වෙස් මුහුණේ සැබෑ මුහුණ | දිනමිණ

වෙස් මුහුණේ සැබෑ මුහුණ

 මහා සම්මත රජතුමාගේ බිසවට කෝලම් නාට්‍ය දැකගැනීමේ දොළ දුකක් ඇතිවිය. එම දොළදුක සන්සිඳුවීම පිණිස විශ්වකර්ම දේව පුත්‍රයා ලවා ශක්‍ර දේවේන්ද්‍රයා වෙස්මුහුණු කර්මාන්තය ආරම්භ කරවන ලද බව පුරාවෘත්ත‍යන්හි සඳහන් වේ. කෙසේ වෙතත් ශ්‍රී ලාංකික වෙස්මුහුණු කර්මාන්තකරුවන්ගේ මතය තම ශිල්පයට මහා සම්මත රජ යුගය දක්වා දිවෙන ප්‍රෞඪ ඉතිහාසයක් ඇති බවය. මෙරට වෙස්මුහුණු කලාව විදෙස් සංචාරකයන් අතර ද බෙහෙවින් ජනප්‍රියය.

ශ්‍රී ලංකාවේ රජකළ තේජාන්විත රජකු වන රාවණා රජු ද වෙස් මුහුණු යොදා ගනිමින් සතුරන් මෙල්ල කළ බව ඉතිහාසයේ සඳහන් . ඒ සඳහා නාග, රාක්ෂ, ගුරුළු රාක්ෂ වැනි නිර්මාණ භාවිතා කර ඇති බව ද වැඩිදුරටත් සඳහන් වේ. ගෝත්‍රික යුද පිටියේ සතුරන් බිය වැද්දීමට ද වෙස්මුහුණු යොදාගෙන ඇති බව සඳහන්ය. ඊට අමතරව ශ්‍රී ලංකාවේ පැරැණි වැදි ජනතාව සමඟ ද වෙස් මුහුණු බැඳී පැවතුන බව ඔවුන්ගේ ඉතිහාසය විමසීමේදී පෙනී යන කරුණකි. වැදි ජනයා ඔවුන්ගේ පූජා කර්ම සිදුකිරීම සඳහා සිය මුහුණ හා සිරුරේ කොටස් පාට කරගත් බවට ද තොරතුරු ලැබේ.

වෙස්මුහුණු කර්මාන්තය සඳහා යොදා ගැනෙන්නේ සැහැල්ලු හා කල්පවතින ලී වර්ග වන වෙල්කදුරු සහ රුක්අත්තන වැනි දැව වර්ගයන් ය. එසේ සැකසෙන වෙස්මුහුණු දීප්තිමත් වර්ණ ගල්වා අලංකාර කරනු ලබයි. යක්ෂ මුහුණු, නාග මුහුණු, රාක්ෂ මුහුණු, සන්නි මුහුණු, මිථ්‍යා මුහුණු, කෝලම් මුහුණු, දිව්‍ය පුද්ගල මුහුණු, සත්ත්ව මුහුණු ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වෙස්මුහුණු අතර වෙති.

ශ්‍රී ලංකාවේ වෙස්මුහුණු කලාව විවිධ වූ සංස්කෘතිකාංගයන් නිරූපණය කරන අතර එය ආසියාවේ සංස්කෘතිය ඔප්නැංවීමට ද දායකත්වයක් ලබා දෙයි. නර්තන විශේෂාංගයන්හි ප්‍රමුඛ ස්ථානයක් උසුලන වෙස්මුහුණු, ශාන්තිකර්ම සඳහා විවිධ චරිත පිළිබිඹු කිරීමට ද යොදා ගැනේ. උඩරට, පහතරට සහ සබරගමු නර්තන සඳහා ද වෙස්මුහුණු නැතිවම බැරි අංගයකි. නිවාස හා වෙනත් ගොඩනැගිලි සැරසීම සඳහා ද වෙස්මුහුණු යොදා ගැනේ. වෙස්මුහුණු කර්මාන්තය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රකට නගරයක් වන අම්බලන්ගොඩ විදේශීය සංචාරකයන් මෙන්ම දේශීය සංචාරකයන් අතර වෙස්මුහුණු අලෙවිය සඳහා ද ජනප්‍රියය.

අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව ඓතිහාසිකව 'ආරියපාල ගුරුන්නාන්සේගේ පරපුර' සහ 'ගුණදාස පරපුර' සතුව පැවතුණු නමුත් මේ වන විට මේ දුර්ලභ ක්ෂේත්‍රයේ නියැළෙන්නේ ආරියපාල පරපුර පමණි. සමාජීය, ආර්ථික හා සම්පත් දායකත්වය දුර්වලවීමෙන් 'ගුණදාස' පරපුර වෙස්මුහුණු නිර්මාණ ශිල්පය වෙතින් ඈත්වූ බව පැවසේ. දැඩි අපහසුතා මැද වුවද 'ආරියපාල පරපුර' මේ කලාව තවමත් ආරක්ෂා කරගෙන සිටිති. ශ්‍රී ලාංකේය කලා කෘති අතර අද්විතීය ස්ථානයක් හිමි වෙස්මුහුණු කලාව එදා පැවැති තත්ත්වය ගැන ආරියපාල ගුරුන්නාන්සේගේ බාල පුතු වන මහින්ද විජේසූරිය මහතා, මෙසේ අදහස් දැක්වූවේය.

'අපේ තාත්තා වෙස්මුහුණු නිර්මාණය හා ඒ හා බැඳුණු කෝලම්, සන්නි නර්තන කළේ රැකියාවට නොවෙයි. විනෝදයට. ඒ දවස්වල ගම්වල අද වගේ සෑම දෙයක්ම මුදල්වලට කළේ නැහැ. අපේ තාත්තලා කලාව කළේ මානසික තෘප්තියට. ඒ කාලේ අපේ තාත්තා කෝලම් නාට්‍ය හා සන්නි නැටුම්වල එන චරිත නිරූපණය කරන්න විවිධ ස්වරූපයේ මුහුණු හැදුවා. එක් එක් ස්වරූපයේ මුහුණු පැළඳගෙන කරන රංගනයේදී සැබෑ මුහුණ වෙනුවට වෙනත් මුහුණක් පෙනෙන නිසා තමයි මේවට වෙස්මුහුණු කියන නම භාවිතා කළේ. අදටත් අප සමාජයේ සැබෑ මුහුණ සඟවාගෙන වෙනත් ස්වරූපයෙන් සිටින අයට වෙස්මූණු දාගෙන ඉන්නවා කියලත් කියනවනේ.'

'කෝලම්' ඒ කාලෙ බොහොම ජනප්‍රිය නාට්‍ය කලාවක්. මට මතකයි මම කුඩා කාලයේ තාත්තා 'මනමේ' කෝලම් නාට්‍ය පෙන්වනවා. ඒ දවස්වල එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයා තරුණයි. ඒ මහත්තය අපේ තාත්තගෙන් මේ දේවල් ඉගෙන ගත්තා. 'මනමේ' ගී පොතක් තාත්ත ළඟ තිබුණා. තාත්තගෙ 'මනමේ' කෝලම් නාටකය ඇසුරෙන් තමයි සරච්චන්ද්‍ර මහත්තයා 'මනමේ' වේදිකා නාට්‍ය නිර්මාණය කළේ. ඒ දවස්වල තාත්තගෙ 'කෝලම්' නාටක හරි ජනප්‍රියයි. ඒ සඳහා වෙස්මුහුණු විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා.' කෝලම් නාටක පිළිබඳ මතක ඉදිරිපත් කළ මහින්ද මහතා ජනවහරේ එන 'සන්නි නැටුම්' ගැන ද මතකය අවදි කළේය.

සන්නි නැටුම් කෝලම්වලට වඩා වෙනස්. සන්නි නැටුම් වර්ග 18 ක් තියෙනවා. ඒ සෑම සන්නියකටම එකිනෙකට වෙනස් මූණු පාවිච්චි කරනවා. සෙත් ශාන්ති සඳහා කරන ශාන්ති කර්ම තමයි 'සන්නි' නැටුම මඟින් කරන්නේ. සන්නි නැටුමට යොදාගන්න වෙස්මුහුණුවලින් භයංකාරත්වයත්, හාස්‍යයත් මතු කරනවා. මෙමඟින් බලාපොරොත්තු වෙන්නේ මානසික සහනයක් ලබාදීම. මීට අමතරව රාක්ෂ නැටුම් කියල තවත් නර්තන විශේෂයක් තියෙනවා. මේවා නාග රාක්ෂ, මරු රාක්ෂ, සිය වටුක වගේ වෙස්මුහුණු යොදාගෙන කරන නර්තන විශේෂයක්. උත්සව අලංකාරයට, පෙරහර පැවැත්වීමට මේවා යොදා ගන්නවා. මේ සියල්ලක්ම අපේ පාරම්පරික කලා නිර්මාණ.'

වෙස්මුහුණු නිර්මාණය වෙස්මුහුණේ පෙනුම තරමට අලංකාරවත් පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා යෝග්‍ය කදුරු ලී සොයාගැනීම ද අපහසු කාර්යයකි. වෙස්මුහුණ කැපීමට කදුරු ලීයම විශේෂ වන්නේ එය කල්පවතින, සතුන්ගෙන් ආරක්ෂා වන කැටයම් කැපීමට පහසු හා සැහැල්ලු ලීයක් වන නිසාය. කදුරු ලීය වසර 300 ක් පමණ කාලයක් නිරුපද්‍රිතව පවතින හෙයින් වෙහෙස මහන්සි වී කරන නිර්මාණය ආරක්ෂා වීම ද සිදුවේ. මේ ලීයේ කැටයම කැපීම ද එක් ක්‍රමවේදයක් අනුව සිදු වේ. උදාහරණයක් ලෙස මකර රූපය කැපීම සඳහා එහි ඇතුළත් විය යුතු ලක්ෂණ මෙසේ කවියකින් සඳහන් වී තිබේ. ගජේන්ද්‍ර හස්තං - ප්‍රථපාද සිංහං - හළාල දන්තං - මකරං ස්වභාවන්' මේ අන්දමට බොහෝ නිර්මාණ සඳහා පැරණි ක්‍රමවේදයක් පවතී.

නාග පෙන හත සහිත නාග රාජ මුහුණ ආරක්ෂාව සංකේතවත් කරන්නකි. පැරණි රජවරුන්ගේ ස්නාන තාටාග දොරටුවේ මෙවැනි සත් පෙන නාග රාජ රූප සටහන්කොට තිබෙනු දැකිය හැකි අතර පැරණි වෙහෙර විහාර පිවිසුම්හිද නාග පෙන හත දැකිය හැකිය. නාග රාජ වෙස් මුහුණ ද ඉතා දැකුම්කළු එකකි. දහඅට සන්නි සඳහා යොදාගන්නා යකුන්ගේ වෙස්මුහුණු ද කෝලම් සඳහා යොදාගන්නා මුහුණු ද, දේව රූප පෙන්නුම් කරන මුහුණු ද ඉතා අලංකාරවත්ය. ඊට අමතරව මහා සම්මත රාජ රූපය ද ගුරුළු කැටයම ද අති මනස්කාන්ත වෙස්මූණුය. සමාජයේ විවිධ චරිත උපහාසයට ලක්කිරීම සඳහා කෙරෙන එක් - එක් හැඩතලයන්ගෙන් යුත් මුහුණු ශිල්පීන්ගේ නිපුණත්වය පැහැදිලි කරයි.

වෙස්මුහුණු කර්මාන්තයේ ප්‍රවීණයා වන අම්බලන්ගොඩ ආරියපාල ගුරුන්නාන්සේට පුතුන් සිව්දෙනකු හා දියණියන් දෙදෙනකු සිටි අතර ඉන් බන්දුපාල හා මහින්ද යන පුතුන් දෙදෙනා පියාගේ වෙස්මුහුණු, කෝලම් හා සන්නි නැටුම් කලාව ඉදිරියට ගෙන යාමට ඇප කැප වූහ. බන්දුපාල ජයසූරිය මහතා කෝලම් හා සන්නි නැටුම් කලාව පැරණි ක්‍රම විනාශ නොකොට ආරක්ෂා කරමින් ශාස්ත්‍රීය බව අනාගත පරපුරට දායාද කිරීම සඳහා කලායතනයක් ද ආරම්භ කර ඇත. පැරණි ශිල්පීය ක්‍රම ආරක්ෂා වන ආකාරයට වෙස් මුහුණු නිර්මාණකරණයේ යෙදෙන මහින්ද විජේසූරිය මහතා තම පියා නිර්මාණය කළ පැරණි නිර්මාණ ද ආරක්ෂා වන පරිදි කෞතුකාගාරයක් ද පවත්වාගෙන යයි. එවැනි කටයුත්තක් කිරීමට තමාට සිතුණේ විදේශිකයන්ගේ ඇගයීම හා පැසසීම නිසා බව විජේසූරිය මහතා පවසයි.

'ඒ දවස්වල අපේ ගෙදර තිබුණෙ අම්බලන්ගොඩ තානායම ඉදිරිපිට. තාත්තා නිතරම කෝලම්, සන්නි නැටුම් පුරුදු වෙනවා. බෙර ගහන සද්දෙට තානායමට එන විදේශිකයො ඇවිත් බලනවා. ඒ ආවම ගෙදර හැමතැනම තිබෙන විවිධ වර්ගවල වෙස්මුහුණු දකිනවා. බලලා බොහොම හොඳ ඇගයීමක් කරල වෙස්මුහුණු මිලදී ගන්නවා. විදේශිකයන්ගේ ආකර්ෂණය අපේ වෙස්මූණුවලට යොමුවුණේ එහෙමයි. සමහරු ඒවා නිර්මාණය කරන ආකාරය ඡායාරූපත් ගන්නවා. ඒ ගත්තු ඡායාරූප කීපයක්ම ජර්මන්, එංගලන්ත, රුසියාව වගේ විදේශීය රටවල පුවත්පත්වල පළවෙලා තිබුණා. මේ නිසා අපට විදේශිකයන්ගේ ඇණවුම් ලැබුණා. ඒවාට හොඳ මුදලකුත් දුන්නා. අපි මේ කර්මාන්තය ටිකක් දියුණු කරන්න හිතුවේ ඒ නිසයි. ඒත් තාත්තා ඒකට වැඩිය කැමැත්තක් දැක්වූයේ නැහැ. තාත්තා මේවා නිර්මාණය කළේ මුදල් උපයන්න නෙමෙයි. කොහොම වුණත් ඔය විදිහට ආරියපාල කලාගාරය හා කෞතුකාගාරය ආරම්භ වුණා.'

විශේෂයෙන් ජර්මනිය ආරියපාල ගුරුන්නාන්සේගේ කලා භවන කෙරෙහි මහත් පැහැදීමකින් සිටි වග ප්‍රකටය. ඔවුන් වෙස්මුහුණු කලාව හා පැරණි නිර්මාණ ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ද අදටත් වෙහෙස දරති.

1986 වසරේදී දීප ව්‍යාප්ත වෙස්මූණු කැපීමේ තරගයට මම ඉදිරිපත් වුණා. එතකොට තාත්තාට එතරම් ඇස් පෙනුණෙ නැහැ. ඒත් තාත්තා මට කිව්වා සුරඹ වල්ලි (මකර) මුහුණ කපන්න කියල. මම තාත්තා කියල දෙන ආකාරයට වෙස්මුහුණ නිර්මාණය කළා. ඒ තරගයේදී මගේ නිර්මාණයට ප්‍රථම ස්ථානය හිමිවුණා. '

මහින්ද විජේසූරිය මහතාගේ එම ජයග්‍රහණයත් සමඟ ඔහුට තවත් වටිනා අවස්ථාවක් හිමිවිය. ඒ 1987 දී සංචාරක මණ්ඩලය හා සංස්කෘතික දෙපාර්තමේන්තුව එක්ව එංගලන්තයේ පැවැති ප්‍රදර්ශනයක් සඳහා මහින්ද විජේසූරිය මහතා ඉදිරිපත් කිරීමය. එම ප්‍රදර්ශනය සඳහා උසස් ගණයේ වෙස්මුහුණු කීපයක්ම ඉදිරිපත් විය. ප්‍රදර්ශනය විවෘත කරන ලද්දේ ඩයනා කුමරිය විසින් වීම විශේෂත්වයකි. ඇය ද අපේ කලා කෘති මහ ඉහළින් වර්ණනා කළ බව විජේසූරිය මහතා පවසයි. ඉන්පසු අපේ වෙස්මුහුණු කලාවට ජාත්‍යන්තරව ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණ අතර ඒ නිසාම විදේශිකයෝ අම්බලන්ගොඩ ආරියපාල වෙස්මුහුණු කෞතුකාගාරය නැරඹීම සංචාරයේ අංගයක් වශයෙන් සටහන් කර ගත්හ.

දේශීය වශයෙන් ද අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව සඳහා ප්‍රසිද්ධියක් ලැබුණු අතර පැරණි කලා කෘති අගය කරන දේශීය සංචාරකයන් ද ආරියපාල වෙස්මුහුණු කෞතුකාගාරය නැරඹීමට හා එහි නිර්මාණ මිලදී ගැනීමට පුරුදු වූහ. පාසල් දරුවන්, විවිධ ආයතන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා සිසුන්, නොයෙක් සංවිධාන මෙම කලායතනය හා කලාගාරය නරඹා අවබෝධය හා වින්දනය ලබාගැනීමට හුරු වූහ.

ආරියපාල මහතා වියැකී යන දේශීය කලා උරුමයක් වශයෙන් හැඳින්විය හැකි වෙස්මුහුණු කලාව හා කර්මාන්තය ආරක්ෂා කරගැනීම උදෙසා මෙසේ උත්සාහ දරන්නේ රජය මේ වන තෙක් කිසිදු අධීක්ෂණයක් හෝ ඉදිරිපත්වීමක් සිදුකර නොමැති තත්ත්වයකය. සංස්කෘතික දෙපාර්තමේන්තුව හෝ කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් හෝ වෙස්මුහුණු කර්මාන්තය ආරක්ෂා කරගනු පිණිස අඩුම තරමේ ඇගයීමක්වත් නොකිරීම කනගාටුවට කරුණක් බව ඔවුන්ගේ අදහසයි. මීට වසර කීපයකට පෙර අප රටට පැමිණි විදේශීය සංචාරකයන් අතර එංගලන්තය, ජර්මනිය, රුසියාව, ස්විස්ටර්ලන්තය වැනි ධනවත් රටවල කලා හි‍තෛෂි ධනවත් සංචාරකයෝ සිටියහ. ඔවුන් වෙස්මුහුණු සාධාරණ මිලකට මිලදී ගත් නමුත් අද වන විට එවැනි සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙයි. අරාබි, චීන, ඉන්දියානු, පාකිස්තාන්, නේපාල් වැනි පිරිස් අද වන විට ශ්‍රී ලංකාවේ සංචාරකයන් අතර බහුලව දක්නට ලැබෙන නමුත් ඔවුහු වෙස්මුහුණු නිර්මාණ නැරඹීම හැර මිලයට ගැනීමක් සිදු නොකරති. ඒ හේතුවෙන් වෙස්මුහුණු කලාව ඉදිරියට රැකගැනීම ඉතා අසීරු තත්ත්වයකට පත්ව ඇත.

මහින්ද විජේසූරියලාගේ තුන්වන පරපුර නියෝජනය කිරීම සඳහා ඔහුගේ පුත් නිර්මාල් විජේසූරිය ඉදිරිපත් වී සිටින අතර ඔහු විදෙස් සංචාරයන්හි නියැලෙමින් මෙරට වෙස්මුහුණු කර්මාන්තය ඉහළ මට්ටමකට ගෙන ඒමට වෙහෙසක් දරයි. නවීන තාක්ෂණය ‍ඔස්සේ විදෙස් රටවල් සමඟ සම්බන්ධතා පවත්වාගෙන අප වෙස්මුහුණු කලාව දියුණු කිරීමට ඔහු ගන්නා වෙහෙස අගය කළ යුතුය.

පරම්පරා දෙකක් අතරින් මේ කලාව අනාගතයට රැගෙන යාමට ඉතිරිව සිටින ආරියපාල පරම්පරාව තම මුතුන්මිත්තන්ගේ සංස්කෘතික උරුමය ආරක්ෂා කරගැනීම සඳහා සහ එය අනාගත පරපුරට දායාද කිරීම සඳහා වෙනත් රැකියා හා ව්‍යාපාරවලින් ලබන ආදායම යොදවා මේ ඓතිහාසික වෙස්මුහුණු කලාව නඩත්තු කරයි. එසේ නොකොට මෙය ආරක්ෂා කර ගැනීම අපහසු කටයුත්තකි. මක්නිසාදයත් රැකගත යුතු සංස්කෘතික කලා උරුමයක් වෙනුවෙන් වගකිවයුතු කිසිදු ආයතනයක් අවධානය යොමු නොකරන බැවිනි.

අපේ පාරම්පරික වෙස්මුහුණු කලාව ආරක්ෂා කරදීම සඳහා ජර්මානු විශ්වවිද්‍යාල මහාචාර්යවරු හා සිසුන් වසර 200 කටත් වඩා පැරණි වෙස්මුහුණු මතු පරපුරට දැකබලා ගැනීමට අවස්ථාව සලසමින් වසරක් පාසා පැමිණ අවශ්‍ය බෙහෙත් ගල්වා නියමිත ආලේප තවරා ආරක්ෂා කිරීමට ඉදිරිපත් වී සිටීම සැනසීමට කරුණකි. එබැවින් අපගේ සංස්කෘතික උරුමයන් ආරක්ෂා කර සංරක්ෂණය කිරීමට බැඳී සිටින වගකිවයුත්තන් අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව හා කර්මාන්තය ගැන ද ඇස යොමු කරන්නේ නම් ඉතා අගේය. නැතහොත් ප්‍රෞඪ ඉතිහාසයක් හිමි අපේ වෙස් මුහුණු කලාව වැනසී යන දිනය වැඩි ඈතක නොවනු ඇත.

සටහන-නිශාන් මෙන්ඩිස්
ඡායාරූප-වාසිත පටබැඳිගේ

අදහස් 2ක් ඇත

ගුණදාස' පරපුර වෙස්මුහුණු නිර්මාණ ශිල්පය කිසිකලක තමන්ගේ ජීවන උපාය කර ගත්තේ නැත . ඒමෙන්ම කෝලම් වෙස් මුහුණු සහ නැටුම් කිසිම වෙනස් කිරීමකින් තොරව දැක බලගැනීමේ හැකියවා ඇත්තේ ගුණදාස පරපුරින් පමණකි. නිශාන් මෙන්ඩිස් මහත්මණනි මිටවඩා වගකීමකින් කරුනු හොයා බලා සටහන් කරනේ නම් අගයමි 'ගුණදාස' පරපුර වෙස්මුහුණු නිර්මාණ ශිල්පය වෙතින් ඈත්වූ බවට ඔබගේ ප්‍රකාශය කොතරම් දුරට ගැලපෙනවද යන්න බැලීමට පහතින් ඇති ලින්ක් එක බලන්න. https://www.facebook.com/Traditional-Kolam-Dancing-Maha-Ambalang

පෙර අදහස් දැක්වූ අය සමග එකග වෙමි . මා දන්නා තරමට මහ අම්බලන්ගොඩ ටුක්කාවඩු ගුණදාස පරපුර අම්බලන්ගොඩ වෙස්මුහුණු සහ කෝලම් කලාවේ පුරෝගාමීන් වේ . ආරියපාල පරපුර ඉන්පසුව මෙම කලාවට ප්‍රවිෂ්ට වූ බවත් 80 දශකයේදී ලංකාවේ මෙම කලාව ගැන අධ්‍යනයක් සදහා පැමිණි ජර්මානු විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරයකු, ලංකාවට පැමිණ අම්බලන්ගොඩ වෙස්මුහුණු කලාව හෝ ඊට සම්බන්ද පරම්පරා වන ගැන නිවැරදි සමීක්ෂණයකින් තොරව වෙස්මුහුණු හා කෝලම් කලාව ආරියපාල පරපුර පමණක් සිදු කරන බව සිතා ඒ බව ඔවුන්ගේ වාර්තා වල සටහන් කිරීම ට තරම් අනුවණ විය .එපමණක් ද නොව මෙම කලාව ආරක්ෂා කිරීම සදහාත් එය නගාසිටුවීම සදහාත් ඉහත ආරියපාල පරපුරට පමණක් ජර්මානු රජයේ පුර්ණ අනුග්‍රහය යොමු කිරීමට සැලැස්වීය . එහි ප්‍රතිපලය වුයේ අම්බලන්ගොඩ වට රවුම අසල ආරියපාල සහ පුත්‍රයෝ නමින් ආයතනයක් බිහිවීමය.මගේ දැනුමේ හැටියට ඔවුන් වෙස්මුහුණු වෙළදාම ජීවන උපායක් කරගෙන වෙස්මුහුණු හා කෝලම් කලාව කෙසේ වෙතත් තම ඉදිරි පරම්පරාව දියුණු කිරීමට කටයුතු කරන බවය. එසේ නොමැතිව ටුක්කාවඩු පරපුර මෙම කලාවෙන් ඇත් වුවා නොව පිටරට වල අනුග්‍රහයෙන් ආරියපාල පරපුර ඉස්මතු වූවා පමණි.එම නිසා කිසිවක් හරියට සොයා නොබලා 80 දශකයේ ගුණදාස පරපුරට සිදුවූ අසදාරනය තව දුරටත් නොකරන ලෙස මෙම ලිපිය ලියු නිශාන්ත මෙන්ඩිස් මහතාගෙන් ඉල්ලා සිටිමි .තවද සමහරක් වාර්තා කරුවන් මුදලට මෙවැනි සිදුකරන බවත් ඔබ නොදැනුවත් කමින් කල ඇති බවත් සිතමි . මා දන්නා තරමින් ටුක්කා වඩු පරපුරේ වේස් මුහුණු සහ කෝලම් කලාව සංරක්ෂණය කිරීම සදහා මෑතකදී ලක් රජයේ පුර්ණ අනුග්‍රහයෙන් කලා ආයතනයක් සහ කවුතුකාගාරයක් මහ අම්බලන්ගොඩ ගොඩනගා ඇති බවයි .මේ වන විට මා බදුල්ලේ ජිවත් වෙන බැවින් එය නැරබීමට අවස්ථාවක් මෙතෙක් උදාවී නොමැත . ගූගල් සෙවීමෙන් ලබා ගත් පරිදි http://tukkawadumask.com/ මෙය ඔවුන්ගේ ලින්ක් එක විය යුතුය . සමරරත්න -අම්බලන්ගොඩ

නව අදහස දක්වන්න