Sunday, May 5, 2024
Home » නීති විරෝධී තංගුස් දැල් කිලෝ 1870ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෝ මාට්ටු

නීති විරෝධී තංගුස් දැල් කිලෝ 1870ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෝ මාට්ටු

by sachintha
April 26, 2024 1:59 am 0 comment

ලක්ෂ සියයක වැඩි වටිනාකමකින් යුතු ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද තහනම් තංගුස් දැල් කිලෝ 1870ක්, ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු ද සමඟින් කල්පිටිය පොලිසිය විසින් පෙරේදා (24) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. කල්පිටිය නගරයේ කුලී පදනම මත ලබා ගත් කාමරයක උර 55ක අසුරා තිබිය දී මෙම තංගුස් තොගය සොයා ගෙන තිබිණි. සැකකරු මන්නාරම, එරුකලම්පිටිය, අංක 5 කොට්ටාදයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

මෙම වැටලීම පිළිබඳව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා පැවැසුවේ, 1996 අංක දෙක ධීවර හා ජලජ සම්පත් පනතේ සහ 2011.11.21 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ සඳහන් පරිදි ඒක සූත්‍රිකවලින් නිම වූ තෙල්ගාර නූල් යොත් කැරලි කඹවලින් ගැට ගසා නිමකළ දැල් රෙදිවලින් නිම කළ මාළු දැල් සන්තකයේ තබා ගැනීම, භාවිත කිරීම, ආනයනය සහ ප්‍රවාහනය සපුරා තහනම් බව ය. මෙම දැල් භාවිතය නිසා සාගර සහ කළපු පරිසර පද්ධතියටත්, මත්ස්‍ය හා ජලජ ප්‍රජාවටත් විශාල හානියක් සිදුවන බවත්ය.

කල්පිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරිලාල් එදිරිසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු විය. කල්පිටිය විජය නාවුක ආයතන සහ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ ධීවර පරීක්ෂක ටි.ආර්.බී.එන්.සමන් කුමාර, කල්පිටිය පොලිසිය මෙම වැටලීම සිදු කර ඇත. දැල් සහ සැකකරු ඉදිරි විමර්ශන සඳහා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

කල්පිටිය සමූහ – කුමාරි පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT