අලුත් ව්‍යවස්ථා හෝ සංශෝධන එපා - ත්‍රෛනිකාය | දිනමිණ

අලුත් ව්‍යවස්ථා හෝ සංශෝධන එපා - ත්‍රෛනිකාය

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව ත්‍රෛනිකායික මහනාහිමිවරු පවසති.

පවත්නා ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මහනාහිමිවරුන් මෙම තීරණයට පැමිණි බව අස්ගිර් පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් සඳහන් කළේය.

අද අස්ගිරි මහා විහාරයට රැස්වුණු මහනාහිමිවරුන් මෙම තීරණයට එළඹ ඇති බව ද සදහන්.

කෙසේ වෙතත් දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇති සයිටම් ගැටළුව වහා විසඳිය යුතුව ඇති බව මහනාහිමිවරුන් විසින් අවධාරණය කර තිබේ.

පවත්නා ව්‍යවස්ථාව ඒ අයුරින්ම පවත්වාගෙන යාම උචිත බවට මෙහිදී මහනාහිමිවරුන්ගේ තීරණය වී ඇති අතර මැතිවරණ ක්‍රමය පමණක් සංශෝධනය කළ යුතුනම් සංශෝධනය කළ යුතු බවට යෝජනා වී තිබේ.

යුද සමයේ සමයේ සිදුවූ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රණ විරුවන්ට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා හෙට දිනයේ පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැලසුම් කර ඇති බවත්, එම පනතද සුදුසු නැති බව මහනාහිමිවරුන්ගේ මතය වී තිබේ.මේවන විට ජාතික හා ආගමික වශයෙන් ගැටළු රැසක් පැන නැඟී ඇති බවත්, එම ගැටළු සහගත තත්ත්වයන් පිළිබඳ සොයා බලා විසඳුම් ක්‍රියා මාර්ග සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමටද මහනායක හිමිවරුන් අද අවධානය යොමු කර ඇත.

කෙසේ වෙතත් අද දින රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ඇතුළත් යෝජනාවලියක් ලබන 06 වන දින ජනාධිපතිවරයාට බාරදීමට කටයුතු කරන බවද අස්ගිර් පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

නව අදහස දක්වන්න