බඹරා සහ කුමරා | දිනමිණ

බඹරා සහ කුමරා

ශාන්ති දිසානායක

ළා හිරු අති දක්ෂ සිත්තරකු මෙන් තුරුලිය අතු ඉති හා මහ‍පොළොව මත අනේක සිතුවම් අඳියි මකයි. සැණෙකින් නොපෙනී යන ආලෝක ලප හා ආලෝක තීරු තොරණක් සදිසිය. අරුණෝදයේ ආශ්චර්යය අදහාගත නුහුණු කොට්ටෝරුවා නොනවතින හැරිල්ල නවතා නිශ්චලව පසුවෙයි. ගසින් ගසට කොටමින් යන ඒ අලංකාර පක්ෂියා පවා වත්ත පහළ අඹ ගසට ළං නොවෙයි.

“අම්මා අඹ ග‍හේ බඹරයක් බැඳලා ..."යි පළමුව දැනුම් දුන්නේ නිවුන් පුතුන්ය.

“ඒ පැත්තට යන්න එපා... ගල් ගහන්න එපා..”යි මම අවවාද කළෙමි.

“බඹරු විඳිනවනෙ අම්මා. එහා ගෙදර මහතුං මාමලා නං යටින් ගින්දර දාලා එලෙව්වා.”

බඩපිස්සා හෙළි කළ පුවතින් වඩාත් සංවේගයට පත් වූයේ දෙවැන්නා ය.

“මොන එලවිල්ලක්ද? කොච්චර බඹරු මැරෙනවද...ඒක ඇවිල්ලා තනිකරම සමූල ඝාතනයක්..

ඔහු සත්ත්ව ඝාතනය දැඩි පිළිකුලෙන් හෙළා දකියි. සුරතල් බල්ලාගෙ බලු මැක්කන් ඉවත් කිරීමේදී පවා ඔහු ඒ එක් සතෙක්වත් මරා නොදමන්නට වගබලා ගනියි.

“ඔහොම විසි කරල හරියනවද පොඩ්ඩෝ බලු මැක්කෝ කිනිතුල්ලෝ...ආයෙම බූනගේ ඇඟට එනවනේ..”යි ඇතැම් දවසක නිවුන් පුත්තු හිනැහෙති.

“බලු මැක්කෙක්වත් මරන්න අයිතියක් නෑ හලෝ කිසිකෙනකුට..”

“හොඳට හිටී. කැරපොත්තන්ට මීයන්ට ගේ බාර දීලා අපිට යන්ඩයි වෙන්නෙ කොහෙ හරි."

මද්දු අවඥාවෙන් මුව ඇද කරයි.

“ඒකට ඉතිං පූසො ඉන්නවනෙ. පොඩි සතා ලොකු සතාගෙ ගොදුර ඒ ස්වාභාව ධර්මයේ රීතියට අපි අත දාන්න ඕන නෑ. ලෝකෙ නන්නත්තාර වෙලා තියෙන්නෙ උපේ උද්දච්චකම හින්දනේ.”

මගේ ගැටවරයා මගේම සිතිවිලි වමාරන කල මට දැනුණෙ බලවත් සොම්නසකි.

අඹ ගහේ ඉහළ අත්තක බැඳ තිබෙන බඹර වදයෙන් කිසිවකුට හිරිහැරයක් සිදු නොවන බව මම අවධාරණය කළෙමි.

“උකුස්සෙක් ඇවිස්සුවොත් තමා වැඩේ.”

පුංචි පුතා බිය පළ කළේය.

“ටික කාලයයි ඒ ගොල්ලො ඉන්නෙ. ඉං පස්සෙ යනව යන්න. අනේ ඔන්නොහේ හිටපුදෙං. කිසි කෙනකුට කියන්නෙපා.”

අඹ ගස යට ගිනි මැළයක් දල්වා බඹරුන් පළවා හරින්නට සැලසුම් කළ කොල්ලෝ මුසුප්පුව පිටව ගියෝ ය.

වැඩි දිනක් ගතව යාමට පෙර බඹරුන් දිය සොයා ළිඳට හා ටැංකියට පියඹා ආවේ දිය සොයා බොහෝ දුර ඇවිද යන ගැහැනු සිහිපත් කරමිනි.

“හරිනෙ.... දැං ඉතිං මොකද කරන්නෙ? අපිට වතුර ටිකක් ගන්න හම්බ වෙන්නෑ... බඹරු විඳින්න ගත්තහම ඉතිං එක එක්කෙනා ඉස්පිරිතාලෙ පටවන්ඩ තමා වෙන්නෙ.”

ලොකු පුතා පවා කෝපයෙන් කෑ ගැසුවේය.

“කලබල නොවී ඉන්න. මේ පෑවිල්ලෙ සැරට ඒ ගොල්ලො වතුර සොයාගෙන එනවා තමා. අපි එයාලට කරදර නොකළොත් එයාලත් අපට කරදර කරන එකක් නෑ.

කොල්ලෝ මා වෙත හෙළුවේ සැක මුසු බැල්මකි. සැබැවින්ම බඹරුන් කොතෙක් පියඹා ආවද අප කිසිවකුට දෂ්ට කරන්නට තරම් සැහැසි නොවූහ.

“අම්මෝ බඹරු මේ ළමයින්ට විද්දොත් මොනවා කරන්නද?”

බඹරුන් නොව දිවියන්, වලසුන් සම්ප්‍රාප්ත වු කලෙක මෙන් ගෙදරට යන එන උදවිය බිය පළ කළහ.

“විඳින්නෙ නෑ... වතුර සොයාගෙන එන අහිංසක සත්තු...මේ පෑවිල්ලෙන් මිනිස්සු විතරක් නෙමේ සත්තුත් මොනතරම් පීඩාවට පත්වෙනව ද...”යි මම කනගාටු වෙමි.

“එක බඹරකුටවත් හිරිහැර කරන්න නං එපා. එතකොටයි ඒ ගොල්ලො යක්කු වගේ එළව එළවා විඳින්නෙ.” යි මම ‍ කොල්ලන්ට අනතුරු ඇඟවීමි.

සති කීපයක් මුළුල්ලේ ඒ කුඩා විෂකුරු සතුන් හා අපි සමාදානයෙන් වතුර ලබා ගතිමු.

ටැංකියට ළං වූ පොඩි පුතාගේ මුහුණ වේදනාවෙන් හැකිලී ගිය උදෑසන මම තැති ගතිමි.

“ඇයි? බඹරු විද්දද ?”

“එකෙක් අම්මේ...මං හිතන්නෙ මොකක් හරි වැරදීමක්. සමහර විට මගේ කකුලෙ හයියෙන් හැප්පුණාද දන්නෙ නෑනෙ....”

ඔහු ඉතා සීරුවෙන් පාදයෙහි බත්කෙණ්ඩෙහි ඇනුණ විත ගලවා ඉවත් කළේය. සිහමුර්ජා වූ බඹරා මහත් පරිස්සමින් වළං මැස්ස මත තැබුවේය.

“රිදෙනවද පොඩී? අනේ හුඟාක් රිදෙනවා ඇති “

“අයියෝ අම්මා... මට නයෙක්‍ පොළ‍ඟෙක් කෑවා වගේනෙ අම්මා කලබල වෙන්නෙ” යි ඔහු සෝපහාස සරින් පැවසුවේය.

“මගෙ තමා වැරැද්ද. මම කීවනේ බඹරු විඳින එකක් නෑ කියලා. අනේ මගේ වැරැද්ද... මම මගේ ළමයින්ගෙ රැකවරණය ගැන පොඩ්ඩක්වත් හිතුවෙ නෑ..” යි මම මහත් සේ පශ්චත්තාප වීමි.

“මේක වැරදීමක් අම්මා. බඹරු රංචුවක් ඉඳලත් කවදාවත් අපිට විද්දෙ නෑනෙ. මට දුක බඹරා ගැන. විත නැතුව ඌ ජීවත් වෙන්නෙ නෑනේ... පව් අහිංසකයා..”

මම විමතියෙන් ඇරුණු ඇසින් මගේ ඉලන්දාරියා දෙස බලා සිටියෙමි.

“බඹරෙක් විද්දා කියල මං මැරෙන්නෑ අම්මා... චූට්ටක් රිදුණා... රතුළුනු ගෙඩියක් අතුල්ලපුවහම හරියයි”යි ඔහු සැහැල්ලුවෙන් තෙපලුවේය. මම මිය ගිය බඹරා හා දයාන්විත සිනාවක් පාන කොල්ලා දෙස බලා සිටියෙමි.

“එක්කෙනෙක් මැරුණා කියා දැනගත්තහම අනෙක් කට්ටිය එන්න පුළුවන්. යක්කු වගේ විඳින්නම බලාගෙන...” යි මම බිය පළ කළෙමි.

“ඒ හින්දා තමා මෝඩියේ මම මලක් වගේ පරිස්සමට මැරිච්චි බඹරව පැත්තකින් තිබබේ... තලල පොඩි කරල දැම්මොත් තමා අනෙක් බඹරු කලබල වෙන්නෙ. මොකක් හරි රසායනික ගඳක් එයාලට දැනෙනවා. ඒ ගඳට තමා ඇවිස්සෙන්නෙ.”

“අ‍නේ මගේ පණ්ඩිතයා. කීට විද්‍යාඥයෙක් වගේනෙ මෙයා කතා කරන්නෙ...”යි කී මම සිනාසුණෙමි. 

නව අදහස දක්වන්න