සමගාමීව දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ජනතාව එකතුව මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් අවුරුදු උත්සව රැසක් සංවිධානය කර ඇත. පසුගිය වසරට සාපේක්ෂව මෙවර වැඩි අවුරුදු උත්සව ප්‍රමාණයක් සංවිධානය කර තිබීම ද කැපීපෙනෙන තත්ත්වයකි.

මීපිළිමාන අවුරුදු උත්සවය සඳහා සංචාරක හා ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ඇතුළු ප්‍රාදේශීය දේශපාලනඥයන් පිරිසක් ද එක්ව සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT