වලවට මහ වැසි | දිනමිණ

වලවට මහ වැසි

මහ කන්නයට අලුත් සැලසුමක්

වසර දෙකකට ආසන්න කාලයක් පුරා පැවැති දැඩි නියඟය නිසා වලව කලාපයේ වී ගොවීන්ට සිය ගොවිතැන් කටයුතු කන්න 3ක් පමණ කර ගැනීමට නොහැකි වීමෙන් අසරණ තත්ත්වයක සිටි අතර මේ දිනවල ප්‍රදේශයට ඇඳ හැළෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙවර මහ කන්නයේ වී වගාව ඇතුළු අතිරේක බෝග වගා කිරීමේ කටයුතු පසුගිය 25 දින සිට උඩවලව ජලාශය මඟින් ජලය නිකුත් කිරීමත් සමඟ ආරම්භ කර තිබේ.

වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර පී. ජී. අමරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් හා නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර ඉංජිනේරු තිලක් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය දින චන්ද්‍රිකා වැව කොට්ඨාස කළමනාකාර කාර්යාලයේ දී වලව කලාපයට අයත් කොට්ඨාස කාර්යාල වන චන්ද්‍රිකාවැව, මුරවැසිහේන, අගුණුකොලපැලැස්ස , මයුරපුර, සූරියවැව, කිරිඉබ්බන්ආර කොට්ඨාස කළමනාකරුවන් ඇතුළු ව්‍යාපාර කමිටු නියෝජිතයන් දැනුවත් කිරීමේ රැස්වීමක් ද පැවැත් විණි.

මෙහිදී වලව කලාපයේ ප්‍රධාන ඉංජිනේරු තිලක් රණසිංහ මහතා ප්‍රකාශ කළේ උඩවලව ජලාශයේ රදවා තබා ගත හැකි ජලය අක්කර ඝන අඩි 217000ක් පමණ බවත් එයින් මේ වන විට ජලාශයේ ජලය අක්කර ඝන අඩි 110000ක් පමණ තිබෙන බවත් මේ දින වල පවතින වැසි නිසා එම වැසි ජලය යොදා ගෙන සීසෑම ඇතුළු මූලික කටයුතු සිදු කළ හොත් ඉහත ජලය මුර ක්‍රමයට නිකුත් කළ හැකි බවයි.

ඉදිරියේ දී බලාපොරොත්තුවන වර්ෂාව ලැබුණ හොත් ජලය නිකුත් කිරීමේ ගැටලුවක් නැති බවත් එසේ නොවුන හොත් තිබෙන ජලය ප්‍රවේශමෙන් වගා කටයුතු වලදී පරිහරණය කළ යුතු බවත් කෙසේ හෝ ජලය අපතේ නොයවා වගා කටයුතු සිදු කළ හොත් ඉදිරි යල් කන්නයේ දී ද වගා කටයුතු සඳහා ජලය නිකුත් කිරීමේ ගැටලුවක් නොවන බවයි.

කලාපයේ වී වගා කටයුතු අක්කර 110000ක් පමණ සහ අනෙකුත් කෙසෙල් , ගස්ලබු ඇතුළු අතුරු බෝග අක්කර 12000ක් පමණ වගා කරන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 

ඇඹිලිපිටිය සංචාරක
ඩබ්ලිව්. විදානපතිරන

නව අදහස දක්වන්න