සිත සතුට ගෙනාවේ ඔබ­මය මගේ හිතත් ඔබ ළඟ නැව­තිලා | දිනමිණ

සිත සතුට ගෙනාවේ ඔබ­මය මගේ හිතත් ඔබ ළඟ නැව­තිලා

එඩ්වඩ් ජයකොඩි

වසර කිහිපයකට පෙර එක්තරා රාත්‍රියක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති සංගීත රාත්‍රියක්ය. ( මාරම්බරී මුල් ප්‍රසංගයක දී දැයි අමතකය ) එහි දී එඩ්වඩ් ජයකොඩි ගේ ගීතාවලියකට සවන්දෙමින් සිටියේ ඔහුගේ ගායනා අතර මා වඩාත්ම ආදරය කරන ගීතයක් කිනම් මොහොතක හෝ ඔහු ගායනා කරන්නේය යන අපේක්ෂාවෙනි. ඔහු මගේ අපේක්ෂාව සුන් කොට දැම්මේය. ප්‍රසංගය නිමා වී ගෙදර යන අතරතුර මා මිත්‍ර සුනිල් ආරියරත්නට දුරකතනයෙන් කතාකොට එඩ්වඩ් අමතක කළ ගීතය පිළිබඳ සිහිපත් කළ මොහොතේ ඔහු ද මගේ අදහසෙහිම විය.

නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී අසන්නට නොලැබෙන එඩ්වඩ්ගේ ගායනාවලියකින් කුමන ඵලක්දැයි මට සිතුණා විය හැකිය. අමරසේන කංකානම්ගේ නම් ගුරුවර ගේය පද රචකයාගේ ගී සංකල්පනාව ඊටම ඔබින ගායන මාධූර්යයකින්, තාරුණ්‍යයයේ හඬකින් ගායනා කළ යුතු වේ නම් ඒ හඬ සතු වූයේ එඩ්වඩ්ටම පමණක් බවයි මගේ හැඟීම වූයේ. නිල් නුවන් පෙඟෙන අඳුර ගලා ගීයෙන් ශ්‍රාවක අප වෙත ළං කෙරෙන අත්දැකීම ප්‍රේමයේ චමත්කාරය, සුන්දරත්වය අප හදට සමීප කරවන්නකි.

ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ

රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ

සිත සතුට ගෙනාවේ - ඔබම ය

මගේ හිතත්

ඔබ ළඟ නැවතිලා...

කව්සිළුමිණෙහි මධුපානෝත්සව වැණුමෙහි බස අපට සිහිගන්වන අමරසේන කංකානමගේ ගේය පද රචකයාගේ ගීතයෙහි බස ගීතවත්ය. ව්‍යංගාර්ථ පිරි සංකල්පනා සහිතය. ප්‍රේමයේ සුකුමාරත්වය, චමත්කාරය එහි වදනක් වදනක් පාසා විඳින්නට හැකිය. ළැම හසුන් රැඟුම් පා මන මත් කළා දෝ.....ළැමෙහි වෙසෙනා හංසයෝ රැඟුම් පාමින් සිත අවුල් කරයි. මහගම සේකර කවියා ඈත කඳුකර හිමව් අරණේ ගීතයෙහි දී පවසන්නේ රනින් කළ වන් පුළුල් උරයෙන් - හසුන් ළමදේ මුස කරන්නේ යනුවෙනි. සේකරගේ ගීයෙහි නිර්මිත කතුන්ගේ ළමැදෙහි හසුන් මුසපත් වන්නේ නල කුමරුගේ රනින් කළ බඳු පුළුල් උරයට වශීවීමෙනි.

එහෙත් සාමාන්‍ය ජීවිතයෙහි දී සිදුවන්නේ කාන්තාවකගේ පියයුරු නමැති හංසයන් විසින් පිරිමියකුගේ මනස කැලඹවීමයි. අවුල්වීමයි. ගීත රචකයා මෙහිදී මනා සංයමයකින් යුතුව පිරිමි සිත අවුල් කළ පියයුරු පමණක් නොව, ඇගේ දෙතොල් පිළිබඳව ද මහත් රුචියකින් පවසයි. රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ කියායි කවියා අසන්නේ. ගීයෙහි අරුත කුළු ගන්වන්නේ එඩ්වඩ්ගේ යෞවන හඬ පෞරුෂයයි.

එඩ්වඩ් ජයකොඩි නම් වූ මියුරු ගායනාවෙහි හපන්කම් පානා සහෘදයා ගේ එක් ගීයක් පිළිබඳ කෙටි විවරණයකින් මා ප්‍රවේශයකට පිවිසුණේ ඔහුගේ මියුරු ගීතාවලියකින් සැදුණු මාරම්බරී නම් වූ ඒක පුද්ගල ගී ප්‍රසංගයෙහි ශතක සංවත්සරය සටහන් කළ අසිරිමත් සැඳෑවක මිහිර ඔබ හා බෙදාහදා ගන්නටය. ඒක පුද්ගල ගී ප්‍රසංගයක් සියවරක් පැවත්වීමට හැකිවන්නේ නම් එය එක්තරා අන්දමක හාස්කමකි. මන්ද යත්, වර්තමාන ගීතය ගොදුරු කරගෙන සිටින අවර ගණයේ ජනප්‍රිය ගීත රැල්ලෙන් ශ්‍රාවකයා මුදවා ගැනීම අසීරු බැවිනි. මාරම්බරී ඒක පුද්ගල ගී ප්‍රසංගය, පෙරදා අප රස විඳි සහභාගීවූ ගීත ප්‍රසංග රැසක නම්ගම් මතකයට ගෙන එයි. ශ්‍රවණ ආරාධනා (අමරදේව නන්දා මාලිනී පසුව නන්දා මාලිනී ) ශ්‍රවණ රමණී (අමරදේව ) ස (වික්ටර් රත්නායක ) ස්වර්ණ කුණ්ඩල ( සනත් නන්දසිරි ) සාරංගා ( දයාරත්න අමරා) ගී (ටී.එම්.නීලා හා සෝමතිලක ජයමහ ) ජෝති රාත්‍රිය (එච්.ආර්.ජෝතිපාල ), සඳකඩ පහණ (සුනිල් එදිරිසිංහ ) සී.ටී.ගී හඬ ( සී.ටී.ප්‍රනාන්දු ), නිල් දියවර ( දිවුල්ගනේ ) සොඳුරු අතීතයෙ ( ටී.එම්. ජයරත්න ) කම්පන ( කපුගේ ) ඇසිමිහිර ( සුජාතා ) කවිය ඔබ ( දීපිකා ප්‍රියදර්ශනී ) මේ අතර වේ. මීට අමතරව මගේ මතකයට නො ආ , ප්‍රසංගයක් ද තිබෙන්නට ඉඩ ඇත. එහෙත්, අසන්නට ආසාවෙන් පුලපුලා බලා සිටි අපූර්ව ප්‍රසංගයක් වන්නට තිබූ ගීතාවලියක් රසවිඳීමේ සිහිනය බොඳව ගියේ, අපගේ නිළි රැජිණ, ගීත කෝකිලාව ( පෙරදා) රුක්මණී දේවියගේ ස්වර්ණ ගී ගයන්නට පෙර ඈ දෙව්මව් තුරුලට ගිය බැවිනි. කෙසේ වෙතත් ඉහත ගීත ප්‍රසංග අතර ජනප්‍රසාදය දිනාගනිමින් මෙතෙර නොව එතෙර පවා රසික සිත් අමන්දානන්දයට පත් කළ ප්‍රසංග අතර වික්ටර් රත්නායකගේ ස ප්‍රසංගය මුදුන් මල්කඩ සේ බැබැළෙණු දකිමි. දීර්ඝ කාලයක් පුරා, විසාල ගායන වාර ගණනාවක් සතු අනෙක් ප්‍රසංග අතරට එඩ්වඩ්ගේ මාරම්බරී ශතකය ලෙස එක්වීම සිංහල සුභාවිත ගීතයෙහි අනාගතය දුර්වර්ණ නොවන්නක් බවට පැහැදිලි සාක්ෂියකි.

මාරම්බරී ශතක ප්‍රසංගය හා එක්වී නෙළුම්පොකුණේ ගෙවුණු හෝරා කිහිපය දුලබ සුරාවක් බිව් කලෙක දැනුණු මිහිරකින් යුතු වූ බව පවසන්නට මැළි නොවන්නෙමි. ඔහුගේ හඬ මාධූර්යය ප්‍රේක්ෂාගාරයේ සවණ් මෙන්ම හදවත් ද වසඟයට ගෙන එ ගී මිහිරෙහි මත්ව සිටියාක් බඳු වීය. ගුවන් විදුලි සරල ගීතයෙහි මතු නොව චිත්‍රපට ගීතයෙහි ද ටෙලිනාට්‍ය ගීතයෙහි ද එඩ්වඩ් තම මියුරු ගායනාවෙන් එඩ්වඩ් ලකුණ සටහන් කළ අවස්ථා බොහොමයක්ම අපට සිහිපත් කොට සිටියේ එඩ්වඩ් ජයකොඩි යනු තම ගායනය එක් ගායන ප්‍රභේදයකට අයත් ගී ගැයීමෙහි පමණක් නොව, ශ්‍රව්‍ය මාධ්‍යයෙහි මෙන්ම දෘශ්‍ය මාධ්‍යයෙහි ද ගායනාවට උචිත හඬ පෞරුෂයක් සතු ගායකයෙකු බවයි. ප්‍රසංගය සඳහා තෝරාගෙන නොතිබුණ ද සෙයිලම චිත්‍රපටය සඳහා ඔහු විසින් ශ්‍රියා කාරියවසම් ගායිකාව සමඟ යුග ගීයක් ලෙස ගායනා කළ මේ කොයි යන්නේ රයිගම් යන්නේ ( සුනිල් ආරියරත්න ගී සංකල්පනාව රෝහණ වීරසිංහගේ සංගීතය ) ජන සංගීතයෙහි අපට හුරු පුරුදු නාදරටා සිහි ගන්වන ගායන ශෛලියකින් ගැයුණු ගීතයකි. එවන් ගීයක් වුව ගායනයෙහි දස්කම් දක්වන ඔහුගේ පුළුල් හඬ පරාසය ළමුන් ප්‍රධාන කොට ගත් ළමුන්ගේ අත්දැකීමක් සාහිත්‍ය කෘතියකින් ටෙලිනාට්‍යයක් සේ ප්‍රතිනිර්මාණය වූ කලෙක, ගැයුණු අපූරු ගීයක් දක්වා විහිදුණු බව දනිමි. ටෙලි නාට්‍ය ගී ගායනයෙන් නොනවතින ඔහුගේ සංගීත ඥානයේ හා නිර්මාණශීලීත්වයේ විශිෂ්ටත්වය වේදිකා නාට්‍ය සංගීත නිර්මාණයෙන් ද විශද කොට සිටී. සෙක්කුව, මායාදේවී, මධුර ජවනිකා ( සංගීත නිර්මාණය පමණි. තනු දයානන්ද ගුණවර්ධණ ) දෙවනි මහින්ද, මා වැනි බිළින්දා වැනි නාට්‍ය සඳහා සංගීත නිර්මාණයේ දී රාජ්‍ය සම්මානයෙන් පවා පිදුම් ලද එඩ්වඩ්, බොහෝ වේදිකා නාට්‍ය ගායනයෙන් මෙන්ම රංගනයෙන්ද හපන්කම් පෑ බව අපි දනිමු. මාරම්බරී ගීතයම ( කරුණාරත්න සපුතන්ත්‍රීගේ පද ) ප්‍රකට කරන්නේ ඔහුගේ ගායනය, සරල ගීතයෙන් ඔබ්බට ගිය උත්තර භාරතීය ශාස්ත්‍රීය සංගීතයෙන් ලද දැනුම හා ආභාසය නිසි අයුරු ලද්දෙකු බවයි. මාරම්බරී සඳහා එඩ්වඩ් විසින් තෝරාගත් ගීතාවලිය, ඔහුගේ රුචිය, කැමැත්ත අනුව තෝරාගත්තක් වූවත්, වේදිකා නාට්‍ය ගීයක් ලෙස ගජමන් පුවතෙහි තුට කළ ලෙවන් තෝරාගෙන ගැයූ එඩ්වඩ් ටෙලිනාට්‍ය ගීතයේ එඩ්වඩ් මුද්‍රාව සටහන් කළ අඹ යහළුවෝ ටෙලිනාට්‍යයෙහි ගැයුණු අතිශය ජනප්‍රිය හා සුන්දර ගීයක් ලෙස හැඳින්විය හැකි කටු අකුලේ මල් ඇහැරේ ගීතය (බන්දුල නානායක්කාරවසම්ගේ පද - ආනන්ද ගමගේ සංගීතය ) නොගැයීමෙන් ශ්‍රාවක අපට කළ අසාධාරණයට සමාව දියහැකිදැයි මම තවමත් කල්පනා කරමි. එය ඔහු අතින් සිදුවූ අතපසුවීමක් ලෙස උත්සාහ ගන්නෙමි. රෝහණ බැද්දගේ රචනයෙන් හා සංගීතයෙන් එඩ්වඩ් ගැයූ ගංවතුර ගලා ගීතය ද ඉතා පහසුවෙන් ඇතුළත් කළ හැකිව තිබූ ගීයක් සේ දකිමි.

මාරම්බරී ප්‍රසංගය පවුලේ ප්‍රසංගයක් බවට පත්කොට නොගෙන ඉදිරිපත් කිරීමට ගී පෙළ ගස්වා තිබූ එඩ්වඩ්, චරිතා සමග ගැයූ එක් ගීයක් පමණක් ගායනා කළ ද ඇගේ සංගීත වීඩියෝවක් ඇතුළත් කිරීම කෙතරම් උචිතදැයි නොසිතුවා විය යුතුය. ඔහු පුත්, චන්දීප නිසැක වශයෙන්ම එඩ්වඩ්ගේ ගායනාව හා සංගීතය වඩාත් ගැඹුරින් අධ්‍යයනය කොට මතු දවසේ මෙරට සංගීත ක්ෂේත්‍රයෙහි විශිෂ්ට තාරකාවක් වන බව අනාවැකියක් ලෙස වුව පවසමි. චන්දීප පුතුගේ හඬ එඩ්වඩ්ගේ හඬට ඉඳුරාම වෙනස් එකක් සේ හැඟේ. ඔහුගේ මන්ද්‍රස්වරය ( Base Voice) මා සිත් පැහැරගත් බව සටහන් කරමි. එඩ්වඩ් විසින් තෝරාගෙන ගායනා කරන ලද ගී අතර මෙන්ම නොගැයූ ගී අතර ද අප හද කැලඹූ ගී රැසක්ම වේ යැයි සිතමි. මගෙ කඳුලින් නිමා වූ මාවතේ ( අජන්තා රණසිංහ )රන් හිරු මඬලින් ( බන්දුල නානායක්කාරවසම් ), එපා සඳේ ඔබේ සිනා( කුමාරදාස සපුතන්ත්‍රි ) පලංචියේ ලී ඉරුවේ අපි එකට ( වසන්ත කුමාර කොබවක ) ලතා මඬුල්ලක් කතාකරනවා ( සමන් චන්ද්‍රනාත් වීරසිංහ ) හා තවත් ගී රැසකි. වසන්තයේ අග හමුවෙමු සොඳුරිය, ( කපිල කුමාර කාලිංග ) හඬන්න ළංව ඇති ඔබේ නුවන් හොරා (ධම්මිකා බණ්ඩාර සමග - බන්ධුල නානායක්කාරවසම්ගේ රචනය ) ආදී ගීත ඒ අතර වේ යැයි සිතමි. මාරම්බරිය වර්ණවත් කළ විචිත්‍ර ගායනා අතර, මිණි මිණි පොද වැටේවි ( රත්න ශ්‍රී ), සිරි යහනේ ලණු ඉහිරී ( ලූෂන් ) , සුළඟක් වී ( ආනන්ද හේවා රංහිඳගේ ) ,ගං ඉවුරේ තුරු ලතා මඬුල්ලේ ( කුසුම් පීරිස් )වසන්තයේ අග ( කපිලකුමාර කාලිංග ) ගී කිහිපය වුව එඩ්වඩ් ජයකොඩි නම් වූ අපූරු ගායන පෞරුෂයේ වටිනාකම අපට සාක්ෂාත් කරදෙන බව කිවයුතුය. මැලිබන් ගුවන් තොටිල්ලේ සිට කැරකෙන රෝදේ ( සිරිල් සමරකෝන් ) හා කරදිය ගැඹරේ ( ප්‍රේමකුමාර ජයවර්ධන ) ගීත සමග ගායන ලොවෙහි තීර්ථය සොයා යන නිර්ව්‍යාජ කලාකරුවකුගේ සොඳුරු මුහුණ එඩ්වඩ් තුළින් අපි දකිමු. කපිලගේ සුන්දර ගී සංකල්පනාවෙහි මේ පද මගේ සිහියට නැගෙන්නේ මාරම්බරියේ ගී මිහිරෙහි සොඳුරු මතකය යලි සිහියට නගා ගනිමිනි.

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය

ළවැලි තලාවක විසුල කුසුම් මත

අතින'ත ගෙන පෙර නොකී කතා අසා

අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු

ළා සඳ නැගෙනා හෝරාවේ

බුද්ධ­දාස ගල­ප්පත්ති

නව අදහස දක්වන්න