Sunday, May 5, 2024
Home » මෙරට පළමු ස්ට්‍රෝබෙරි ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට පියවර

මෙරට පළමු ස්ට්‍රෝබෙරි ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට පියවර

by sachintha
April 26, 2024 2:00 am 0 comment

මෙරට පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතාගේ උපදේශකත්වයෙන් ආරම්භ කෙරෙන මේ ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ගම්මානය නව තාක්ෂණය යොදා ගනිමින් අපනයනය ඉලක්ක කර ගත් නව වගාවන් කෙරෙහි ගොවි ජනතාව හුරු කරවීමට රජයෙන් ආරම්භ කර ඇති වැඩපිළිවෙළකි.

මේ වැඩපිළිවෙළ යටතේ නුවරඑළියේ ගොවීන් 40 දෙනකු තෝරාගෙන ඇති අතර, ඔවුන්ට ස්ට්‍රෝබෙරි වගා කිරීමට රුපියල් මිලියන 30ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සපයයි. එම ගොවීන්ට අවශ්‍ය ස්ට්‍රෝබෙරි පැළ, වගාව සඳහා නව තාක්ෂණය සහ ජල සම්පාදන කටයුතු ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සැපයීම සිදු කෙරේ.

විශේෂයෙන් මේ වගාවේදී ගොවියකුට රුපියල් ලක්ෂ 13ක පමණ මුදලක් වැය වන අතර, එයින් රුපියල් 750,000ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් නැවත අය කරගැනීමකින් තොරව දීමට කටයුතු යොදා තිබේ. ඉතිරි ලක්ෂ 06ක මුදල අදාළ වගාවෙහි නියුතු ගොවීන් විසින් දරයි.

නුවරඑළියේ ආරක්ෂිත ගෘහ තුළ මේ ස්ට්‍රෝබෙරි වගාව සිදු කරන අතර, ආරක්ෂිත ගෘහ 40ක් මේ වන විට සකස් කර ඇත. මේ ආරක්ෂිත ගෘහ සියල්ලම සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රියව දුරස්ථ පාලන යෙදවුමකින් ක්‍රියාත්මක කළ හැකිවේ. මේ වගාවට අවශ්‍ය ස්ට්‍රෝබෙරි පැළ මේ මස අවසන් වීමට ප්‍රථම ආනයනය කිරීමට කටයුතු යොදා තිබේ. එක් ආරක්ෂිත ගෘහයක් තුළ දළ වශයෙන් ස්ට්‍රෝබෙරි පැළ 300ට වැඩි ප්‍රමාණයක් වගා කරනු ලබයි. එම පැළ මෙරටට ලැබුණු විගස වගාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම්. ඒ. එල්. අබේරත්න මහතා පවසයි. මේ ස්ට්‍රෝබෙරි වගාව දේශීය වශයෙන් මෙන්ම අපනයනය ද ඉලක්ක කරමින් වගා කිරීමට නියමිත අතර, ගොවීන්ගෙන් අස්වැන්න මිලදී ගැනීමට අවශ්‍ය පහසුකම් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් මේ වන විටත් සංවිධාන කර ඇත.

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT