ක්‍රිකට් නැතිවුනේ ක්‍රීඩක පරපුරක් අහිමි කර ගැනීමනිසා | දිනමිණ

ක්‍රිකට් නැතිවුනේ ක්‍රීඩක පරපුරක් අහිමි කර ගැනීමනිසා

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් එක් පරපුරක් ඉක්මනින් පිටියෙන් සමු ගැනීම අද ක්‍රීඩාව මුහුණ දී ඇති ගැටලුවට ප්‍රධාන හේතුවක් වූ බව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසයි.

මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ලසිත් මාලිංග වසර ගණනාවක් ක්‍රීඩා කිරීමේ කුසලතා තිබුණ හොඳ අත්දැකීම් සහිත ක්‍රීඩක පරපුරක් ක්‍රිකට් ලෝකයෙන් සමුගත් අතර ඒ පරපුර අද වෙන විට ක්‍රීඩාව තුළ රැඳී සිටියා නම් අද කණ්ඩායම මුහුණ දී ඇති ප්‍රශ්නය මතු නොවීමට ඉඩකඩ පැවති බව සඳහන් කළේය.

“අපේ එක ක්‍රීඩක පරපුරක් ක්‍රීඩාවෙන් අයින් වුනා. මම හිතනවා ඒ පරපුර හිටියා නම් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් හිඟවීමේ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්නේ නැහැයි කියල”
එපරිද්දෙන් ක්‍රිකට් ක්‍රීඩාවට අහිමි වූ ක්‍රීඩකයන් කීපදෙනකු නමින් සඳහන් කරන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා ක්‍රීඩා කළ චාමර සිල්වා, ජෙහාන් මුබාරක්, කෞශල්‍ය ලොකු හපුආරච්චි,මලින්ද වර්ණපුර සහ කෞශල්‍ය වීරරත්න වැනි ක්‍රීඩකයන් තවත් කලක් ක්‍රීඩාව තුළ රැඳී සිටියේ නම් අද මතුව ඇති ප්‍රශ්නය වන අත්දැකීම් බහුල ක්‍රීඩක හිඟයට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි සඳහන් කළේය.
ඔවුන් ජාතික කණ්ඩායමෙන් ඉවත් වීමත් සමඟ සමස්ත ක්‍රීඩාවෙන් ද ඉවත් වූ බව ලසිත් මාලිංග පවසයි.

“පසුගිය ලෝක කුසලාන තරඟාවලීන් ගත්තොත් එම තරඟ නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායම් තුළ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් හත් අට දෙනෙක්ම කණ්ඩායමේ ක්‍රීඩකයන් එකොලොස් දෙනා අතර හිටියා. මම කණ්ඩායමට එක්වුණේ 2004 දී.එදා කණ්ඩායම තුළ පරිණත ක්‍රීඩකයන් හතක අටක් නියෝජනය වුනා” ලසිත් මාලිංග පවසයි.

පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් මගින් එම අඩුව පිරවීම නොහැකි බව ඔහුගේ අදහසවේ

ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ ඕනෑම ක්‍රිකට් කණ්ඩායමක් එවැනි සංයුතියක් සිය කණ්ඩායම තුළ පවත්වා ගන්නා බවත් ලසිත් මාලිංග පෙන්වා දෙයි.

එවැනි තත්වයක් යටතේ දැනට සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තවත් තරඟ ලබා දෙමින් තරඟ පනහක් සීයක් තරම් ක්‍රීඩා කිරීමට ඔවුන්ට අවස්ථාව සලසමින් 2019 ලෝක කුසලාන තරඟාවලිය සඳහා සූදානම් විය යුතු යයි ඔහු යෝජනා කර සිටියි.

එවැනි සැලැස්මක් යටතේ අද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ලක්ව ඇති පසුබැස්ම ආපසු හරවමින් අත්දැකීම් බහුල ශක්තිමත් ක්‍රිකට් ක්‍රීඩකයන් කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට පියවර ගත යුතු බව ලසිත් මාලිංග ගේ අදහස වේ.

අදහස් 1ක් ඇත

it entirely correct if those three key players had not left we would have been remained in the highst possion in the world. my sujession is to call back Sanga, Mahela & dilshan at least for another one year to play for sri lankan team. becuase those key players are still strong enouh to encourage our new players in our team.

නව අදහස දක්වන්න