Home » පොලිසියේ දෙදෙනාට එරෙහිව කළ සියලු විමර්ශන CID යට
තරුණයකුට පහරදී වෘෂණ කෝෂයක් අහිමි කිරීම

පොලිසියේ දෙදෙනාට එරෙහිව කළ සියලු විමර්ශන CID යට

by sachintha
April 17, 2024 1:04 am 0 comment

කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත්වරියගෙන් පොලිස්පතිට නියෝග

මැදවච්චිය OICගේ ක්‍රියාකලාපය ගැනත් වාර්තාවක් ඉල්ලයි

සැරයන්-PC ලබන 24දා දක්වා යළි රිමාන්ඩ්

නීතිඥ සංගමයටත් කරුණු දක්වන්න අවසර

රථවාහන පරීක්ෂාවකදී 23 හැවිරිදි තරුණයකුට තදබල ලෙස පහරදී බරපතළ තුවාල සිදු කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකුට එරෙහිව කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කෙරෙමින් පවතින සියලු විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙස මැදවච්චිය මහේස්ත්‍රාත් ඉමේෂා ධර්මදාස මෙනෙවිය පොලිස්පතිවරයාට නියෝග කළාය.

මෙම සිද්ධියේදී මැදවච්චිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරිය උතුරු මැද දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කරනු ලැබුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් කර සිටින පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා තවදුරටත් මේ මස 24 වැනි දින දක්වා රිමාන්ඩ් කරන ලෙසට ද නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එදිනට සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා සූදානම් කරන ලෙසට ද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කෙරිණි.

මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (16) මැදවච්චිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා ඇතුළු විශේෂ නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂයෙන් කැපී පෙනිණි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ නීතියේ ආධිපත්‍යය හා පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් සක්‍රියව මැදිහත් වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ව්‍යවස්ථාවට අනුව බලය පවතින බවයි.

යුක්තිය ඉෂ්ට වීමට මෙවැනි අවස්ථාවලදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය අධිකරණයට සහාය වීමට නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස මෙම නඩුවට මැදිහත් වන බවත් ඊට අධිකරණයේ අවසරය ලබා දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ, නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ මෙම පහරදීම සිදුව තිබෙන්නේ අදාළ රියැදුරා පොලිසිය භාරයේ සිටියදී බවයි.

පහර දීමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ සහ වැටලීමට සහාය වූ අනෙක් පොලිස් නිලධාරීන් හතර දෙනාගේ මැදවච්චිය පොලිසියේ ඇති පැමිණීමේ සහ පිට වීමේ සටහන් තොරතුරු පොත් සහ සාක්කු සටහන් පොත්, නඩු භාණ්ඩ ලෙස නම් කරන ලෙස ද ජනාධිපති නීතිඥ නලින්ද මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තම සංගමය මෙවැනි සිද්ධිවලට නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස මැදිහත් වන්නේ කිසිවකුට පුද්ගලිකව පහර දීමේ හෝ අපහසුතාවට ලක් කිරීමේ අදහසකින් නොවන බව ද අවධාරණය කළ ජනාධිපති නීතිඥවරයා, මෙවැනි මැදිහත් වීම් තුළින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අරමුණ වන්නේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බවයි.

පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායක මහතාගේ උපදෙස් මත අධිකරණයට කරුණු දක්වමින් හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරි එස්.පී. එදිරිසිංහ මහතා පැවසුවේ, එම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියලු විමර්ශන කටයුතු මේ වන විට අපක්ෂපාතීව විධිමත්ව, මනා විනිවිදභාවයකින් සිදු කෙරෙමින් පවතින බවයි.

එකී විමර්ශන යම් ප්‍රමාණයක් මේ වන විට අවසන්ව ඇති බව ද සහකාර පොලිස් අධිකාරි එස්.පී. එදිරිසිංහ මහතා තවදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

තවදුරටත් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කළේ මැදවච්චිය පොලිසි ස්ථානයේ රථ වාහන අංශයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයකු වන මැදවච්චිය පූනෑව, පලුගොල්ලෑව ලිපිනයේ පදිංචි එස්. රෝහණ සමන්ත සේනානායක සහ කොස්තාපල්වරයකු වන ඇටවීරගොල්ලෑව, ඇතාකඩ ලිපිනයේ පදිංචි එස්. කපිල ජගත් සෙනෙවිරත්න යන සැකකරුවන්ය.

පැමිණිල්ල වෙනුවෙන් කැබිතිගොල්ලෑව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල සමන් වික්‍රමනායක මහතාගේ ඍජු අධීක්ෂණ යටතේ අධිකරණයට කරුණු දැක්වීම සඳහාම විශේෂයෙන් පත් කළ හොරොව්පොතාන සහකාර පොලිස් අධිකාරී එස්.පී. එදිරිසිංහ මහතා සහ කැබිතිගොල්ලෑව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පෙනී සිටි අතර සැකකරුවන් වෙනුවෙන් නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා සමඟ නීතිඥවරියන් වන නදීශා ජයසේන සහ මාරි සෙනෙවිරත්න මහත්මිය පෙනී සිටියහ.

නිරීක්ෂණ පාර්ශ්වයක් ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනාධිපති නීතිඥ කෞශල්‍ය නවරත්න, නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස, අනුරාධපුර නීතිඥ සංගමයේ සභාපති නීතිඥ කාලිංග රවින්ද්‍ර හා අනුරාධපුර නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ වතුර ධනංජය රණතුංග මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටි අතර, අගතියට පත් පාර්ශ්වයේ අයිතිවාසිකම් වෙනුවෙන් නීතිඥ අරවින්ද හබක්කල සහ නීතිඥ අනුෂ්කා දන්තනාරයන මහත්මිය පෙනී සිටියහ.

සැකකාර පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක් වූ රථ රියැදුරා වන විසිතුන් හැවිරිදි දිලීෂ සංගීත් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ශල්‍යකර්මයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුගේ වෟෂණ කෝෂයක් ඉවත් කර ඇත.

අනුරාධපුර – උපාලි ආනන්ද, කැබිතිගොල්ලෑව සමූහ – එස්.ජී. උබේපාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT