Home » රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළැයි සුරාබදු නිලධාරියෙක් රිමාන්ඩ් – මානසික වෛද්‍ය වාර්තාවකුත් කැඳවයි

රෝහණ බැද්දගේගේ ගීතය විකෘති කළැයි සුරාබදු නිලධාරියෙක් රිමාන්ඩ් – මානසික වෛද්‍ය වාර්තාවකුත් කැඳවයි

by sachintha
April 18, 2024 1:20 am 0 comment

ප්‍රවීණ කලාකරු රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කරන ජනප්‍රිය අවුරුදු ගීතයක් වන “සූරිය මංගල්ලේ“ ගීතය අසැබි වචන යොදා සංස්කරණය කළැයි කියන අයකු මේ මස 22 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් උපුල් අලගියවන්න මහතා නියෝග කළේය.

සැකකරු කුරුණෑගල මානසික වෛද්‍ය ඒකකයට යොමු කර වෛද්‍ය වාර්තාවක් ද එදිනට උසාවියට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

එසේ රක්ෂිත බන්ධනාගාරගත කළේ දුම්මලසූරිය සුරාබදු උප කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහනුවර තලාතුඔය පදිංචිකරුවෙකි.

සිංහල අලුත් අවුරුද්දේ සංස්කෘතිකමය රසය වඩා තීව්‍ර වන අන්දමින් ප්‍රවීණ සංගීතඥ ජනශ්‍රැති පර්යේෂක රෝහණ බැද්දගේ මහතා විසින් රංවල බළකාය සමඟින් නිර්මාණය කරමින් ජනප්‍රසාදයට පත් සූරිය මංගල්ලේ ගීතය එසේ තනුව සංගීතය පවතින්නට හැර වචන විකෘති කර සැකකරු විසින් ප්‍රතිනිර්මාණය කර ඇතැයි සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ඇතුළු පාර්ශ්ව කිහිපයකින් ලද පැමිණිලි කීපයක් පදනම් කර ගනිමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පරිගණක අපරාධ විශේෂ ඒකකයට පවරා තිබූ විමර්ශන අනුව එම ඒකකයේ වයඹ පළාත් ඒකකය මඟින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පරිගණක අපරාධ කොට්ඨාස නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වූහ. එමෙන්ම 2014 රූපවාහිනී නාලිකාවක අවුරුදු තේමා ගීයක ඉතාම අශෝභන වචන යොදමින් ප්‍රතිනිර්මාණය කිරීම සම්බන්ධව එහි නිර්මාතෘ රෝහණ බැද්දගේ මහතා ඇතුළු පාර්ශ්ව ගණනාවක් මේ පිළිබඳ දැඩි අවදානයෙන් පසුවන බව ද පැවසීය.

සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥයන් එහිදී අධිකරණයේ අවදානය යොමු කරමින් පෙන්වා දුන්නේ සැකකරු අන්තර්ජාලයේ සංසරණය වෙමින් තිබූ වීඩියෝවක් තම මුහුණුපොත ඔස්සේ පළ කළා හැර ප්‍රතිනිර්මාණය නොකළ බවයි. එම ගීය තවත් ටික්ටොක්, යූටියුබ්, ෆේස්බුක් ආදි ගිණුම් රැසකම පවතින බව ද පෙන්වාදුන් නීතිඥයෝ එසේ අත්අඩංගුවට ගන්නේ නම් අති විශාල පිරිසක් අත්අඩංගුවට ගත යුතු බව ද පෙන්වා දුන්හ. එම ගීතයේ කිසිදු අසභ්‍ය වදනක් අඩංගු නොවන බැව් කී නීතිඥයෝ එසේ නම් ඔකපතන විද්‍යාලය නමින් පිටුවක් පවත්වාගෙන යමින් ප්‍රස්තුත කාරණාව ආකාරයට පාසල් ගීයක් පවා නිර්මාණය කර ඇති බව කියමින් සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලා සිටියහ.

දෙපාර්ශ්වයෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා ඇප ප්‍රතික්ෂේප කළේය.

පරිගණක අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මලීශ හේරත්, සැරයන් මහේෂ් (71191), දසනායක (60934), කුලසිංහ (93508) යන නිලධාරීන් පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ අතර මෙම නඩුවේ සැකකරු වෙනුවෙන් නීතිඥ චන්දන යාපා, තිනෙත් කොරසගල්ල යන මහත්වරු පෙනී සිටියහ.

කුලියාපිටිය – මෙවිරු ධනාන්, වාරියපොළ සමූහ – එන්.එම්. රවින්ද්‍ර ප්‍රභාත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT