බැසිල් තම රජයකින් හම්බන්තොට වරාය පවරා ගන්නවා යැයි කීම විහිළුවක් | දිනමිණ

බැසිල් තම රජයකින් හම්බන්තොට වරාය පවරා ගන්නවා යැයි කීම විහිළුවක්

බුද්ධිකා ඉඹුලාන

මහින්ද රාජපක්ෂ රජයේ පරාජයට පාර කැපූ , බැසිල් රාජපක්ෂ මහතා තම රජයක් යටතේ හම්බන්තොට වරාය ආපසු පවරා ගන්නවා යැයි පැවැසීම ගැන ජනතාව දෙවරක් සිතා බැලිය යුතු බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතා කීවේය.

හම්බන්තොට වරාය ගිවිසුම හරහා මේ රටේ අනන්‍යතාව පාවා දුන්නා යැයි මෙවැනි පටු ආකල්පවාදීන් විවිධ මත පතුරුවමින් ජනතාව නොමඟහරින බවද ඇමැතිවරයා පවසයි.

'හම්බන්තොට වරාය චීන සමාගමකට බදු පදනම යටතේ පැවරීමක් කර තිබෙනවා. බැසිල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක ප්‍රකාශ කර තිබුණා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ රජයක් යටතේ නැවතත් එම වරාය රජයට පවරා ගන්නා බව. ඒක හොඳයි. එහෙම වෙන එක හොඳයි. අපි ඒක වරදක් කියන්නේ නැහැ.

නමුත් බැසිල් රාජපක්ෂ මහතා තමයි මහින්ද මහත්තයාගේ පසුගිය රජය විනාශ කළේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අමාරුවේ දැම්මේත් ඔහුයි. දැන් නැවත වතාවක් මහින්ද මහත්තයාව අමාරුවේ දාන්න උත්සාහ කරනවා. හම්බන්තොට වරාය යළි පවරා ගැනීමට පෙර බැසිල් රාජපක්ෂ ඉන්නේ කොහේද කියා හිතන්න වෙනවා. මොකද පසුගිය වතාවේ මැතිවරණයෙන් පරාද වුණාට පස්සේ ඒ මනුස්සයා නැවතුනේ අමෙරිකාවේ.

රටේ හිටියෙත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ආරක්ෂා කරනවා තබා ඔහු කළ දෙයක් නැහැ. ඒ නිසා මම කියන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාව නැවත වරක් අමාරුවේ දාන්න එපා කියායි.

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු පදනම යටතේ පැවරීමේ දී ඊට නව කොන්දේසි සහිතව ගිවිසුම අත්සන් කරන්න කියා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උපදෙස් දුන්නා. ඒ විතරක් නොවෙයි.

රටට ඉතා වැදගත් කොන්දේසියක් එම ගිවිසුමට එතුමා ඇතුළත් කළා. ඒ තමයි අවශ්‍ය විටෙක මෙම ගිවිසුම සංශෝධනය කිරීම හා නව කොන්දේසි ඇතුළත් කළ හැකි බවට නව වගන්තියක් එක් කිරීම. ඒක ඉතා වැදගත්.

මෙම ගිවිසුම හරහා රටේ අනන්‍යතාව පාවා දුන්නා කියා සමහරු චෝදනා කළාට එවැන්නක් සිදු වී නැහැ. ඒ නිසා තමයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දුරදක්නා නුවනින් යුතුව එවැනි වගන්තියක් මෙම ගිවිසුමට ඇතුළත් කළේ.

එතුමා ප්‍රකාශ කළා දුෂිතයන් සමඟ ආණ්ඩු කරන්නෙත් නැහැ කියා. දුෂිතයන් සමඟ නව ආණ්ඩුවක් හදන්නෙත් නැහැ කියා. ඒක තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය. අපි මේ රජය යටතේ කිසිදු දුෂිතයෙක් ආරක්ෂා කරන්නේ නැහැ.

ඒ වගේම පරණ ආණ්ඩුවේ දුෂිතයෝ හිටියා නම් ඒ අයටත්, මේ ආණ්ඩුවේ දුෂිතයන් ඉන්නවා නම් ඒ අයටත් එරෙහිව නීතිය උපරිමව ක්‍රියාත්මක කරනවා. යහපාලනය කියන්නේ එයයි. 

අදහස් 1ක් ඇත

koranna bari deyak nahane!

නව අදහස දක්වන්න