අපේ දැක්මට අනුව 2025 ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක දූපත කරනවා | දිනමිණ

අපේ දැක්මට අනුව 2025 ශ්‍රී ලංකාව ලොව හොඳම සංචාරක දූපත කරනවා

"Future of Tourism 2017" වැඩසටහනට එක්වෙමින් අගමැති කියයි

ආසියා ශාන්තිකර කලාපයට අයත් රටවල සංචාරකයන් මිලියන 500ක් අතරින් සියයට 75ක පමණ පිරිසක් එළැඹෙන 2030 වනවිට ආසියානු කලාපයේ සංචාරය කරන අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ අවස්ථාව තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

ආසියාව සංචාරක ක්ෂේත්‍රයේ මධ්‍යස්ථානය වනු ඇති බව පෙන්වා දෙන ඒ මහතා භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව ඉතා වැදගත් ස්ථානයක පිහිටා තිබෙන බවද එහි ප්‍රතිලාභ ලබාගැනීම සඳහා වන සැලසුම් ක්‍රියාත්මක කළයුතු බවද සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී ඊයේ (26) පැවැති "Future of Tourism 2017" වැඩසටහන සඳහා එක්වෙමිනි. සංචාරක කර්මාන්තයේ නිරත ප්‍රවීණයන් 100කට වැඩි පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වූ අතර සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය මගින් එය සංවිධාන කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අන්තර්ජාතික වශයෙන් සංචාරක කටයුතු ඉදිරියට කරගෙන යන්නේ ආසියාවයි. ඒ සම්බන්ධයෙන් කිසිඳු සැකයක් නැහැ. 1970 වසරින් පසුව ආසියාවේ සිදුවූ ආර්ථික සංවර්ධනය ඊට එක් හේතුවක් වෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණයේ දියුණුවත් මේ සඳහා එක් හේතුවක් වෙනවා. අද වනවිට ශ්‍රී ලංකාව ඇතුළුව කලාපයේ රටවල සංචාරක කර්මාන්තය වේගයෙන් දියුණු වෙමින් තිබෙනවා. මීට පෙර සංචාරක කර්මාන්තයේ නිරත සමාගම් විසින් එක් එක් රටවලට ගොස් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් සිදුකරමින් සංචාරකයන් ගෙන්වා ගත්ත ද අද වනවිට තම දොරටුව සමීපයටම සංචාරකයන් පැමිණෙනවා.

සියලුම ආසියාතික රටවල දළ ජාතික නිෂ්පාදිතය අද වනවිට වර්ධනය වී තිබෙනවා. ජනගහන වර්ධනයට සාපේක්ෂව එහි විශාල වර්ධනයක් තිබෙනවා. අද වනවිට යුරෝපා රටවල ජීවන වියදම ඉහළ මට්ටමක තිබෙනවා. මේ නිසාම අමෙරිකාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල සංචාරකයන් වැඩි වශයෙන් ආසියාව දෙසට යොමුවෙලා. දැනට පවතින තාක්ෂණය අනුව සංචාරකයන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන්න සංචාරක නියෝජිතායතන පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති තත්ත්වයන් අද වනවිට විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා.

සංචාරක කර්මාන්තයේ විවිධ පැති සොයා යන්නට පුරුදුව සිටිනවා. මීට වසර කිහිපයකට පෙර විශාල සමාගම් විසින් සංචාරක කර්මාන්තය මෙහෙයවුවත් අද වනවිට එය අන්තර්ජාලයෙන් කරගත හැකි මට්ටමට පත්ව තිබෙනවා. නවාතැන්පොළ පවා ළංව තිබෙනවා. ඔවුන් සංචාරකයන් සමඟ ගනුදෙනු කරනවා. ආසියාව සංචාරක කර්මාන්තයේ මධ්‍යස්ථානය බවට පත්වෙන්න යනවා. ශ්‍රී ලංකාව ඉන්දියාවට ආසන්නයේ ඉන්දියන් සාගරයේ වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා. ඒ වගේම පකිස්තානය, බංග්ලාදේශය, මැදපෙරදිග, දකුණු හා නැඟෙනහිර ආසියාව, චීනය වැනි රටවලට ආසන්නයේ ශ්‍රී ලංකාව වැදගත් ස්ථානයක පිහිටා තිබීම හේතුවෙන් සංචාරක කර්මාන්තය දියුණු කර ගැනීමට හැකි වෙනවා.

නැඟෙනහිර අප්‍රිකානු රටවලට සංචාරකයන් යන්න කැමැතියි. අපේ ගුවන් තොටුපොළ, වරායන් දියුණු කරන්නේ නම් එයින් ප්‍රයෝජන ලබාගන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතිය ද දියුණු කළ යුතු වෙනවා. යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු වෙනවා. සංචාරක කර්මාන්තයේ දියුණුව උදෙසා දකුණු පළාත දියුණු කරන්න අපි කටයුතු කරනවා. වරාය දෙකක් වගේම ගුවන් තොටුපොළ දෙකක් අපිට තිබෙනවා. මේ වසර අවසන් වනවිට මත්තල ගුවන් තොටුපොළේ ආයෝජනය සඳහා ආයෝජකයෙක් සොයා ගන්නවා. දෙවනුව කටුනායක සිට කල්පිටිය දක්වාත් කල්පිටිය සිට මහනුවර දක්වාත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා.

දැනට අපි ආර්ථික කලාප ස්ථාපිත කිරීම වෙනුවෙන් ආයෝජකයන් සොයමින් සිටිනවා. ඒ වගේම මත්තල, උතුරු කොළඹ, මහනුවර, මන්නාරම, යාපනය, ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හි අක්කර 5,000ක් පුරා සංචාරක නිවාඩු නිකේතන හදන්න කටයුතු කරනවා. මේ වනවිට අක්කර 1,000ක් හඳුනාගෙන තිබෙනවා. ඒ වෙනුවෙන් ආයෝජකයන් සොයනවා. මේ වනවිට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. ශ්‍රී ලංකාව වටේම පහසුවෙන් යා හැකි පරිදි සංචාරක කර්මාන්තය දියුණු කරනවා. මේ සියල්ල කරන්න මානව සම්පත දියුණු කළ යුතු වෙනවා. ඒ නිසාම මානව සම්පත දියුණු කිරීම වෙනුවෙන් වත්මන් ආණ්ඩුව ප්‍රමුඛත්වය දී තිබෙනවා. දින 365 දිස්ත්‍රික්ක 25 සඳහා බෙදා ගනිමින් විවිධ සැලසුම් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා-

අද වනවිට ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විශාල පරිවර්තනයකට ලක්ව තිබෙනවා. එම කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රජය විසින් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබෙනවා. එළැඹෙන 2025 වනවිට මීට වඩා විශාල දියුණුවක් අපි අපේක්ෂා කරනවා. සංචාරක ආකර්ෂණය අතින් ඉහළ තැනක සිටින ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ලබාගත යුතු වෙනවා. මේ වෙනුවෙන් සියලු පාර්ශ්වයන්ගේ සහාය අවශ්‍ය වෙනවා. 2025 අපේ දැක්මට අනුව ශ්‍රී ලංකාව ලෝකයේ හොඳම සංචාරක දූපත බවට පත්කරනවා.

එතැන දී අපි සංචාරකයන්ට විවිධ අත්දැකීම් ලබාදෙන්න කටයුතු කරනවා. එම දැක්මට අනුව සංචාරක කර්මාන්තයේ ඉන්න සියලු දෙනාගේම සැලසුම් ක්‍රියාත්මක කරන්න හැකිවෙනවා. එය අපේ රට ආර්ථික වශයෙන් විශාල දියුණුවක් කරා ගමන් කරන්නට හොඳ අවස්ථාවක් වෙනවා.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ක්‍රිෂාන් බාලේන්ද්‍රන් මහතා-

ගෝලීය වශයෙන් ව්‍යාප්ත වී සිටින සංචාරක විශේෂඥයන් විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝකයේම ප්‍රසිද්ධියක් උසුලනවා. ඉදිරි වසර 10ක කාලයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ නැංවීමට අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කරමින් තිබෙනවා.

සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇසල වීරකෝන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කාවන් රත්නායක, ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු සභාපති උදය නානායක්කාර මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

මහින්ද අලුත්ගෙදර
ඡායාරූප - සමන් ශ්‍රී වෙදගේ 

අදහස් 1ක් ඇත

lokayama puduma karannath ekka, ahana ayata wismayak dennath ekka, usas darmaddipayak karanna uthsaha ganna , kuddan nathi karanna, kupadikam nokara adarayata adaraya karana tharuniyata sawan denna, wanacharayin mara damanna, agamathiyani obata me wagakima sathuya!

නව අදහස දක්වන්න