ලෙෂර් හිල්ස් පාර්ක් කොයි කාගේත් සතුට උතු­රා­යන තැනක් | දිනමිණ

ලෙෂර් හිල්ස් පාර්ක් කොයි කාගේත් සතුට උතු­රා­යන තැනක්

ජයසිරි මුණසිංහ

විවිධ අරමුණු, ඉලක්ක ඔස්සේ හැල්මේ ලුහුබඳින වැඩිහිටියෝ, තම දූ දරු දැරියන් සමඟ මොහොතක් නිදහසේ, විවේකීව, සැහැල්ලුවෙන් සුව‍ෙයන් කාලය ගත කිරීමට පියවර ගන්නේ නම් එය මේ දෙපාර්ශ්වයේම යහපත සඳහාම හේතුවනු නොඅනුමානය.

මුළු මහත් සමාජයේම යහ පැවැත්ම සඳහා දෙමාපිය දූ දරු සබඳතාවල පවතින සුහදශීලී, සමීප බව ඉවහල් වන්නේය. මේ සදාතනික සත්‍යයන් හා බැඳුණු කතාන්දරය ඉතා මිහිරි වුවත්, නේකවිධ පරිබාහිර හේතූන් නිසා අද වනවිට වැඩිහිටියෝ කාර්යබහුලවී සිටිති. වැඩිහිටියන්ට විවේකයක් නැති තරම්ය. එවන් පරිසරයක තම දූ පුතුන් සමඟ කාලය ගත කිරීමට ඔවුන්ට ඉඩක් නැත.

එසේ දැඩි අවිවේකී ජීවිතයක් ගත කරන වැඩිහිටියකුට වුව, කාලයක් ලබාගෙන තම දූ පුතුන් සමඟ නිදහසේ, සතුටින්, සැහැල්ලුවෙන් කාලය ගත කිරීමට ස්ථානයක් සොයා ගැනීම අසීරුය.

මේ දෙයාකාර ප්‍රශ්නයෙන් පීඩා විඳින වැඩිහිටි, දෙමාපිය සිය‍ලුදෙනා වෙනුවෙන් යම් සහනයක් සැලැසීමට ඓතිහාසික දැදිගම්පුරවරයේ කදිම ස්ථානයක් නිර්මාණය කොට තිබේ. එම ස්ථානය වැඩිහිටි, තරුණ, ළමා කාටත් එකසේ සතුටු වියහැකි උද්‍යානයක් ලෙස ගොඩනඟා තිබේ.

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය පසුකර කෑගල්ල දෙසට මීටර් 300ක් පමණ ඉදිරියට ගියවිට දකුණුපසට වන්නට මේ සුන්දර ස්ථානය නිර්මාණයකොට ඇත. එය නමින් “ලෙෂර් හිල්ස් පාර්ක්” නම්වේ. (Lesure Hills Park)

කතුරු ඔන්චිල්ලා, බෝට්ටු සවාරි, ස්වයංක්‍රීය කාර්, යතුරුපැදි ධාවනයට අවස්ථා, ඉලක්කයට වෙඩි තැබීම, දුනු ක්‍රීඩා ඇතුළු ළමා ළපටියන්ට සිත්සේ විනෝද විය හැකි ක්‍රීඩා, ක්‍රියාකාරකම් රාශියකට මේ බිමේ ඉඩපහසුකම් සලසා ඇත.

ඉතාම පරිසර හිතකාමී පොදුජන මනසට විවේකී සුවය හිමිකර දෙන ස්ථානයක්, උද්‍යානයක් ලෙස ගොඩනඟා තිබෙන මේ උද්‍යානයේ ක්‍රියාකාරකම්වලින් සතුට, විනෝදය උපරිමයෙන් විඳගන්නට අවස්ථාව සලසා දී තිබේ.

ඓතිහාසික වටිනාකම් රාශියකින් යුතු කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ නගරයට කිට්ටුව තෝලංගමුව ඉදිකර තිබෙන මේ සුන්දර බිමේ දිනක් තම දූ පුතුන් සමඟ නිදහසේ කාලය ගත කරන්නට වැඩිහිටියෝ දක්වන උනන්දුව දිනෙන් දින වැඩිවෙමින් පවතී.

මෙවන් ස්ථානයක් නිර්මාණය කළ ලෙෂර් හීල්ස් හෝල්ඩින්ස් (පෞද්ගලික) සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එල්. සරත්චන්ද්‍ර මහතා,

අපි මේ උද්‍යානය නිර්මාණය කළේ සියලුදෙනාටම සතුටින්, නිදහසේ කාලය ගත කරන්නට ඉඩක් ලබාදීමේ අරමුණින්. මේ බිමේ ළමා ක්‍රීඩා, ක්‍රියාකාරකම් වැඩි ප්‍රමාණයකට වැඩි ඉඩක් ලබාදීලා තියෙනවා.

අපි දන්නවා මේ කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේත්, අඹේපුස්ස හන්දිය හරහා දිවෙන කොළඹ - කුරුණෑගල මාර්ගයේත්, විශාල පිරිසක් සති අන්තයන්වල, සතිය මැද පවා ගමන් ගන්නවා කියලා. මේ අතුරින් විනෝදයෙන්, විවේකයෙන් කාලය ගත කරන්න යන පිරිසත් ඉන්නවා. ඒ අයට ටිකක් ගිමන් හරින්න දරුවන්ට, ඔවුන්ට විනෝදවන්න ස්ථානයක් ලෙසයි අපි මෙය නිර්මාණය කළේ.

අපි මේ විනෝද උයනේ තිබෙන ක්‍රියාකාරකම් හා අසිරිය විඳින්න යම් මුදලක් අය කරනවා. නමුත්! ඒ මුදලට වඩා වටින සේවයක් ලබාදීමයි අරමුණ.

ළමයි, දුව පැන සෙල්ලම් කරනතුරු වැඩිහිටියන්නට නිද‍හසේ කාලය ගත කරන්නට අවස්ථාව ලබාදීලා තියෙනවා. ඓතිහාසික දැදිගම, කොටවෙහෙර, පින්නවල අලි අනාථාගාරය, උතුවන්කන්ද සූර සරදියෙල් ගම්මානය දැකබලා ගන්න යන එන අයට වාගේම මේ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා විවේකය, සතුට, නිදහස භුක්ති විඳීමට අවශ්‍ය සෑම දෙනාටම මේ බිම විවෘතයි.

අපිට කල්තියා දැනුම් දුන්නොත් මෙතැන ඉඳලා කෑම වේලක් කන්න, එය පිළියෙළ කර දෙන්න වුණත් පුළුවන්කම තිබෙනවා.

ඕනෑම කෙනෙකුගේ උපන්දින සාද, ආයතනවල පුංචි පහේ සාද පැවැත්වීමට වුණත් අපි කටයුතු සූදානම් කරදෙනවා. ඒවා සියල්ල සිදු කරන්නේ ඉතාම පහසු හා දරාගත හැකි මිල ගණන්වලට යටත්වයි, සරත්චන්ද්‍ර මහතා කීය.

සේවකයින් කිහිපදෙනකු දැනට මේ ආයතනයේ රැකියාව කරන අතර, ඉදිරි පියවර II හා III සැලැස්ම ක්‍රියාවට නංවා දැවැන්ත මහජන හිතකාමී විනෝද උද්‍යානයක් බිහි කිරීම සරත්චන්ද්‍ර මහතාගේ අරමුණයි.

වඩාත් ඉහළ පාරිභෝගික සත්කාරක සේවාවක් තුළින් තම උද්‍යානය වෙත පැමිණෙන පිරිස වැඩිකර ගැනීමට ඔහු හා ඔහුගේ කාර්ය මණ්ඩලය ඇපකැපව වෙහෙස වෙති. ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේවායි! අපිදු ප්‍රාර්ථනා කරමු.

 

 

 

නව අදහස දක්වන්න