Home » කිං කෝලිටත් වැඩ වරදී විනිසුරුට බැණවැදී දඩකයි හැනිබල්-වනිඳු සිද්ධියට සමානයි

කිං කෝලිටත් වැඩ වරදී විනිසුරුට බැණවැදී දඩකයි හැනිබල්-වනිඳු සිද්ධියට සමානයි

by sachintha
April 24, 2024 1:33 am 0 comment

කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව පැවති අයිපීඑල් තරගයේදී විනිසුරු තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම හේතුවෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සුපිරි පිතිකරු විරාත් කෝලිට දඩ ගෙවීමට නියම විය.

මේ තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණකින් පරාජයට පත්වූ අතර, කෝලි දැවී ගියේ ඉණට උඩින් එවූ ෆුල් ටෝස් පන්දුවකට හර්ෂිත් රානා අතට උඩ පන්දුවක් ලබාදීමෙනි. එම පන්දුව නිපන්දුවක් බවට කෝලි විනිසුරු තීරණය අභියෝගයට ලක් කළද, රූපවාහිනී විනිසුරු එය දැවී යෑමක් බව තීරණය කළේය.

පන්දුව ඉණට මදක් ඉහළින් ගමන් ගත්තද, පිතිකරුවා ඒ මොහොතේ ‘බැටින් ක්‍රීස්’ එකෙන් පිටත සිටගෙන සිටි බවට විනිසුරු නිගමනය විය. රූපවාහිනී විනිසුරු මයිකල් ගෆ් මහතා විසින් වරින් වර පන්දුව ගමන්ගත් උස පරීක්ෂා කළ අතර රූපවාහිනී නිරීක්ෂණයට අනුව, ඔහු ක්‍රීස් එකේ සිටගෙන කෙළින් සිටියේ නම් පන්දුව මීටර් 0.92 ක් උසින් කෝලිගේ ඉණ පසුකර යාමට ඉඩ තිබී ඇත.

දැවී යෑම ප්‍රකාශවීමෙන් අනතුරුව පිටියේ විනිසුරුගේ මුහුණටම බැණ වැදුණ කෝලි කලබල වූ පුද්ගලයෙකු ලෙස පිටියෙන් ඉවත් වූයේය. කලකිරුණු කෝලි හතරේ සීමාව අසල තිබූ ප්ලාස්ටික් බඳුනකට පිත්තෙන් ගසා කෝපය පළ කළේය.

මේ හේතුවෙන් ඊඩ්න් ගාඩ්න්ස් පිටියේදී අයිපීඑල් ආචාර ධර්ම පද්ධතිය කඩ කිරීම සම්බන්ධයෙන් විරාත් කෝලිට, ඔහුගේ තරග ගාස්තුවෙන් සියයට 50ක දඩයක් නියම විය. පසුව කෝලි මේ පළමු මට්ටමේ වරද පිළිගෙන තරග තීරකගේ අවසරය ලබාගෙන තිබේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT