වැලන්ටයින් | දිනමිණ

වැලන්ටයින්

 ටොම්සන් මහත්තයාගේ තොරතුරු කාර්යාලය උදේ නවය වන විට විවෘතය. සුදු සූට් එකක් හැඳ ගෙන ටොම්සන් මහත්තයා බලා සිටින්නේ ගනුදෙනුකාරයකු එන තුරුය. දවසකට දහ දෙනෙක් ආවා නම් හොඳටම ඇතිය. ඇම්බන් මහත්තයාගේ පරිගණකය ඕනැ වෙලාවක සූදානම්ය. උන්නැහේ බලා ගෙන ඉන්නේ එන ගනුදෙනුකාරයාට හොඳ තේ එකකින් සංග්‍රහ කරන්නටය. එතකොට ගනුදෙනුකරුවාගේ හිත ද පිරිසිදු වී සතුටට පත් වෙයි. තොරතුරු කාර්යාලයට ගොඩ වන හැම කෙනකුටම තේ එකක් දෙමු කියා යෝජනා කළේ ද උන්නැහේ විසිනි.

නවයයි තිහ වන විට පළමුවැනි ගනුදෙනුකාරයා පැමිණියේය. පෙනුම නම් හොඳට ඉගෙන ගත්ත වයසක මහත්තයෙක් වාගේය.

”මං මේ මහත්තයා කොහේදි හරි දැකලා තියෙනවා...” කියලා ටොම්සන් මහත්තයා කීවේය.

”ඔව්... මං කාලයක් ඔය ආණ්ඩුවේ කන්තෝරුවක ලියන්නෙක් හැටියට වැඩ කළා නේ. ඒ කාලේ මහත්තයා සමහර විට ඒ කන්තෝරුවට එන්න ඇති.. එහෙම තමයි සංසාරේ හැටි... කොහේදි හරි ආයෙත් මුණ ගැහෙනවා...” කියා කන්තෝරු මහත්තයා කීවේය.

”වාඩි වෙන්න කන්තෝරු මහත්තයා... ඇවිදලා ඇවිල්ලා දැන් මහන්සිත් ඇති නේ. ඉන්න මං තේ එකක් හදන්නං. මහත්තයා සීනි දාලා බොනවද? සීනි නැතුව බොනවද? සීනි අඩුවෙන් බොනවද?” කියා උන්නැහේ ඇසුවේය.

” සීනි අඩුවෙන් ගේන්න.. පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි නේ.. මං මේ ආවේ ටොම්සන් මහත්තයා මේ වැලන්ටයින් උන්නැහේ ගැන තොරතුරු ටිකක් දැන ගන්න...” කියා කන්තෝරු මහත්තයා කීවේය.

ටොම්සන් මහත්තයා ඇම්බන් මහත්තයා දෙස බැලුවේය.

” අපි කාටද මේ ගැන ඉල්ලුම් පත්‍රයක් දාන්නේ ඇම්බන් මහත්තයා...? ”

” ඉල්ලුම් පත්‍ර නම් දාන්න තැනක් නෑ.. ඒ වුණාට අපි කන්තෝරු මහත්තයාට මේ ගැන තොරතුරු ටිකක් හොයලා දෙමු. අපි වැලන්ටයින් උන්නැහේ ගැන තොරතුරු ටිකක් හොයලා දෙන්නං... ගාන නම් රුපියල් සීයක් විතරයි... ”

” ආ... ඒකට කමක් නෑ... රුපියල් සීය මොකක්ද? ඔය වැලන්ටයින් දිනේ කියලා විකුණන රෝස මලක්ම රුපියල් පන්සීයක් - දාහක් වෙච්චි කොට...” කියා කන්තෝරු මහත්තයා කීවේය.

ටික වේලාවකින් ඇම්බන් මහත්තයා අන්තර්ජාලයට ගොස් වැලන්ටයින් දිනය ගැන තොරතුරු ටිකක් හොයා ගත්තේය.

”මේකයි කන්තෝරු මහත්තයා... ඔය රෝම අධිරාජයා කාලේ සිද්ද වුණා කියන සිද්ධියක් එක්ක නේ මේක සම්බන්ධ වෙලා තියෙන්නේ... වැලන්ටයින් කියන්නේ ක්‍රිස්තියානු පූජකවරයෙක්... එතකොට රෝම පාලනයේ යුද්ධ භටයන්ට විවාහ වෙන්න තහනම් කරලා තිබුණා නේ.. ඉතින් වැලන්ටයින් පූජකවරයා තරුණ පිරිස රැස් කරලා සමූහයක් වශයෙන් විවාහ කරවලා තියෙනවා... ඒ මොකද විවාහ වුණාම යුද්දෙට යන්න බැරි වෙන නිසා... එක පැත්තකට යුද්දය නිසා තරුණ පිරිසට විවාහ වෙන්න අවසර නෑ... අනික් පැත්තට විවාහ වුණාම යුද්දෙට යන්න බැරි වෙන නිසා මේක යුද විරෝධී වැඩක් වෙන්නත් පුළුවන්...”

”එහෙමද? ඒකද මේක ආදරවන්තයන්ගේ දිනය කියලා කියන්නේ...? ”

” ඔව්... ඊට පස්සේ 14 වැනි ශත වර්ෂයේ විතර ඉඳලා තමයි මේක සමරන්න පටන් අරන් තියෙන්නේ... ඒ විදිහට ගිහිල්ලා මේක ක්‍රිස්තියානි ආගම තියෙන රටවල පැතිරුණා...”

” ඒ කියන්නේ ආගම පැතිරෙනවා වාගේ පැතිරුණා කියන එකද? ” කියා කන්තෝරු මහත්තයා ඇසුවේය.

” නෑ නෑ කන්තෝරු මහත්තයා... මේක උවමනාවෙන් පැතිරුවා කියලා තමයි කියන්න වෙන්නේ.. ඒ හැම රටකම මේක පතුරුවලා තියෙන්නේ වෙළෙන්දෝ... වෙළෙන්දන්ට උදව්වට ඔය රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා තමයි මේකේ කොන්ත්රාත්තුව කරලා තියෙන්නේ...”

” ඒක මිසක්... ඉතින් අපේ රටෙත් එහෙම නේ... මට මතක හැටියට එක පෝය දවසක තමයි ඔය වැලන්ටයින් දිනය. - ආදරවන්තයන්ගේ දිනය කියලා ඔය එක ගුවන් විදුලි නාලිකාවක් මේ රටට ඕක අරන් ආවේ... ඒ කියන්නේ ඇත්තටම මේ රටේ තරුණ තරුණියන්ගේ යහපතටද ටොම්සන් මහත්තයා?”

” මොන පිස්සුද කන්තෝරු මහත්තයා... ඒක මේ තරුණ තරුණියන්ගේ යහපතට කරපු දෙයක් නෙවෙයි... තරුණ තරුණියන් නන්නත්තාර කරලා... ඒකෙන් වෙළෙඳ වාසි ගන්න කරපු දෙයක්... එතකොට අපිව අන්දන්න කාටවත් බෑ කියන මේ රටේ තරුණ තරුණියෝ අගේට ඇන්දුනා.. අද වෙන කොට මේක වැලන්ටයින් වලිප්පුවක් බවට පත් වෙලා...” කියා ටොම්සන් මහත්තයා කීවේය.

”ඒක තමයි... දැන් මේ බලන්න ඔය මුස්ලිම් සංස්කෘතිය තියෙන රටවලටත් මේක ගෙනල්ලා තියෙන්නේ රූපවාහිනී නාලිකා තමයි. ඉන්දියාවටත් එහෙම තමයි... හොඳම උදාහරණයක් තියෙන්නේ මැලේසියාවේ... ඒ රටේ පාලකයෝ කෙලින්ම කියලා තියෙනවා මේ වගේ උත්සව සමරන එක මුස්ලිම්වරුන්ට ගැළපෙන්නේ නෑ කියලා. පකිස්ථානයෙත් එහෙම තමයි. 2017 දි පකිස්ථාන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දෙනවා ප්‍රසිද්ධ ස්ථානවල වැලන්ටයින් දිනය සැමරීම තහනම් කරලා.. සවුදි අරාබියේ ගත්තත් මුස්ලිම්වරුන්ට තහනම් කරලා තියෙනවා... අනෙක් අයට නිවෙස් තුළ දොරවල් වහගෙන සමරන්න පුළුවන්...”

”ඒකත් හොඳ නෑ නේ... ටොම්සන් මහත්තයා...” කියා කන්තෝරු මහත්තයා කීවේය.

” ඔව්.. බැලූ බැල්මට එහෙම වෙන්න පුළුවන්... ඒත් ඕනැම රටකට තමන්ගේ සංස්කෘතියක් තියෙනවා නේ... ඒ රටේ මාධ්‍යවල වගකීම තමන්ගේ රටේ සංස්කෘතියට පටහැනිව කටයුතු කරන එක නෙවෙයි. සංස්කෘතිය වෙනස් වෙනවා තමයි.. ඒ වුණාට සංස්කෘතිය තමන්ගේ වෙළෙඳ අරමුණු ඉටු කර ගන්න වෙනස් කරන එක මාධ්‍යයේ වගකීමක් නෙවෙයි....”

”මේක ලොකු කතන්දරයක් නේද ටොම්සන් මහත්තයා...? ආදරය කරන එක හොඳයි තමයි.. ඒත් මේක තරුණ තරුණියන්ගේ ආදරය වෙනුවෙන් නෙවෙයි නේ.. සමහරු තරුණ තරුණියෝ කුලප්පු කරන පොත් ගහලා විකුණා ගන්නවා... සමහරු නොයෙක් විනෝද සැණකෙළි පවත්වනවා.. බැලූ බැල්මට නම් පේන්නේ තරුණ තරුණියන් කෙරෙහි පුදුම කරුණාවකින් කටයුතු කරන බවයි... අඩු ගණනේ අපේ රටේ මහ නායක හිමිවරු කට ඇරලා එක වචනයක් කියලා නෑ මේ වගේ මනස්ගාත මේ රටේ බෝ කරනවාට එරෙහිව... අපි හැමෝටම ආදරය කරන්න ඕනෑ.... ඒ කියන්නේ ආදරයෙන් ජීවත් වෙන සමාජයක් ගොඩනඟන්න ඕනෑ.. ඒ වුණාට මේක මේ වෙළෙන්දන්ගේ දිනයක් නේ... නේද ටොම්සන් මහත්තයා...? ” කියා කන්තෝරු මහත්තයා ඇසුවේය.

” ඔව්.. ඉතින් ඕක අර වලිප්පුව වගේ එකක් නේ... ලෙඩේ හැදිලා ඉබේ සනීප වෙනවා. බේත් නොකළත් එහෙම තමයි... ඒක වැලන්ටයින් වලිප්පුව... අන්තිමට කාටද වාසි... වෙළෙන්දන්ට...නේද කන්තෝරු මහත්තයා....”

බන්දුල පී දයාරත්න
[email protected]

නව අදහස දක්වන්න