වැල මදුලෙන් කොස් ඇට පන්නන අරුම පුදුම අනාවැකි | දිනමිණ

වැල මදුලෙන් කොස් ඇට පන්නන අරුම පුදුම අනාවැකි

ජ්‍යොතිෂ අනාවැකි කීම දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා අවදානම් සහගත වැඩකි. විශාරදයන්ටත් වරදී. එහෙත් අපේ රටේ නම් එහෙම බයක් නැත.

වෙනදා කොස් ගසක් අසලකටවත් නො එන කපුටෝ වැල වරකා ගෙඩියක සුවඳ හමන විගස ම රෑන් රෑන් ඒ දෙසට ඇදී එති. ඉදී බෙරි වූ වැල ගෙඩියට ඔවුන් කොටන වාරයක් පාසා කොස් ඇට බිමට වැටේ. වැල මදුලකින් කොස් ඇට පනින්නේ ඒ තරම් ම ලේසී පාසුවෙනි.

රටේ කුමක් හෝ කලබලයක් වූ විට ඒ දෙසට ඉව අල්ලන එක්තරා රංචුවක් තම තමා ඒ බව පෙර දුටු බව කියමින් පොඩි වාසියක් ගන්නට බලති. ඒ හරියට ම වැල ගෙඩියට කපුටන් කොටන විට කොස් ඇට බිමට වැටෙන්නාක් මෙනි. ඔවුන්ගේ ඊනියා ජ්‍යොතිෂ අනාවැකි ඒ තරම් ම ලේසි පාසු වේ. ඊටත් වඩා විලි ලැජ්ජා විරහිත වේ.

ගංවතුර ව්‍යසනය සහ කොස්ගම ගින්න පිළිබඳව තම තමා කලින් ම අනාවැකි කී බවට ප්‍රචාරය කරන ඔවුන් ඒ සඳහා හේතු පාඨ නිදර්ශන ද පෙන්වයි. අලුත් අවුරුදු නැකත්වල දෝෂය නිසා ගංවතුර ගැලූ බව එකෙක් කියයි. ඊට වඩා තරමක් වත් ශාස්ත්‍රීය බවක් පෙන්වන තව කෙනෙක් සෙනසුරු සහ කුජ වෘශ්චිකයේ සිටින නිසා කොස්ගම ගින්න හට ගත් බව කියයි. මේ කිසිම හේතුවක් නො පෙන්වන තව කෙනෙක් කියන්නේ අවුරුද්ද මුලදීම තමා මේ සියල්ල කී බවයි. ඔවුන් දැන් කියන දේ සහ එදා කීවා යැයි කියා පෙන්වන දේවල් විපරම් කරන විට අපට සිහිපත් වන්නේ

දුන්න දුනු ගමුවේ - ඊ තල කිතල ගමුවේ

රාළ මීගමුවේ - මුවෙක් හැඬුවයි සපරගමුවේ

යන ජන කවිය යි. දුන්න එක තැනකය. ඊ තල වෙනත් තැනක ය. දඩයක්කාරයා සිටින්නේ ඊටත් සැතපුම් හැට හැත්තෑවක් ඈතින් ය. මුවෙක් මර ලතෝනි දෙන්නේ මේ සියලු තැන්වලට වඩා ගව් සිය ගණනක් දුරින් ය. ඒ අනුව අර දඩයක්කාරයා සහ මුවාගේ මර ලතෝනිය අතර කිසිම සම්බන්ධයක් නැති බව බබෙකුට වුවත් පෙනේ. ඒ පරිද්දෙන් ම මොවුන්ගේ බොරු අනාවැකි සහ පසුගිය දිනවල මෙරට හට ගත් ව්‍යසනයන් අතර ද කිසිම සම්බන්ධයක් නැත.

එහෙත් ජ්‍යොතිෂ සිද්ධාන්ත නො දන්නා සාමාන්‍ය ජනතාව බොහෝ විට මේවාට මුලාවනු පෙනේ. ජ්‍යොතිෂය භාවිතා කරමින් කෙනෙක් යම් අනාවැකියක් කියන්නේ නම් තමා ඒ සඳහා පදනම් කොට ගත් සිද්ධාන්තය කුමක් දැයි මුලින් ම පෙන්වා දිය යුතු ය. දෙවනුව එය පියවරෙන් පියවරට තර්කානුකූලව විශ්ලේෂණය කළ යුතු ය. තුන්වැනිව කාලය - ස්ථානය සහ හට ගත හැකි සිදුවීම කුමක් දැයි නිශ්චිතව පෙන්වා දිය යුතු ය. ජ්‍යොතිෂමය පුරෝකථනයක් සම්පූර්ණ වන්නේ මේ ශාස්ත්‍රීය පදනම ඒ හැටියට ම රැකුණොත් පමණි. මේ අනුසාරයෙන් ගංවතුර සහ කොස්ගම ගින්න ගැන ඉතා ආසන්නයට ම පුරෝකථනය කර තිබුණේ ජ්‍යොතිෂවේදීන් තිදෙනෙකු පමණි. ඔවුන් නිහඬ ය. එහෙත් කොහේවත් සිටි රංචුවක් තම තමා ඒ බව මුලින් ම කී බවට ජනතාව මුලා කරන්නේ ජ්‍යොතිෂයට බලවත් ලෙස නින්දා ගෙන දෙමිනි. මොකද ඔවුන් පෙන්වා දෙන හේතු සාධක ඒ තරමට ම විහිලු සහගත වන හෙයිනි. අලුත් අවුරුදු නැකත් දෝෂ නිසා ගංවතුර ගැලූ බව කීම මේ වර්ෂයේ හොඳම විහිලුව ලෙස වාර්තා ගත විය යුතු ය.

ජ්‍යොතිෂය භාවිතා කරමින් යම් යම් සිදුවීම් පිළිබඳව පුරෝකථනය කිරීම අද ඊයේ ඇති වූවක් නොවේ. ඒ සඳහා ඇත්තේ වසර දහස් ගණනක ඉතිහාසයකි. සිදුහත් කුමරු උපන් විට නැකත්කරුවන් කී අනාවැකි ද ජේසූ බිළිඳුන් උපන් මොහොතේ පෑයූ අමුතු නැකත් තරු දෙස බලමින් පෙරදිග සිට එහි ගිය ඉසිවරුන් පිළිබඳ කතාව ද අඩ සඳ සහ තරුව සංකේතවත් කොට ගත් කුරානයේ ආගමික කතාව ද ඉතා ප්‍රකට ය. එමෙන් ම පුරාතණ ජ්‍යොතිෂවේදීන් යම් යම් කාල පරිච්ජේදයන් හී මේ මේ සිදුවීම් හට ගන්නා බවට ලියා තිබූ පැපිරස් ලේඛන සහ ශෛලමය පුවරු අද පවා දක්නට ලැබේ. එසේ කී දේ අතර සැබෑ වූ දේ මෙන් ම මෙතෙක් සිදු නොවූ දේවල් ද දක්නට ලැබේ.

මෑත කාලයේ ඉතා දක්ෂ ලෙස ජ්‍යොතිෂ පුරෝකථනයන් ඉදිරිපත් කළ අය අතර බී.වී. රාමන් සහ ක්‍රිෂ්ණ මූර්ති යන විශාරදයෝ දෙදෙනා කැපී පෙනෙති. මොවුන් දෙදෙනා කී දේවල්වලින් අති බහුතරයක් ම සැබෑ වූ නමුත් බී.වී.රාමන් දේශපාලන අනාවැකි කියන්නට ගොස් දෙවරක් ම වරද්දා ගත්තේ ය. ජ්‍යොතිෂ අනාවැකි කීම දැලි පිහියෙන් කිරි කනවාටත් වඩා අවදානම් සහගත වැඩකි. විශාරදයන්ටත් වරදී. එහෙත් අපේ රටේ නම් එහෙම බයක් නැත. වැල මදුලෙන් කොස් ඇට පනින්නාක් මෙන් ඉතා ම ලේසි පාසුවෙන් අනාවැකි කියයි. ඒකට හේතුව නම් ලෝකායතන ජ්‍යොතිෂ සිද්ධාන්ත පිළිබඳව මෙලෝ හසරක් නො දැන සිටීම ය. අලුත් අවුරුදු නැකත් දෝෂ නිසා ගංවතුර ගැලූ බව කීම ඒ සඳහා එක් නිදසුනක් පමණි. මෙය ද කලින් කී දෙයක් නොව ගංවතුර ගැලූ පසු කියන කතාවකි. වඩාත් ම ලැජ්ජා හිතෙන්නේ ඒ නිසා ය.

භූ චලන , ජල ගැලීම් , සුළි කුනාටු , ආදී ස්වභාවික විපත් මෙන් ම රට රටවල සමාජ දේශපාලන පරිවර්තන පිළිබඳවත් කල් තබා දැන ගැනීමේ දියුණු ශාස්ත්‍රීය භාවිතයක් ජ්‍යොතිෂය සතුව තිබේ. ඒ සඳහා අප යොදා ගන්නේ ලෝකායතන ජ්‍යොතිෂය යි. ඉංග්‍රීසියෙන් එය Mundane Astrology කියා හඳුන්වනු ලබයි. මෙය සාමාන්‍ය කේන්දර බැලීමකට වඩා හාත්පසින් ම වෙනස් ක්‍රමවේදයකි. ග්‍රහ චලනය සහ විශේෂයෙන්ම සඳුගේ පිහිටීම ද සූර්ය සහ චන්ද්‍රග්‍රහණ වල්ගා තරු දේදුනු ආදිය මෙහිදී අත්‍යවශ්‍ය ලෙස පරීක්ෂාවට ලක් කෙරේ. ඒවා පිහිටන ජ්‍යාමිතික කෝණ සහ ග්‍රහ දෘෂ්ටි ද නැකත් සහ උපස්ථාන ආදිය ද මත කෙරෙන ඉතා පුළුල් සහ ඉතා සියුම් විශ්ලේෂණයකින් අනාගත සිදුවීම් පිළිබඳ අනුමානයන් උපදවා ගත හැකිය. ඒ මිස ජ්‍යොතිෂයෙන් අනාවැකි කිව නො හැක. අනාවැකි යන යෙදුම ජ්‍යොතිෂයට අදාළ වූවක් නො වන්නේ ජ්‍යොතිෂය නියතිවාදයක් නොවන හෙයිනි.

මෙරට සිටි කෘතහස්ත ජ්‍යොතිෂවේදියෙකු වූ එස්. ඩබ්ලිව්. කස්තුරිරත්න සූරීහු වරෙක මේ බොරු අනාවැකි කපුටන් අරභයා වෛදික ජ්‍යොතිෂයෙන් උපුටා ගත් ශ්ලෝකයක් මෙසේ ගෙන හැර දැක්වූහ.

'අශ්ව ප්ලූතං වෘක්ෂණ ගර්ජිතංවෙත්

ද්‍යාද්වර්ෂණං වාප්‍යථ වර්ෂණාවා

ස්ත්‍රී තාංච චිත්තං පුරුෂයිය භාග්‍යං

දේවෝ නජානාති කුතෝ මනුෂ්‍යක් '

එක පෙළට සිටින අශ්ව රංචුවක් තරගයට දුවන්නට ගතහොත් ඉන් දිනන්නේ කුමන අශ්වයාද ? අහස ගෙරවීම සහ අකුණු පහර වදින්නේ කොතැන ද ? මේ වේලාවට වසින්නේ ද නො වසින්නේ ද ? කිසියම් කෙනෙකුගේ වාසනාව හරියට ම කුමන මොහොතක උදා වන්නේ ද ? යන මේ කරුණු ගැන කල් තබා කීමට දෙවියෙකුට වත් නො හැකිය. එසේ නම් මනුෂ්‍යයන් මේවා ගැන කියන්නේ කොහොම ද ? යනු මේ ශ්ලෝකයේ අර්ථය වේ.

ඒක එහෙම නමුත් මේ ශ්‍රී ලංකාවේ සිටින්නේ රටේ මොකක් හෝ කලබලයක් සිදු වූ විට ඔන්න මං ඒක කලින් ම කීවා යැයි කියන දුන්න දුනු ගමුවේ වර්ගයේ අනාවැකි විශාරදයන් බව දෙවියන්ට ම ඔප්පු වෙච්චා වේ.!

කේ. සී.ජේ. රත්නායක

නව අදහස දක්වන්න