නැකත | දිනමිණ

නැකත

තෙරිපැහැ ආරියවංශ කීර්තිසිංහ

නැකත යනු සුබ මුහුර්ථියයි. සුබ මුහුර්ථිය යනු දිනය, නැකත, තිථිය, යෝගය, කරණය ඒ ඒ දිනයන්හි යෙදෙන පංචාංගයට අයත් කරුණුවලට අදාළ දින සුද්ධිය ගණිත ශාස්ත්‍රානුකූලව සකස් කර ගනු ලබන සුබ මොහොතයි. අප එදිනෙදා ගත කරන සෑම තත්පරයක්ම සුබ, අසුබ, මධ්‍යම වශයෙන් බෙදී යයි. ජීවී, අජීවී, සජීවී, ඊශ්වර, මහේස්වර, ත්‍රතේස්වර යන ත්‍රිවිධාකාර විශ්ව බල ක්‍රියාකාරී ශක්තිී අතර කාලය ගෙවීයන්නේ ලෝකායුෂ, විශ්වායුෂ, කල්පායුෂ, දිවා, රාත්‍රී ලෙසිනි.

විශ්වයේ විශ්ව ශක්තී අතර ප්‍රධානම ධාවන වේගය කාලය ගෙවී යෑමයි. එය නිමේෂයේ සිට කලා, තත්ත්පර, විනාඩි, පැය, දින, සති, මාස, අවුරුදු යනාදී වශයෙන් සූර්ය සංක්‍රාන්ත්‍රියට අනුව ගෙවී යෑම සිදුවේ. මෙලෙස ගෙවී යන කාල පරාසයන් තුළ සමහර දිනවල රික්තා, විෂ්ඨි, දග්ධ, කාන, මර, විෂ , අග්නි, සකට, භූමි ශුක්‍ර, ශුලා, ශුලික යනුවෙන් ඒකා දස මහ දෝෂ ( එකොළොස් වැදෑරුම් දෝෂ) තිබේ. එහිදී එක් දෝෂයක් හෝ දෝෂ කිහිපයක් ඒකරාශීව එකට යෙදීමෙන් එදිනට යෙදෙන පංචාංග සුද්ධිය විෂම වී දූෂිත වී දින සුද්ධිය අපිරිසුදු බවට පත්වේ.

පංචාංග සුද්ධිය අපිරිසුදු වන දිනයන්හි අලුයම, මද්‍යම, සන්ද්‍යා වශයෙන් දිවා රාත්‍රී තුන්යම් කාලය, පුන් පොහොය දින පායන සඳු රාහු ගිල ගන්නාක් මෙන් ඒකාදස මහා ‍ොද්ෂවලට අසුව පීඩාවට පත්වේ. ඒ අනුව විෂම කිරණවල ක්‍රියාකාරී බලපෑම මත දින සුද්ධියේ විෂමත්වය විවිධාකාර සම, විෂම, රෞද්‍ර, අධම, කෘර බලෑම් ඇතිකිරීමට හේතුවේ.

තවද, මෙම ඒකා දස මහා වේද දෝෂ සහිත දින සම්බන්ධ අසුබ තිථි, දින, නැකැත් හා යෙදුණ අසුබ යෝග සම්බන්ධ දින ලග්න, මරු, ශූල අවස්ථා මඟ හැරිය යුතය. මෙවැනි මගහැරිය යුතු දෝෂ රැසකි. එනම්, දිවා සහ අන්දරාශි, රික්තා සහ ජිදා තිෂි, චන්ද්‍රමාස සම්බන්ධ නැකැත්, ශුල, භූමි ශුක්‍ර දෝෂ, සූර්ය ශූල දෝෂ, සකට දෝෂ, සංක්‍රාන්ත්‍රි ශුල, වාර රික්තා, විෂ ශූල, නැකැත් පාද සම්බන්ධ මර දෝෂ සූර්ය මාස හා තිෂි යෙදීමෙන් ඇතිවන දග්ධ දෝෂ, නැකැත් හා තිෂි යෙදීමෙන් ඇතිවන දග්ධ දෝෂ සහ යෝග විෂ සහිත සංඝටිකා දෝෂ, විෂශූල, නැකැත් පාද සම්බන්ධ මර දෝෂ, තත්කාල විෂ සහිත පංචම කාලහෝරා, රාහුකාලය, සූර්ය, චන්ද්‍රග්‍රහන, වේධ දෝෂ, පක්ෂි - නිදි, මර, සුළං අවස්ථා යනාදියයි. මෙවැනි ඉතාමත් විෂ, මර, නාග, වේද සම්පූර්ණයෙන්ම මඟ හැර සුවි‍ේෂී නැකතක් සැදීම ඉතාමත් බුද්ධිමත්ව කළ යුතුය.

මෙවැනි සියලු දෝෂ මඟ හැර නැකතක් සෑදීම ඉතා ප්‍රඥාවන්ත වූ බුද්ධිමත් අය විසින් සිදුකරනු ලබයි. එවැනි නැකැත් තුළින් ආරම්භ කරන වැඩ බලාපොරොත්තු වූවාටත් වඩා ඉක්මණින් නිමවන අතර එවැනි ස්ථානවල උරුමය පරම්පරා සිය ගණනක් සුරැකිව පවතී.

බොහෝවිට වර්තමානයේ පොදු සීහුම් චක්‍රයේද විවිධ කටයුතු සඳහා වාර්ෂික ප්‍රකාශන, ලිත් මඟින් පොදු නැකැත් ඉදිරිපත් කර තිබේ. එහෙත් අදාළ කටයුත්ත සඳහා නියමිත පුද්ගලයාගේ ලග්න නැකැත්වලට සීහුම් නොවේනම් එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබේ. එවැනි පොදු නැකැත්වලින් ආරම්භ කරන කටයුතු වසර ගණනාවක් උත්සාහ කළද සාර්ථක නොවී අත්හැර දැමීමට සිදුවන අවස්ථා තිබේ. ඉන් අදහස් වන්නේ පොදු නැකැත කොතරම් බලගතු එකක් වුවද අදාළ පුද්ගලයාට සිහුම් නොවන්නේ නම් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බවයි.

නැකත යන්නෙහි කෙටි අදහස සුබ මුහුර්ථිය ලෙස හැඳින්වුවද එම වචනය තුළ ගැබ්වී ඇත්තේ අප ඇසට නොපෙනෙන ග්‍රහ තරංග හා විශ්ව ධාතු ගුණයන් රාශියක් ඒකරාශීව සංයෝජනය වීම තුළින් ප්‍රයෝජනය ලබන බවයි. නැකත යන වචනය තුළ ගැබ්ව ඇති හරබර සාරාංශ ක්‍රියා ශක්තීන් පංච නියාම ධර්මතාවයන් හා අෂ්ඨ ලෝක ධර්මයට අනුගතව අතීත දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියයි.

සමාජ සාරධර්ම, ගුණධර්ම අගයන සෘෂි භාෂිතය පිළිබඳව ප්‍රඥාවන්ත දර්ශන ගුණයෙන් යුතු උත්තමයෝ චතුර් වේදයට අයත් ශාස්ත්‍රීය සිද්ධාන්ත අගය කරති. ඒවා අනුගමනය කරමින් තම ජීවන මංපෙත් ඉතාම සාර්ථකව දෙලොව වැඩ පිණිස පවත්වාගෙන යති. එවැනි ජීවිත ගත කරන අය වර්තමාන කාලයට අනුව තම ජීවිතයේ උපතේ සිට මරණය දක්වා වැදගත් වන ප්‍රධාන අවශ්‍යතා මත පමණක් අවම වශයෙන් තිස්වාරයට ආසන්න අවස්ථා තුළ නැකැත් භාවිතා කරති. ඒ අනුව තම දේශීය සංස්කෘතික චින්තනයට ප්‍රධාන තැනක් දෙමින් දේශීය පාරම්පරික උරුමයන් සුරක්ෂිත කරති. එමඟින් අති විශිෂ්ට ලෙස ප්‍රයෝජන ලබමින් ජීවිතයේ උපන් ‍මොහොතේ සිට මරණ මොහොත දක්වා නැකැත් භාවිතා කරමින් ඵල ප්‍රයෝජන ලබා ගනිති.

සීහුම් නොවන නැකැත් පිළිබඳ ගණන් නොගෙන සමහරුන් විවිධ කටයුතු ආරම්භ කර ඒවා ඉතා සාර්ථකව කරගෙන යන අවස්ථා ඇත. බැලූ බැල්මට එසේ පෙණුනද සමහරවිට ඒ කටයුත්ත ආරම්භ කර ටික කලකින්ම ඔහු ඉතා දරුණු පිලිකා රෝගයකට ගොදුරුවේ. නැතිනම් හදිසි අනතුරකින් දැඩිලෙස පීඩාවට පත්වෙයි. නැතිනම් බිරිය හෝ ස්වාමියා අතර නිතර ආරවුල් අඬ දබර නිසා කෙනකු අතහැර යාමට ඉඩ තිබේ. යමකුගේ දෛවය යහපත් අවස්ථා තුළ කරන සියලු කටයුතු සාර්ථක වෙයි. නමුත් ටික කලකින්ම අන්ත අසරණ බවට පත්වෙයි.

එහෙත් නිසි ශාස්ත්‍රානුකූලව නැකතක් සකස් කර ක්‍රමානුකූලව ආරම්භ කරන කටයුතු තුළින් විශිෂ්ට ලෙස අනපේක්ෂිත ප්‍රතිඵළ ලැබෙන බව ප්‍රත්‍යක්ෂය. මෙවැනි නැකතක් සෑදීමේදී අනුගමනය කළයුතු ශාස්ත්‍රීය කරුණු පිළිබඳ හා මෙහි ඇති වැදගත්කම බැරෑරුම්කම ක්‍රියාශීලී බව පිළිබඳ අවබෝධයක් ලබා ගැන්ම සඳහා ආදර්ශ වක්‍ර සටහනක් පහත දැක්වේ.

2017 අගෝස්තු මස 02 වැනි දින පෙරවරු 11. 47 තත්ත්පර 24.6ට යෙදුණ මධ්‍යස්ථ නැකතට අදාළ ලග්නය තුලා. ලග්නයෙන් දෙවැන්න ශනි, චන්ද්‍ර පස්වැන්න, කේතු නව වැන්න, සිකුරු දහය. රවි කුජ එකොළහ, බුධ රාහු දොළහ. ගුරු දළ කේන්ද්‍රයේ ග්‍රහ චාරයයි.

මෙම වේලාවේ ක්‍රියාකාරී ශක්තියට බලපාන ප්‍රධාන කරුණු මෙසේය;

1. රවීගේ බුධගේ කාලය 2. බුධ රවි හිමි සිංහ රාශිගතව අයස්ථානයේ ගතවීම. 3. රවි 10 ක්‍රියාකාරී කුජ සමඟ 4. රවි චන්ද්‍ර 2 සහ 10 නීච භංග මහා පරිවර්තන රාජ යෝගය. 5. පුරදසවක තිථිය යෙදීම 6. බලවෘද්ධි පංචකය 7. ලග්නාධිපති භාග්‍යස්ථාන ගතවීම 8. 2 සහ 7 අධිපති කුජ 10 සිටීම 9. රවි කුජ - කර්මස්ථාන ගතවීම 10 – 11 අධිපති 10 සිටීම 11. අනුර නැකත අදාළ අයගේ නැකතට සම්පත් නැකතක් වීම 12. තුලා ලග්නයට උච්ඡ සෙනසුරු හිමි නැකත යෙදීම 13. සුනග යෝගය 14. අන්‍යා යෝගය 15. දිව්‍යමය අවස්ථාව 16. ලග්නාධිපති භාග්‍යස්ථානයේ යෙදීම 17. නියමිත අයගේ නැකතේ පක්ෂියා රජ, නමේ පක්ෂියා බෝජන යෙදීම 18. සෝමෝදර මුහුර්ථය 19. තමස අවස්ථාව 20. අමෘත යෝගය.

මෙහි ඇති විශේෂත්වය වන්නේ 2016 වසරේ ඔක්තෝබර් මාසයේ මෙම නැකත සෑදීමට බාර දුන් අතර අදාළ කාරණය වන්නේ ඉතාමත් දුෂ්කර කටුක ප්‍රදේශයක අලුතින් ආරම්භ කරන විහාරස්ථානයක චෛත්‍යය, විහාරය සහ ලැඟුම් ගෙය සඳහා මුල්ගල් තැබීමයි. ඒ සඳහා අදාළ කරුණු තුනටම එකවර මුල්ගල් තැබීමට සුදුසු නැකතක් යෙදුණේ මාස දහයකටත් පසුවයි.

මුල්ගල් තබා පැය කිහිපයක් තුළ චෛත්‍ය සඳහා ජපානයෙන්ද, විහාරය සඳහා එංගලන්තයෙන්ද, ලැඟුම්ගෙය සඳහා කොළඹ ප්‍රධාන පෙළේ විදුහලක්ද සම්පූර්ණ වියදම බාරගෙන මේවන විට වැඩ අරඹා ඇත. මෙයින් පැහැදිලි වන්නේ සුවිශේෂ නැකැත් සැකසීම දුෂ්කර වුවද එහි ඇති වටිනාකම ඉතා වටිනා බවය.

සටහන චතුමී පිටිපන

නව අදහස දක්වන්න