Sunday, May 5, 2024
Home » වේගයෙන් ඇවිද ලෝක වාර්තා තැබූ හිරුකිට පාර්ලිමේන්තුවේදී ඇගයීමක්

වේගයෙන් ඇවිද ලෝක වාර්තා තැබූ හිරුකිට පාර්ලිමේන්තුවේදී ඇගයීමක්

by sachintha
April 26, 2024 2:00 am 0 comment

වේගයෙන් ඇවිද ලෝක වාර්තාවක් තැබූ කැලණිය පිලපිටිය ජනාධිපති විද්‍යාලයේ 3 වැනි වසරේ ඉගෙනුම ලබන 8 හැවිරිදි හිරුකි බිනෝද්‍යා දැරියට ලොව පුරා රටවල් 26ක ක්‍රියාත්මක වන චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානය විසින් පිරිනමන ලද ඇගයීම් සම්මානය ඊයේ (25) පාර්ලිමේන්තු සංකීර්ණයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සුරතින් පිරිනැමිණ.

පුංචි හිරුකිගේ දක්ෂතාවය අගය කරමින් කැලණි කලාපය නියෝජනය කරමින් එම අවස්ථාව දැරියට ලබා දුන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ද එයට එක්ව සිටියේය. සම්මානය පිරිනැමීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් සිදු කිරීමට නියමිතව තිබුණ ද අග්‍රාමාත්‍යවරයාගේ කාර්යබහුලත්වය හේතුවෙන් අධ්‍යාපන ඇමැතිවරයා එම සම්මානය හිරුකිට ප්‍රදානය කර ඇත.

චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝඩ් සංවිධානයේ වාර්තා අනුව මේ වන විට අඩුම කාලයකින් කිලෝමීටර් 10ක් දුර වේගයෙන් ඇවිද ලෝක වාර්තාවක් තැබූ ළාබාලම දැරිය ලෙස හිරුකි බිනෝද්‍යා සම්මානයට පාත්‍ර වීම රටක් වශයෙන් අපට ඉතාම සතුටක් බව සිය සතුට ප්‍රකාශ කරමින් අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

චෝලන් බුක් ඔෆ් වර්ල්ඩ් රෙකෝර්ඩ් සංවිධානයේ ශ්‍රී ලංකාවේ උප සභාපති ශ්‍රී නාගවානි රාජා මහතා සහ පෑලියගොඩ නගර සභාවේ හිටපු නාගරික මංත්‍රී ෂැල්ටන් පෙරේරා මහතා ද හිරුකි බිනෝද්‍යා දැරියගේ මවුපියෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කැලණිය – කේ.එස්. හැන්නදි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT