Sunday, May 5, 2024
Home » රත්නැල්ලට එන සංචාරකයන්ට පොදු පහසුකම් නෑ දෙස් විදෙස් සංචාරකයෝ දැඩි අපහසුතාවට
සුන්දරත්වයෙන් අනූන

රත්නැල්ලට එන සංචාරකයන්ට පොදු පහසුකම් නෑ දෙස් විදෙස් සංචාරකයෝ දැඩි අපහසුතාවට

by sachintha
April 26, 2024 2:00 am 0 comment

 

දිවයිනේ පස් වෙනි ස්ථානය හිමිකර ගෙන අති සුන්දරත්වයෙන් අනූන වූ හසලක මහ වනයේ පිහිටි මහල් හතකින් සමන්විත අඩි 300ක පමණ උසින් හා අඩි 100ක පමණ පළලකින් යුතු හසලක රත්නැල්ල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් අති රමණීය සුන්දර ස්ථානයකි. මෙය සොබාදහමේ අපූරු දායාදයකි.

මෙම ස්ථානය නැරඹීමට විශාල පිරිසක් දෛනිකව ගමන් කරන අතර එය සතියේ නිවාඩු දිනවල දෙගුණ තෙගුණ වෙන තත්වයක් පවතින බව ප‍්‍රදේශවාසීහු පවසති. දෙස් විදෙස් සංචාරකයින්ගේ හා පාසල් දරුවන්ගේ නෙත් සිත් බැඳගන්නා මේ මනස්කාන්ත ස්ථානයේ සංචාරකයන්ට අවශ්‍ය පොදු පහසුකම් නොමැතිකමින් ඔවුහු ඇතැම් අවස්ථාවල දැඩි පීඩාවන්ට මෙන්ම අපහසුතාවයන්ටද මුහුණපාන බව කියති. විශේෂයෙන් ආරක්ෂිත මාර්ග පද්ධතියක් හා සංචාරක මඟ පෙන්වන්නන් නොමැතිකම මේ ගමනේ තවත් ගැටලුකාරී තත්වයකි. දිය ඇල්ල පරිශ‍්‍රයේ වැසිකිළි කැසිකිළි පහසුකම් ඇත්තේම නැත. සුදෝ සුදු දිය බිඳක පහස ලබා ගන්නට යන සංචාරකයාට සිය ඇඳුම් මාරුකර ගැනීමටද සුදුසු කාමරයක් හෝ ස්ථානයක් නොමැතිකමද ඔවුන් අපහසුතාවයට පත් කරවන්නකි.

මිනිපේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රත්නැල්ල ග‍්‍රාමනිලධාරි වසමේ නකල්ස් රක්ෂිත මහ වනයේ පිහිටා ඇති මෙම දිය ඇල්ල කරා ගමන් කිරීමට ඇත්තේ එම වසමේ ඇල්දම්පෝරුව ගම්මානයේ සිට ඇල්දම්පෝරුව වැවට ජලය සැපයෙන ජල මාර්ගය ඔස්සේ කිලෝ මීටර් තුනක පමණ පා ගමනිණි. මෙම ගමන් මාර්ගයේ ඇතැම් ස්ථාන අඩියක පමණ පළලින් යුතු කොන්ක‍්‍රීට් බැමි මත මෙන්ම ගල් මත නැග ගමන් කිරීමේදී දෙපස අතවැල් රහිත අනාරක්ෂිත කොටස්ද තිබේ. මේ ගමනේ ඇත්තේ අනාරක්ෂිත තත්වයකි. ඇතැම් ස්ථානවලින් ගමන් කිරීමේදී පය පැටලී ලිස්සා ගිය බොහෝ දෙනෙකුට සිදුවූයේ දිය ඇල්ල නැරඹීමට යනවා වෙනුවට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබා ගැනීමටය.

මෙම ගමනේදී සංචාරකයින්ට මඟපෙන්වීමට හෝ සංචාරකයින්ගේ ආරක්ෂාවට කිසිවකු නොමැති වීම නිසා ඇතැම් තරුණයන් දිය ඇල්ලේ ඉහළ කොටසට යෑමට උත්සාහ කරන අතර එම ගමන අසීරු වන නිසා එම ගමනේදීද සිදුවූ අනතුරු බොහෝය. ඇතැමෙක් දිය ඇල්ලට පහළින් ගලා යන සුදෝ සුදු දිය පහරින් ගත නහවා ගැනීමට ප‍්‍රියතාවයක් දක්වන හෙයින් ඔවුන් ඔයට බැස දිය නෑමට යෑමේදීද ගල් සෙවල අල්ලා තිබෙන ගල්වල නැඟීමට උත්සාහ කිරීමේදී ද අනතුරුවලට භාජනය වෙන අවස්ථා ද නැතිවා නෙවේ.

ඇතැම් විදේශීය කණ්ඩායම්වල පැමිණෙන තරුණ පිරිස් රැගෙන එන මත්වතුර මේ ස්ථානයේදී පානය කර ගීත ගයා විනෝද වීමටත් ඇතැමෙක් කාන්තාවන්ට නොගැළපෙන විහිළු තහළු කරන බව ද සංචාරකයෝ පවසති. එවැනි අවස්ථාවල එම දෙපිරිස් අතරේ ගැටුම් පවා සිදුවූ බවද පවසති. මත්වතුරෙන් මත්වන මේ පිරිස එම හිස් බෝතල් ගල්වල ගසා විසි කරන අතර ආහාර පාන රැගෙන එන හිස් දවටන ද පරිසරයට මුදා හරිනු ලබයි. මෙය දේශීය සංචාරකයින් කරනු ලබන දැඩි පාරිසරික හානියක් බවද අවට ගම්වාසීහු පවසති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මිනිපේ ප‍්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් චන්ද්‍රසිරි මහවත්ත මහතා – අප ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ තිබෙන මෙම සංචාරක ආකර්ෂණීය ස්ථානය සංවර්ධනය විය යුතු බව අපි පිළිගන්නවා. මමත් මෙම ස්ථානය බලන්නට ගියා. ඔය කියන අඩුපාඩු අපහසුතා අපට දැනුනා. මේ සම්බන්ධයෙන් මම ගමේ අයත් සංචාරකයින් සමඟත් කතා කළා. ඔවුන්ගේ යෝජනා හා අදහස් ලබා ගත්තා. මේ සංචාරකයට අවශ්‍ය පහසුකම් ලබා දීලා තව තවත් සංචාරකයින් ගෙන්වා ගැනීමට අවශ්‍ය ව්‍යාපෘතියක් අපි සකස් කිරීමට අදහස් කරනවා. ඉන් පසු මෙම ව්‍යාපෘති වාර්තාව පළාත් සභාවේ සංචාරක අංශයටත් කොළඹ සංචාරක අමාත්‍යාංශයටත් යොමු කර මෙම ව්‍යාපෘතියට අවශ්‍ය අනුමැතිය හා ප‍්‍රතිපාදන ලබා ගැනීමට අදහස් කරනවා. අදාළ අනුමැතිය හා ප‍්‍රතිපාදන ලද වහාම ව්‍යාපෘතියේ වැඩ අපි ආරම්භ කරනවා. එවිට දැනට සංචාරකයා පත්ව සිටින අපහසුතාවයෙන් මුදාගෙන සුන්දර ගමනක් ඔවුන්ට යන්නට ලැබෙනවා වාගේම ගමේ පිරිසකට ස්වයං රැකියා මාර්ගවල දොරටු විවෘත වෙයි කියලත් මම විශ්වාස කරනවා.

හසලක සමූහ ඊ.එම්.එස්. ඒකනායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT