‘පුදනු නොලැබූ පිදිය යුත්තා’ නික්ම ගොස් අදට විසි වසරයි... | දිනමිණ

‘පුදනු නොලැබූ පිදිය යුත්තා’ නික්ම ගොස් අදට විසි වසරයි...

 ‘ක්ලැරන්ස් විජේවර්ධන කියන සංගීතවේදියා අපේ සංගීත ක්ෂේත්‍රයට එදා බිහි නොවුණා නම් මේ ක්ෂේත්‍රයේ විශාල හිස් තැනක් පවතින්න ඉඩ තිබුණා. එදා සීමිත පහසුකම් තුළ ඉදිරිය බලා ඔහු කරපු නිර්මාණ අපේ ගමනටත් ආලෝකයක්...

වර්තමානයේ අපේ ගී ලොවේ කුසලතාපූර්ණ ගායක සංගීතවේදියෙකු වන කසුන් කල්හාර කලකට පෙර ක්ලැරන්ස් විජේවර්ධනයන් පිළිබඳව දැක්වූ එම අදහස ක්ලැරන්ස් සම්බන්ධයෙන් එතෙක් මෙතෙක් පළ කෙරුණු සාධාරණම අගැයුම ලෙස මම සලකමි. ක්ලැරන්ස් ජීවතුන් අතර සිටියදී සිඩ්නි චන්ද්‍රසේකර හැදූ ‘නිදිකුම්බා මල්’ ටෙලිනාට්‍යයේ තේමා ගීතය ක්ලැරන්ස්ගේ සංගීතයට ගැයූ පණ්ඩිත් අමරදේවයන් ක්ලැරන්ස් වැනි ප්‍රතිභාසම්පන්න නවීනයෙකුගේ සංගීතයට ගයන්නට ලැබීම අගයමින් කතා කිරීම හැර ඔහු පිළිබඳව ඔහුගේ ජීවිත කාලය තුළදී නිසි අගැයුමක් කෙරුණේ නැත. දේශීය සංගීතය ගැන ලියවෙන ඕනෑම විටෙකදී පණ්ඩිත් අමරදේවයන් තරමටම ක්ලැරන්ස් විජේවර්ධනයන්ද වැදගත් වන බව තිස්ස අබේසේකර ක්ලැරන්ස්ගේ මරණින් පසුව පැවසීය. ක්ලැරන්ස් විජේවර්ධන දේශීය සංගීතයේ විනාශකාරයකු බවට වරක් හඳුන්වාදුන් වික්ටර් රත්නායක ඇතුළු පිරිස් ක්ලැරන්ස්ගේ ඇවෑමෙන් ‘කණ්ඩායම් සංගීතයේ’ නාමෙන් බිහිවූ අවර ගණයේ දේ දුටු පසුව ක්ලැරන්ස්ගේ සංගීතය ඊට වඩා කොතෙක් වටීදැයි සිතන්නට ඇතුවාට සැක නැත.

ගායනය - ගී පද රචනය හා සංගීතය යන අංශ ත්‍රිත්වයෙන්ම එක හා සමාන කුසලතා දැක්වූවන් විරල අපේ සංගීත ලෝකයේ ක්ලැරන්ස් එවැන්නන් අතර ද ඉහළින්ම සිටියේය. හපුතලේ ඉපදී වෛද්‍යවරයකු වූ සිය පියාගේ අකල් මරණින් පසුව රත්නපුරේ බටුගෙදර පදිංචියට ආ ක්ලැරන්ස් මිතුරු පිරිසක් සමඟ ‘මූන්ස්ටෝන්ස්’ සංගීත කණ්ඩායම පිහිටුවන්නේ එහිදීය. දිල්හානී දුවනී - මංගොනැන්ද - රුවන්පුරය අපේ ගම තමයි... වැනි ගීත සමඟ ‘මූන්ස්ටෝන්ස්’ සමඟ පෙරට එන ක්ලැරන්ස් ඉන් පසුව සිය අකල් මරණය දක්වා එක ලෙසින් නිර්මාණ කාර්යයේ නියැලුණේය. නෙවිල් ප්‍රනාන්දු විසින් හැදූ ‘කණ්ඩායම් සංගීතය’ නමැති දරුවා පෝෂණයකොට පොදු ජනතාව අතරට ගෙනයාමේ පුරෝගාමියා ලෙස ක්ලැරන්ස් විජේවර්ධන ඉතිහාසගත වීම වැළැක්විය නොහැකිය. කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ ‘දිලීප පොඩි පුතු සනීපයට නිදි’ ගීතය ගයමින් තනි ගායකයකු ලෙස මතු වූ ක්ලැරන්ස් ඉන්පසුව ගැයූ ‘මලට බඹරෙකු සේ’ – ‘රන් සමනලයින්’ – ‘හද විලේ ඔ‍බ පිපුනා’ – ‘පියඹා යනවා’ – ‘රන් දුනුකේ මලසේ’... ආදී ගීත සමුදාය අමරණීය වෙයි. ‘සුපර් ගෝල්ඩන් චයිම්ස්’ යුගයේ ඔහු හැදූ ‘කඳ සුරිඳුනි’ ගීතය කතෝලිකයෙකු විසින් කතරගම දෙවියන් උදෙසා නිර්මාණය කර ගැයූ විශිෂ්ඨම ගීතය ලෙස සැලකේ. ඇනස්ලි මාලේවන, අනිල් භාරතී, ඉන්ද්‍රානි පෙරේරා, වර්නන් පෙරේරා, සමන් ද සිල්වා, මරියසෙල් ගුණතිලක වැනි ගායක ගායිකාවන්ගේ සාර්ථකත්වය පසුපස සිටි සෙවණැල්ල වූයේ ක්ලැරන්ස්ය. ඔහු ඔවුන්ට හැදූ ‘දිල්හානී දුවනී’, ‘මංගෝ’, ‘අද වෙයි ඉරුදින’, ‘සමුගෙන යන්නෙමි’, ‘යොවුන් සිහින ලෝකේ’, ‘තණ නිල්ල දිගේ’ වැනි ගීත උදාහරණයන්ය. අපූරු ගීත රචනා හැකියාවක් තිබූ ක්ලැරන්ස් වරක් සංචාරක නිකේතනයක කෙටි ප්‍රචාරක ගීතයක් ලෙස හැදූ ‘සිහින ලොවක් දුටුවා මතකයි’ ගීතය දිගු කරමින් ලියා ගයා එය අති ජනප්‍රියත්වයට පත් කළේය. මහළුවියේ ගත මැළවී මාවතේ අපි - උතුමාණෙනි ආදී වෙනස් විවිධ තේමාවලින් ඔහු නිර්මාණය කළ ගීත දෙසද විචාරකයන් ඇහැක් ඇර බැලුවේ නැත. සිය මුල්ම චිත්‍රපටය වූ ‘සිකුරුලියා’ චිත්‍රපටයේ ජේ. ඒ. මිල්ටන් පෙරේරා ලවා ක්ලැරන්ස් ගායනා කරවූ ‘කොමල ලියා බොළඳලියා’ ගීතයේ ක්ලැරන්ස්ගේ සංගීත නිර්මාණය භාරතීය මහා සංගීතවේදී නෞෂාඩ් ඉහළින්ම අගය කළත් අපේ ඊනියා ප්‍රබුද්ධයන් එය අගය කළේ නැත.

එවකට ‘ජනීනා ඇන්ඩ් ද ක්ලෑන්’ කණ්ඩායමේ ගායිකාව වූ ජනීනාට ක්ලැරන්ස් ගීත හතරක් හැදුවේය. එම ගීත අතරින් එකක් ඔහුගේම තනුව දේශීය භාණ්ඩවලින් වාදනය කරමින් ගැයූ විශාරද ගායිකාවක් එහි සංගීතය තමන්ගේ බව සඳහන් කර ගැනීම ලැජ්ජාසහගතය. ‘මල් මල් හීනය හීතල උදයේ පැල්පත් මීදුම මැද රැඳිලා’ නම් එම ගීතයත්, ජනීනාගේ සෙසු ගීත තුනත්, සනත් - මල්කාන්ති යුවළ ගැයූ ‘සීත රෑ වසන්තේ’ ගීතයත් ක්ලැරන්ස්ගේ සංගීතයට ලියූ ගීත රචක මහැදුරෙකු පසුව ප්‍රසිද්ධ දේශනයකදී පැවසුවේ තමන් ක්ලැරන්ස්ගේ සංගීතයට එකම ගීතයක් හෝ නොලියූ බවය. මෙවැනි බොහෝ අසාධාරණකම් සිදු කළත් ක්ලැරන්ස්ගේ නාමය විනාශ කරන්නට එවැන්නන්ට අදටත් හැකිවී නැත.

මිල්ටන් මල්ලවආරච්චි ගායකයාණන්ට සුමියුරු ගී රැසක් හැදූ ක්ලැරන්ස් තම අත්දැකීමක් මුල්කරගෙන ලියා සංගීතවත් කළ ‘තනිවී සිටින්නයි මා අදහස් කළේ’ ගීතය අද පවා ජනප්‍රියය. ඒ ගීතයේ එක් තැනක කියවෙන පරිදි සිය පාලු ලෝකයේ වුවද සක්විති රජුන් හමුවේ පවා හිස නොනමා ඍජුව නැගී සිටීමේ ශක්තිය හැමදාමත් ක්ලැරන්ස් තුළ තිබුණේය. දේශපාලනයේදී සිය කැමැත්ත මත යම් පක්ෂයකට ළැදිව කටයුතු කළත් වරදාන වරප්‍රසාද ලැබීම සඳහා ක්ලැරන්ස්ලා දේශපාලකයන්ගේ දෙපා ළඟ වැටුණේ නැත. බිරිඳ ශිලා සහ එකම දුව අමිලා සමඟ නුගේගොඩ, තලපත්පිටිය පාරේ නිවසට වී හිතට එකඟව ජීවත්වූ ක්ලැරන්ස් මිතුරන්ට අති සුහද මිතුරෙක් විය. නවකයන්ට ගුරුවරයෙකු මෙන් උපදෙස් දුන්නේ ය. ‘සන්ෆ්ලවර්’ වැනි කණ්ඩායමකට එම නම තබා නිවසේම පුහුණුවීම් පවා කරන්නට ඉඩදී පෙරට ගෙනාවේ ඔහුය. රූකාන්තට ද එලෙසම ඉඩ දී උදව් උපකාර කළේය. පසුව සන්ෆ්ලවර් කණ්ඩායමේ ගමන ගැන ඔහු තුළ පැහැදීමක් නොවීය. ඔහුගෙන් උපරිම උදව් ලැබූ සමහරුන් ඔහුගේ මරණයටවත් නොපැමිණ සිය ගුණමකු බව ප්‍රදර්ශනය කළ බව අපට මතකය.

වර්තමානයේ Face Book සමාජ වෙබ්අඩවිය තුළ විශේෂයෙන් විශාල තරුණ පිරිසක් ක්ලැරන්ස්ගේ නිර්මාණ ඉදිරිපත් කරමින් ඔහු වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීම අගය කළ යුත්තකි. ජනිත් ලියනගේ, සුපුන් වීරසූරිය, මුදිත අමරතිස්ස, සුපුන් පී. ද සිල්වා, සමන්ත සංජීව, අජිත් ලියනගේ වැනි අයගේ කාර්යභාරය මෙන්ම පැරීසියේ රොහාන් ඉඳිකැටිහේවගේ - ගීතානි මංගලිකා ඉලන්දාරි -‍කෙවින් යං ජල්ඩින් වැනි අයගේ කාර්යභාරය ද සිහිපත් කරමි. මේ අතරින් ඇතැමුන් ක්ලැරන්ස් දුටු අයවත් නොවේ. එහෙත් ඔවුන් මේ නිර්මාණකරුවාගේ නිර්මාණවලට වශී වී ඔහු වෙනුවෙන් කැපවූවන්ය.

සෑම නත්තලක් ආසන්නයේදීම ක්ලැරන්ස් විජේවර්ධන නමැති සුන්දර හිතාදර මිත්‍රයා පිළිබඳ මතක අවදිව මගේ සිත සසල වෙයි. “අවුරුදු පනහක් හිටියා ඇතිනේ මල්ලී...” කියා ඔහු පැවසූ ආකාරය සිතේ දෝංකාර දෙයි. ජීවිත හැල හැප්පීම් හා අතදුන් අයගේ කෲරකම් ද වඩවඩාත් මදුවිතට සමීප වන්නට ඔහුට අනුබලයක් වූ බව අමතක කළ නොහැක. එහෙත් පනස්තුන් වසරක් මෙලොව සිටි ක්ලැරන්ස් විජේවර්ධනයන් තවත් වසර පන්සියයක් හෝ රසවිඳිය හැකි නිර්මාණ සමුදායක් ඉතිරි කර ගියා නොවේදැයි සිතා මම මොහොතකට සැනසෙමි.

ආනන්ද පද්මසිරි

අදහස් 1ක් ඇත

මේ ලිපියේ මල් මල් හීනය ගීතයේ සංගීත නිර්මාණය ක්ලැරන්ස් විජේවර්ධන ගේ බව සඳහන් වී ඇති අතර එය සාවද්‍ය ය. නන්දා මාලිනී මේ ගීය ගුවන්විදුලියට සංගීතවත් කරමින් ගැයුවේ 1973 දී ය. එම ගීතය 1974 නිකුත් වුණු ශ්‍රවණාරාධනා සූරිය LP තැටියටද ඇතුළත් විය. ජනීනා නම් පෝලන්ත ගායිකාව මේ ගීතය ගැයුවේ 1978 නිකුත් කෙරුණු සූරිය ලේබලයේ තැටියකට යි.

නව අදහස දක්වන්න