Home » අවුරුදු නෑගම් යද්දී මෝටර් රථය ගසක හැපී නැන්දම්මයි ලේළියි මරුට

අවුරුදු නෑගම් යද්දී මෝටර් රථය ගසක හැපී නැන්දම්මයි ලේළියි මරුට

by sachintha
April 17, 2024 1:07 am 0 comment

අවුරුදු උදාවත් සමඟම මැදියම් රැය පසුවී කලපලුවාව එක්සත් මාවතේ පවුලේ පිරිසක් හාලිඇළ ප්‍රදේශයේ නිවෙසක් වෙත අවුරුදු නෑගම් යෑම සඳහා මෝටර් රථයකින් පිටත් වූයේ සැම වසරකම යනු ලබන ගමනක් ලෙසිනි. වාහනය පදවාගෙන ගොස් ඇත්තේ සමන් තුෂාර නමැති අයකු වන අතර ඔහුගේ බිරිය, දියණිය සහ මව ද එම රථයේ ගමන් කර තිබේ.

බදුල්ලේ හාලිඇළ පදිංචිව සිටින සමන් තුෂාරගේ වැඩිමල් දියණියගේ නිවෙස වෙත යමින් සිටියදී පසුගියදා (14) හිමිදිරියේ හාලිඇළදී රථය ගසක වැදී අනතුරට පත්ව ඇත්තේ සිය දියණියගේ නිවෙසට කිලෝමීටර හතරක පහක පමණ දුරක් තිබියදීය.

මේ අවස්ථාවේදී අසල්වාසීන් පැමිණ විශාල වෙහෙසක් දරා බරපතළ තුවාල ලබා සිටි පිරිස බදුල්ල මහ රෝහල වෙත ගෙනයනු ලැබීය. රෝහල වෙත ගෙනයන අතරතුරේම දෙදෙනකු මිය ගොස් තිබේ.

ඒ සමන් තුෂාරගේ මව වන කමලා දිසානායක (76) සහ ඔහුගේ බිරිය වන ශියානි හේවගේ (51) යන අයයි. රිය පදවාගෙන ගිය සමන් තුෂාර සහ ඔහුගේ බාල දියණිය වන ලිහිණි කාවින්ධ්‍යා (21) බරපතළ තත්ත්වයේ පසුවන අතර ඔවුන් මේ වන විට බදුල්ල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

මිය ගිය දෙදෙනාගේ (නැන්දණිය සහ ලේලිය) දේහයන් කලපලුවාව එක්සත් මාවතේ පිහිටි නිවෙසේ තැන්පත් කර තැබීමෙන් අනතුරුව ඊයේ (16) සවස කලපලුවාව පොදු සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබීය.

මුල්ලේරියාව – සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT