ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙන් දිළිඳු පවුලකට නිවසක් | දිනමිණ

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයෙන් දිළිඳු පවුලකට නිවසක්

 

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය සිය ප්‍රජා සත්කාර වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස නිවසක් අහිමි දිළිදු පවුලක් වෙත අංග සම්පූර්ණ නිවසක් පරිත්‍යාග කරන්නට කටයුතු කළේය. ඔවුන් මෙතෙක් ජීවත් වූයේ තාවකාලිකව අටවා ගත් ටකරන් සෙවිලි කළ තාවකාලික නිවසකය. ඔවුන්ට කුඩා වයසේ පුතුන් දෙදෙනෙකු සිටින අතර මාස 6 ක් වයසැති කුඩා දියණියක් ද සිටියි.

අගුණුකොළපැලැස්ස ප්‍රදේශීය ලේකම් කුමුදු සී ලොකුහේවාගම මහත්මිය ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය වෙත දැනුම් දීමෙහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන් වෙත මෙම නිවස පිරිනමන්නට මූල්‍ය දායකත්වය සපයන ලදී. මෙම නිවස ඉදිකිරීම සම්බන්ධව සම්බන්ධීකරණ කටයුතු අගුණුකොළපැළැස්ස ප්‍රදේශීය ලේකම්තුමිය සහ එම කාර්ය මණ්ඩලය විසින් සිදුකරන ලදී.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් හි සාමාන්‍යාධිකාරී සහ එහි සුබසාධක කමිටුවේ සභාපති ජයන්ත රත්නායක මහතා සහ අගුණුකොළපැලැස්ස ප්‍රදේශීය ලේකම්තුමිය විසින් පසුගියදා මෙම නිවස එම පවුල වෙත පරිත්‍යාග කළ අතර එහිදී අදහස් දක්වමින් රත්නායක මහතා පැවසුවේ ජනතාවගේ ජීවිත නඟාසිටුවීමට සඳහා නොයෙක් ආකාරයෙන් දායක වීමට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරය කවදත් කැපවී කටයුතු කරන බවයි.

“පසුගියදා වැලිකන්ද ප්‍රදේශයෙන් මෙවන් තත්ත්වයකට මුහුණ දී සිටි පවුලකටත් අපි මෙසේ නිවසක් සාදා පරිත්‍යාග කළා. එපමණක් නොවේ, අධ්‍යාපනය මෙන්ම සෞඛ්‍ය ආදී ක්ෂේත්‍ර රැසක උන්නතිය සඳහා අපි මෙතෙක් සුබසාධන වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.” යනුවෙන් රත්නායක මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.

නව අදහස දක්වන්න