ශ්‍රී ලංකාවේ වැවිලි කර්මා­න්තයේ මීළඟ පෙර­ළිය පාම් ඔයිල් ද ? | දිනමිණ

ශ්‍රී ලංකාවේ වැවිලි කර්මා­න්තයේ මීළඟ පෙර­ළිය පාම් ඔයිල් ද ?

ශ්‍රී ලංකාවේ ආර්ථිකය දරා සිටින කර්මාන්තයක් ලෙස කෘෂි කර්මාන්තය තවමත් සැළකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බව පැහැදිලිය. රටේ සමස්ත දළ ජාතික නිෂ්පාදනයෙන් සැළකිය යුතු කොටසකට දායකත්වය කෘෂි කර්මාන්තයෙන් ලැබෙන අතර, මෙරට ශ්‍රම බළකායෙන් 30% ක පමණ ප්‍රමාණයක් කෘෂි කර්මාන්තය හා සෘජුව හෝ වක්‍රව සම්බන්ධව සිටී. ඒ අනුව කෘෂි කර්මාන්තය වූ කලී සුළු පරිමාණ ගොවීන් හා වැවිලිකරුවන්ගේ සිට මහා පරිමාණ වැවිලි සමාගම් දක්වා විශාල පරාසයක් පිරිසක් හා සමාගම් ප්‍රමාණයක් නිරත වී සිටින ඉතා දැවැන්ත කර්මාන්ත ක්ෂේත්‍රයකි.

ඔයිල් පාම් වගාව එවන් විකල්ප වගාවක් වශයෙන් මෑත කාලීනව ශ්‍රී ලංකාව තුළ අත්හදා බැලෙමින් පවතින සහ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින එක් වගාවකි. ඔයිල් පාම් සම්බන්ධයෙන් සුවිශේෂීම කරුණ වන්නේ එය තිරසාර අන්දමින් වගා කළහොත් ලොව වඩාත්ම කාර්යක්ෂම බෝගයක් වීම සහ ආර්ථීකමය ප්‍රතිලාභ අතින් අනෙකුත් බෝගවලට වඩා ඉදිරියෙන් සිටීමයි. ඔයිල් පාම් යනු ලොව විශාල වශයෙන් පරිභෝජනය කෙරෙන ආහාර සඳහා යොදා ගන්නා තෙල් විශේෂයකි. ඔයිල් පාම් ගසේ ගෙඩියෙන් සහ මදයෙන් ලබා ගන්නා තෙල් ලොව පුරා ආහාර පිසීම සහ රූපලාවණ්‍ය නිෂ්පාදන වැනි විශාල පරාසයක නිෂ්පාදන සඳහා යොදා ගැනෙන අතර ජාත්‍යන්තර ඔයිල් පාම් වෙළෙඳ පොළේ වටිනාකම වසර 2021 වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 92 ක් දක්වා ඉහළ යනු ඇතැයි ඇස්තමේන්තු කෙරී ඇත.

ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් අනෙකුත් ආකර්ෂණීයතම කාරණය වන්නේ වර්ධනය වීම සඳහා ඊට ඇති අවස්ථාවයි. ඔයිල් පාම් සඳහා දේශීයව මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ද ඇත්තේ දැවැන්ත ඉල්ලුමකි. දැනට ශ්‍රී ලංකාව තුළ ආහාර පිළියෙළ කිරීම සඳහා භාවිත කරන තෙල්වලින් 45% ක පමණ ප්‍රමාණයක් ආනයනය කිරීම නිසා විශාල විදේශ විනිමයක් රටින් පිටට ඇදී යයි. දේශීයව නිෂ්පාදනය කෙරෙන පාම් ඔයිල් ආනයනිත තෙල්වලට ආදේශකයක් වශයෙන් භාවිත කිරීමට හැකි වීම නිසා පාම් ඔයිල්වලට දේශීය වෙළෙඳ පොළ තුළ විශාල අවස්ථාවක් හිමිව ඇත. එමෙන්ම ලෝකයේ පාම් ඔයිල්වලට ඇති ඉල්ලුම සපුරාලමින් ජාත්‍යන්තර වෙළෙඳ පොළ ජය ගැනීමේ හැකියාවද ඔයිල් පාම් වගාවට ඇත.

කෙසේ වෙතත් ඔයිල් පාම් වගාව මෙරට ව්‍යාප්ත කිරීමේ දී මුහුණ දීමට සිදුව ඇති ප්‍රතිවිරෝධයන් නිසා ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් විශාල සංවාදයක් ගොඩනැඟී ඇති බවද සත්‍යයකි. ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ඇති අනවබෝධයන් සහ ඒ පිළිබඳව පැතිර යන සාවද්‍ය මතයන් නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බව පැහැදිලි කරුණකි. මේ අභියෝගයන් මධ්‍යයේ වුවද නව අත්හදාබැලීමක් කෙරෙහි උනන්දුවෙන් ඔයිල් පාම් වගාව ආරම්භ කර එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත් වැවිලිකරුවන් පිරිසක්ද වේ. ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ඔවුන් මේ දක්වා ලබා ඇති අත්දැකීම් මේ සම්බන්ධව නිර්මාණය වී ඇති අනියත බියට හොඳ පිළිතුරක් සපයයි.

ඔයිල් පාම් වගාවෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගත් එවන් එක් වැවිලිකරුවෙක් වන සමන්ත කහටපිටිය මහතා SKK වැවිලි සමාගමට අයත් කළුතර ප්‍රදේශයේ වගාබිම්වල ඔයිල් පාම් වගාව දියත් කර සාර්ථක ප්‍රතිඵල ලබාගත් අයෙකි.

“ශ්‍රී ලංකාවට මුලින්ම ඔයිල් පාම් වගාව හඳුන්වා දුන් කාලයේදීම අපි ඔයිල් පාම් වගාව වෙත යොමු වෙන්න තීරණය කළා. විශේෂයෙන්ම බෝගයක් වශයෙන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ඇති අවස්ථාවන් සහ එයින් රටේ ආර්ථිකයට සිදුවන ප්‍රතිලාභ නිසා තමා අපි මූලික වශයෙන් ඔයිල් පාම් වගාවට යොමු වෙන්න තීරණය කළේ” යැයි සමන්ත කහටපිටිය මහතා සිය ඔයිල් පාම් වගාව ආරම්භ වූ ආකාරය පිළිබඳව අදහස් දක්වමින් පවසයි.

වර්තමානයේ දී අක්කර 216ක ප්‍රදේශයක ඔයිල් පාම් වගා කරන කහටපිටිය මහතා සිය වගා කටයුතු ආරම්භ කරන්නේ අඛණ්ඩව විවිධ පර්යේෂණ සිදු කර ප්‍රතිඵල තහවුරු කරගෙනයි. එහි දී වගාව සඳහා කළුතර ප්‍රදේශයේ දේශගුණික තත්ත්වයන්හි යෝග්‍යතාවය සහ පරිසර කළමනාකරණය වැනි සියළු කරුණු කෙරෙහි තමන්ගේ සැළකිල්ල යොමු වූ බව ඔහු පවසයි.

“ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් විවිධ දුර්මත නිර්මාණය වී තිබෙනවා. මේ දුර්මත දුරු කිරීම සඳහා අපි ගම්වාසීන් දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. ඒ වගේම මේ සෑම වගා කටයුත්තක්ම කෙරෙන්නේ මධ්‍යම පරිසර අධිකාරියේ සහ වැවිලි කටයුතු අමාත්‍යාංශයේ අනුමැතිය මතයි. මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැති නොමැතිව කෙරෙන කිසිම ඔයිල් පාම් වගාවක් නැහැ. අපි හිතනවා ඔයිල් පාම් වගාවේ ප්‍රතිලාභ මේ ප්‍රජාවන්ට දැනෙන විට ඔවුන් අතර ඇති දුර්මත ක්‍රමයෙන් පහව යයි කියා”

“විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගැන කතා කළොත් ඔයිල් පාම් වගාවෙන් තේ හෝ රබර්වලින් ලැබෙන ආදායම මෙන් තුන් ගුණයක පමණ ආදායමක් ලැබිය හැකියි. මේ නිසා ඔයිල් පාම් සේවකයෙක්ගේ වේතනය ඉතා ඉහළයි. සුළු පරිමාණ වැවිලි සමාගමක් වශයෙන් දැනටමත් ඔයිල් පාම් වගාව හරහා ප්‍රජාවට කර ඇති සේවය පිළිබඳව අපි ඇත්තටම ආඩම්බර වෙනවා. ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ ඔයිල් පාම් වගාවට රාජ්‍ය අනුග්‍රහය ලැබුණොත් ඔයිල් පාම් වගාව හරහා අපිට දැවැන්ත වෙනසක් සිදු කළ හැකියි”

හෝමාගම කුරගල කන්ද ප්‍රදේශයේ වැවිලි කටයුතු සිදු කරන උපුල් වික්‍රමාරච්චි මහතා ඔයිල් පාම් වගාවේ ප්‍රතිලාභ හඳුනාගෙන ස්වෝත්සාහයෙන් ඒ වෙත යොමු වූ උත්සාහවන්ත වැවිලිකරුවෙකි. ඔහු පවසන ආකාරයට ඔයිල් පාම් වගාව සම්බන්ධයෙන් ඔහු පළමුව දැනුවත් වූයේ 2004 වසරේ දී මැලේසියාවේ සිදුකළ සංචාරයකින් අනතුරුවයි. එතැන් පටන් හැකි හැම අයුරකින්ම මේ පිළිබඳව සොයා බලන උපුල් මහතා ඒ සඳහා පළමු පියවර තබන්නේ පොල් පර්යේෂණ ආයතනයේ ආචාර්ය ජයන්ත ගුණතිලක මහතාගේ මඟ පෙන්වීම යටතේයි.

“ඔයිල් පාම් වගාවට පැහැදිලි අනාගතයක් තිබෙනවා. ඒ වගේම එය ජාත්‍යන්තර වශයෙන් දැවැන්ත කර්මාන්තයක්. අපිට හැකියාව තිබෙනවා නිසි ක්‍රමවේදයක් ඇතිව තිරසාරාත්මක ආකාරයට ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කරන්න. නිසි ක්‍රමවේදයක් නොමැතිව වගා කළොත් ඔයිල් පාම් පමණක් නොවෙයි ඕනෑම වගාවක් පරිසරයට හානිකර වෙනවා. මම හිතන විදියට අපි මේ ආකල්ප වෙනස් කරමින් නිසි සැළැස්මක් ඇතිව ඔයිල් පාම් වගාව ඉදිරියට ගෙන යා යුතුයි කියලා” යැයි උපුල් වික්‍රමාරච්චි මහතා පවසයි”

 ජයන්ති කුරේ

නව අදහස දක්වන්න