ශ්‍රී ලංකා­වට ගොඩ­ඒ­මක් නැද්ද? | දිනමිණ

ශ්‍රී ලංකා­වට ගොඩ­ඒ­මක් නැද්ද?

‘වරුණ’ නම් ඔහු මගේ පැරණි හිතවතෙකි. රජයේ නිලධාරියකු සේ සේවය කරන වරුණ පතපොත සමඟ යහපත් ඇසුරක් පවත්වා ගෙන යන, සමාජමය, දේශපාලනමය, සාහිත්‍යමය, සංස්කෘතිකමය හා ආර්ථිකමය කාරණා පිළිබඳව විචාරාත්මකව හා සුලභ මතයෙහි සිරකාරයකු නො වී කල්පනා කරන සංවේදී සිතැති තැනැත්තෙකි. හේ සිය ගෙවත්තේ නොයෙක් භවභෝග වගාවට ද උනන්දු වන්නෙකි. ඔහුගේ වගාමය උනන්දුව හා හැකියාව ඒ පිළිබඳ යහපත් අත් ගුණයක් නැති මගේ සැලකිල්ලට හා ඇගයීමට කවදත් ලක්විය.

කලකට පසු වරුණ මට පසුගිය දවසක හමුවිය. ඒ නගරයක දී ය. සැදෑමය දසුන් මැකී ගොස් නියොන් ආලෝකයෙන් හා නන් පැහැ විදුලි බුබුළු එළියෙන් නගරය ආලෝකවත් වෙමින් තිබුණු හෝරාවක ඔහුත් මමත් සෙනඟින් පිරී නොගිය අවන්හලක සැහැල්ලු කෙටි ආහාර සමඟ තේ පානය කරමින් කතාබහ කළෙමු.

“ලංකාව කවදාවත් දියුණු වෙන්නෙ නෑ. මෙතන ම තමයි. ගියොත් යන්නෙ මෙතනිනුත් පහළට. ඉතින් ගොඩඒමක් නම් නෑ.”

මම නිහඬව ම සිටියෙමි. මගේ අදහසට කලින් ඔහු ඉදිරිපත් කරන කරුණු දැනගන්නට එවේලේ මට ඇවැසි විය. වරුණ යළි දොඩමලු විය.

“අපේ අප්පච්චිගෙ මහගෙදර තිබුණෙ උස කන්දක් නැඟල නැවත කුඩා පල්ලමක් බැස්සම තිබුණු පුංචි ගමක. ඉස්සර අපි මේ කන්ද නිතර නඟිනවා. කඳුමුදුනෙ ඇති තරම් වතුර තිබුණා. හරි සුන්දර පරිසරයක්. මම ළඟදි ගමේ ගියහ ම කාලෙකට පස්සෙ මේ කන්ද නැග්ගා. කඳු බෑවුමේ ගෙවල් වැඩිවෙලා. අලුතින් ගෙවල් හැදෙනවා. ගෙවල් හදන්න යන්ත්‍ර සූත්‍රවලින් කඳු බෑවුම ඩෝසර් කරනවා. තද බෑවුමේ රබර් ඉඩමක ගස් ගළවනවා. ගළවන්නෙ යන්ත්‍ර සූත්‍රවලින්. පුදුමාකාර පරිසර විනාශයක්. මම කන්ද මුදුනට ගියා. ඉස්සර නිල් කැටේට තිබුණු වතුර අද කන්ද මුදුනෙ නැහැ. උල්පත් වේළිලා ගිහින්. රට පුරාම නාය යනවා. අනතුරු ඇඟවීම් කෙරෙනවා. ඒත් මිනිස්සු නෑසූ කන්ව කඳු බෑවුම ඩෝසර් කරලා ගෙයක් හදාගෙන අනතුර ඇතුළේ කූඩු වෙනවා. අනතුර දැක දැක ජීවත් වෙනවා. මෙහෙව් රටකට හෙටක් තියෙයි ද?”

“මම ඔයාට තව කතාවක් කියන්න ද? මේ ඉස්සර මම ආ ගිය ලොකු පොල්වතු තිබුණු ගම්බද පරිසරයක්. (වරුණ බස්නාහිර පළාතේ ජනාකීර්ණ පරිසරයක් සහිත ප්‍රදේශයක් නම් කළේ ය.) ඉස්සර බැලු බැලූ අතේ තිබුණෙ සරුසාර පොල්වතු. දැන් ඒ පොල්වතු නෑ. සුන්දර පරිසරයත් නෑ. අර විශාල පොල්වතු කැබලිවලට කැඩිලා. පර්චස් දහයෙන් දහයට විශාල ගෙවල් හැදිලා. නාගරීකරණය නවත්වන්න බෑ. රැකියා අවශ්‍යතාවලට. ඊටත් වඩා ළමයින් පාසල් යවන්න. මිනිස්සු නගරයට ඇදෙනවා. මේවට විකල්ප තියෙන්න ඕනෑ. වෙන රටවල්වල තට්ටු ගණන්වල නිවාස සංකීර්ණ හදලා මේ ප්‍රශ්නයට විසඳුම් හොයනවා.”

දැන් නගරයේ සැන්දෑව සම්පූර්ණයෙන් ම මැකී ගොස් ය. සැන්දෑවට විසල් ගොඩනැගිලි අතරින් යන්තම් ලබා දී තිබුණු ඉඩකඩ රාත්‍රිය විසින් අතපත් කරගෙන නන් පැහැ විදුලි එළියේ බලමහිමය පැතිරෙයි. වරුණ නැවතත් කතා කළේ ය.

“අපේ රටේ මාධ්‍ය වන ජීවීන් ගැන දක්වන්නෙ පුදුමාකාර අනුකම්පාවක්. ගල්ගමුවේ දළ ඇතා ගැන කාලයක් ඇස්වලට කඳුළු නංවමින් කතා කළා. ඇත්ත. කතා කරන්න ඕනෑ. ධනකාමීන්ගේ ධන ලෝභයට අහිංසක සත්තු ගොදුරු වීම මහා අපරාධයක්. ඒත් වන සත්ත්ව ප්‍රජාව වැඩි වෙන කොට ඒ කාරණය මිනිස් ප්‍රජාවට බලපාන ආකාරය මේ අය ප්‍රමාණවත්ව කතා කරනව ද? අලි ප්‍රහාරයෙන් මියයන මිනිස් ජීවිත ගැන නම් යන්තම් ප්‍රවෘත්තියක් දෙකක් යයි. වනසතුන් නිසා හානි වන ගොවීන්ගේ වගාබිම් ගැන අවධානයක් තියනව ද?”

වරුණ ප්‍රශ්න කළේ ය. ඔහු වගාව ගැන දැඩි උනන්දුවක් දක්වන්නෙකි. වගාවට බාධා වන, ඊට හානි සිදුකරන දේ ඔහුගේ කනස්සල්ලට හේතු වෙයි.

“අපි ජීවත්වන ගමට එපිටින් වන රක්ෂිතයක් තියෙනව. කඳු බෑවුම් දෙකක පැතිරුණු පුංචි කැලෑවක්. පිටස්තර ප්‍රදේශවල වැඩිපුර ඉන්න රිලව්, දඬුලේනුන් වගේ සතුන් මේ රක්ෂිතයට ගෙනත් දමනවලු. පුංචි කැලෑවකින් ගෙනත් දමන සතුන්ට හා සිටින සතුන්ට ප්‍රමාණවත්ව ආහාර සොයාගන්න බෑ. ඉතින් මේ සත්තු කිට්ටුවෙන් තියෙන ගම්වලට පනිනව. ඒ ගමක ගොවියෙක් බොහොම මහන්සියෙන් කරන වගාව මේ සතුන්ගෙන් විනාශ වෙනව.”

වරුණ කනස්සලු සහගතව කීවේ ය.

“පොල් ගෙඩියක මිල රුපියල් සීය පැනල. එහෙන් වගාබිම් කැබලි කරල, වෙන්දේසි කරල, පොල්වතු නැතිවෙනව. මෙහෙන් වනසතුන් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියෙන් බෝවන රිලව්, දඬුලේනුන් පොල් ඵලදාව වනසනව. පොල් වගාවෙදි පොල් පැළ විනාශ කරන්න අපේ රට වල් ඌරන් ඇති කරනව. රබර් අපේ ගම්වල මිනිසුන්ට ආදායම ගෙනාව වගාවක්. අද රබර් මිල පහළ බැහැල. රබර් වතු වවන්න අමාරුයි. ඉත්තෑවන්, රිලවුන්, වල් ඌරන් වගේ සතුන් රබර් පැළ විනාශ කරනව. අපේ ගම්වල අද ගෙවතු වගාවක් වත් කරන්න බැරි මට්ටමට සත්තු බෝවෙලා. ඉස්සර සත්ත්ව ප්‍රජාව පාලනය කරන මානව සාධක ගම්වල හිටියා. ඒ දඩයක්කාරයා. අද දඩයක්කාරයා නෑ. බොහෝ පළාත්වල අතීතයේ දී ප්‍රෝටීන් අවශ්‍යතා සපයා දුන්නේ දඩයක්කාරයා. ප්‍රමාණය ඉක්මවා ගිය සත්ත්ව කරුණාව දඩයක්කාරයා නිහඬ කළා. අපේ ගම් වල්ඌරන්ගේ රාජධානි බවට පත්වෙලා. වල්ඌරු මස් විකිණීම නීතිගත කරල මිනිසුන්ගේ ප්‍රෝටීන් අවශ්‍යතාව ඉටු කරන ගමන් ඌරුගහනය පාලනය කරල වගාබිම් ආරක්ෂා කරන්නට ඉඩකඩ දීමේ වැරැද්ද මොකක් ද?”

වරුණ දැඩි හඬින් ප්‍රශ්න කළේ ය.

“අද ඉන්නේ මාධ්‍ය ගෙන්නගෙන කැමරා ආවරණය යටතේ ආවේගයෙන් උද්ඝෝෂණය කරන, නිලධාරීන් සමඟ රූපවාහිනී නාලිකාවලට පෙනෙන්න අතපය දික්කරගෙන වාද විවාද කරන, තමන් නිවැරදි යයි සිතන දේ ඉටු නූනොත් මරාගෙන මැරෙන්න හදන පුහු සමාජ වීරයො ටිකක් විතරයි. මේ අය රූපවාහිනියෙන් පෙන්වන අවස්ථාවල ඒ අය අතරෙ ඉන්න ආවේගශීලීව කෑ කෝ ගහන හාමුදුරුවරුන් දකින කොට මට මම අදහන තිලෝගුරු ගෞතම බුදුන්වහන්සේගේ ශාසනය මේ අය නියෝජනය කරන්නෙ කොහොමද කියල හිතෙනව.”

වරුණ දක්වන අදහස්වලට ඔබ සපුරා එකඟ නොවිය හැක. එහෙත් ඒ අප ජීවත්වන සමාජය හා එහි ගති ස්වභාවය විවරණය කරන්නට දක්වන වෑයමක් සේ මට හැඟෙයි. ඉතින් මම ඔහුගේ අදහස් ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි.

 මහානාම දුනුමාල

නව අදහස දක්වන්න