ලීග් රගර් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස්-මහනුවර සටනක් | දිනමිණ

ලීග් රගර් පෙරමුණ ගැනීමට හැව්ලොක්ස්-මහනුවර සටනක්

ෆවුස් මොහොමඩ්

අන්තර් සමාජ පළමු පෙළ ලීග් රගර් තරගාවලියේ ශූරයන් තෝරන තීරණාත්මක අවසන් තරග කිහිපයක් ඉතිරිව තිබියදී ප්‍රසාද ලකුණු සටහනේ ආරම්භයේ සිට පෙරමුණේ පසුවූ හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට මහනුවර ක්‍රීඩා සමාජයෙන් තියුණු අභියෝගයක් එල්ල වී තිබේ.

පසුගිය සතියේ තරග නිමාවත් සමග හැව්ලොක්ස් පිල ලකුණු 58ක් ලබා පෙරමුණේ පසුවුවත් මහනුවර පිලේ දෙවැනි තැනට පත්වී ඇත්තේ හැව්ලොක්ස් පිලට වඩා එක් ලකුණක් අඩුවෙන් ලකුණු 57ක් රැස් කරමිනි. එබැවින් අද ඇරැඹෙන දෙවැනි වටයේ පස්වැනි සති අන්තයේ තරග වඩාත් උණුසුම්කාරී මුහුණුවරක් ගනු ඇත.

සී.ආර්. පිල අද (28) පස්වරුවේ හැව්ලොක්ස් කණ්ඩායම සමග තරග වදින අතර එම තරගය සී.ආර්.පිටියේ පැවැත්වෙන බැවින් එය ඔවුන්ට සැනසිල්ලට කරුණක් වනු ඇත. එසේ වුවත් මේ දක්වා එක් තරගයක් පමණක් පරාජයට පත්වූ හැව්ලොක්ස් පිල අබිබවා යාම එතරම් පහසු එකක් නොවනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි තැන සිටින සී.ආර්.පිල ලබා ඇති සමස්ත ලකුණු සංඛ්‍යාව 40කි.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි තැන පසුවන නාවික හමුදා පිල අද වැලිසර දී තරගයට එක්වන්නේ යුද හමුදා කණ්ඩායම සමගිනි. නාවික හමුදා පිල ප්‍රසාද ලකුණු 52ක් ලබා සිටින අතර යුද හමුදා පිල ලකුණු 27ක් ලබා පසුවන්නේ 6 වැනි තැනය. එසේ වුවත් පසුගිය සති අන්තයේ පැවැති තරගයේදී ප්‍රබල සී.ආර්.පිල පරාජය කිරීමට සමත්වීමෙන් යුද හමුදා පිල පසුවන්නේ ඉහළ මානසිකත්වයෙන් යුතුවය.

පොලිස් ක්‍රීඩා සමාජය සහ සී.එච්. කණ්ඩායම අතර තරගය හෙට (29) පස්වරුවේ පොලිස් පිටියේදී පැවැත්වෙයි. මෙතෙක් එක් තරගයක් පමණක් ජයගෙන සිටින පොලිස් පිල ලකුණු 10ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 7 වැනි තැන පසුවන අතර සී.එච්. පිල මෙතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා නොමැත.

මහනුවර පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය හෙට පස්වරු නිත්තවෙල දී පැවැත්වෙයි. ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ අදිටනින් පසුවන මහනුවර පිල වෙතින් මේ තරගයේදී ගුවන් හමුදා පිලට දැඩි අභියෝගයක් එල්ල වනු ඇත. ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි තැන සිටින ගුවන් හමුදා පිල ලකුණු 28ක් ලබා සිටී.

නව අදහස දක්වන්න