හින්දි-චීනී බහායි බහායි | දිනමිණ

හින්දි-චීනී බහායි බහායි

චීන ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට ලක්වූ, ඉන්දියානු සංස්කෘතික චරිත තුනක් වෙයි. එනම්, බුදුන්වහන්සේ, රබීන්ද්‍රනාත් තාගෝර් සහ අමීර් ඛාන් ය. 50 - 60 දශකයන්හි නම් අමීර් ඛාන්ගේ තැන සිටියේ රාජ් කපූර් ය.

ඉන්දු - චීන ජනතා මිත්‍රත්වය පමණක් නොව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විදේශ ප්‍රතිපත්තිය ද සංකේතවත් කරන කියුමක් එකල ඉතා ජනප්‍රියව පැවතුණි. “හින්දි - චීනී බහායි බහායි” (Hindi - Chini Bhai Bahai) යන ඒ කියුමන් අදහස් වූයේ හින්දි - චීන දෙජාතිය සහෝදරයින් බවය. මෑතකදී මෙය යළිත් පැතිර ගියේ, “කුංෆු යෝග” නමැති චිත්‍රපටයේ ජැකී චෑන් සමඟ සල්මන් ඛාන් රඟන ජවනිකාවක එන ගීතයකට ඇතුළත් වූ නිසාය. කෙසේ වෙතත් පසු කලෙක, දේශ සීමා සටන් නිසා, “බහායි බහායි” ප්‍රතිපත්තිය පළුදු විය. එහෙත්, සංස්කෘතික සහෝදරත්වය දිගටම පැවතුණි.

වික්‍රම් සෙත් නමැති සුප්‍රකට ඉන්දියානු ගත්කරුවා ඔහුගේ “From Heaven Lake: Travels Through Sinkiang and Tibet” නමැති ග්‍රන්ථයෙහිලා චීනයේදී ලද රසවත් අත්දැකීමක් පවසයි. එකල ඔහු එහි නැන්ජිං විශ්වවිද්‍යාලයෙහි ප්‍රජා අධ්‍යාපන පාඨමාලාවක් හදාරමින් සිටියේය. එක් නිවාඩු කාලයක ඔහු ගොඩබිම් මාර්ගයෙන් සිය රට ඒමට පිටත්වෙයි. ඒ ගමනේදී ටිබෙටයේ ලාසා නුවරට යාමටද ඔහු අදහස් කරන නමුදු, ඒ සඳහා වීසා බලපත් ‍ලබාගැනීම තරමක් දුෂ්කර වෙයි.

ටිබෙට් දේශ සීමාව අසලටම ගොස් සිටියදී වික්‍රම් නතරව සිටි නවාතැන්පොළ ඉදිරිපස සංගීත ප්‍රසංගයක් පැවැත්වෙයි. ඉන්දියානුවකු වූ නිසා වික්‍රම්ටද ගීතයක් ගායනා කිරීමට ඇරැයුම් ලැබෙයි. එකල එහි රාජ් කපූර් හා නර්ගිස් රඟපෑ “ආවාරා” චිත්‍රපටය ඉතා ජනප්‍රියය. එහෙයින් ගායකයෙකු නොවූවත්, වික්‍රම් තමාට හැකි පමණින් “ආවාරා තුම්” (ගායකයා මුකේෂ් ය) ගීතය ගායනා කළේය. “එය කොතරම් නැගලා ගියේදැයි කිවහොත්, පසු දින ඒ කුඩා නගරයේ හැමතැනම කතා වූයේ “ආවාරා” ගීතය ගැන යැයි වික්‍රම් සෙත් සඳහන් කරයි. මේ සිද්ධිය අවසාන වන්නේ රාජ් කපූර්ට පිංසිද්ධ වන්නට වික්‍රම් සෙත්ට ටිබෙට් යාමට “වීසා” ලැබීමෙනි. (මේ පිළිබඳ ලිපියක් 2007 දී මා පළකළ “ගිරිහෙල් මුදුන” නමැති සංචාරක ලේඛන එකතුවෙහි ඇතුළත් වෙයි.)

රාජ් කපූර්ට එකල ඉන්දියාවෙන් පිටත බොහෝ රටවල කීර්තියක් හිමිව තිබූ අතර විශේෂයෙන්ම රුසියාවෙහි ඔහුගේ චිත්‍රපට මහත්සේ ජනප්‍රිය විය. මොස්කව් නුවරදී තම චිත්‍රපටයක් ප්‍රදර්ශනය වෙද්දී, චිත්‍රපට ශාලාව ඉදිරිපස දිගු පෝලිම දුටු රාජ් කපූර් එහි ළංව ප්‍රේක්ෂකයෙකුගෙන් මෙසේ විමසීය.

“ඔබේ රටේ, ඉතා කලාත්මක උසස් චිත්‍රපට බිහිවෙනවා. ඒත් ඔබ අපේ හින්දි චිත්‍රපට නරඹන්න මේ තරම් ප්‍රිය කරන්නේ ඇයි?”

එවිට රුසියානුවා මෙසේ පිළිතුරු දුන්නේය.

“අපි හැමදාම දකින්නේ යුද්ධ කතා. අපිට දැන් ඒවා එපාවෙලා. ඔබේ චිත්‍රපටිවල තියෙන ලස්සන දර්ශනවලට, සිංදුවලට, සුරූපී නිළියන්ට අපි හරි ආසයි.”

අමීර් ඛාන්ට චීනයේ ඉමහත් ජනප්‍රියතාවක් හිමිවන්නේ ඔහුගේ “3 Idiats” චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමඟිනි. ඉන්පසු, චීන රසිකයෝ ඔහු රඟපෑ චිත්‍රපට සොය සොයා නරඹන්නට වෙති. “දාංගල්” චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා අමීර්, චීනයට යයි. නැවත වරක් “බහායි - බහායි” සබඳතා තරවෙයි.

ලෝකයෙහි ඉන්දියානුවන් නැති තැනක් නැති තරම්ය. එක් විහිළු කතාවක කියැවෙන පරිදි සඳ මතට පා තැබූ ආම්ස්ට්‍රෝං, “චායි චායි” යනුවෙන් හඬක් ඇසී වට පිට බැලුවේය. ඉන්දියානුවෙක් තේ කඩයක් දමාගෙන සිටියේය.

ඉන්දියානුවන් වෙසෙන සෑම රටකම ඉන්දියානු චිත්‍රපට හා ටෙලිනාට්‍යය ද ප්‍රදර්ශනය වෙයි. වීඩියෝ පට අලෙවි වෙයි. වේදිකා නාට්‍ය නිෂ්පාදනය වෙයි. චීනයේ ඉන්දියානුවන් නැත. එහෙත් චිත්‍රපට පමණක් නොව “හින්දි මෙගා” ද දැන් එහි රිංගා ඇත.

මෑතකදී “ද ඉකොනොමික් ටයිම්ස්” පුවත්පතේ පළවූ ලිපියක, චීනයේ ඉන්දියානු මෙගා රසිකයන් කීප දෙනෙකුගේ අදහස් දැක්වුණි. ඉන් එක් අයෙක් වූ 29 හැවිරිදි යැන්ග් බුහී, හින්දි ටෙලිනාට්‍යයන්ට චීන උප සිරැසි සම්පාදනය කරන, ස්වේච්ඡා කණ්ඩායමක සාමාජිකයෙකි. ඔහු මෙසේ පවසයි.

“ඉන්දියානු මිථ්‍යා කතා, ඉතිහාස කතා ඉතා සිත්ගන්නා සුළුයි. එහි ඇති ලෝක දෘෂ්ටිය , නව ලොවක් විවර කරනවා. හින්දි නළු නිළියන් අති සුන්දරයි.”

මහා භාරත්, නාගිස්, දේවොන්, කාදෙව්, මහාදේව් වැනි ටෙලිනාට්‍ය චීන රසිකයන් අතර මහත් සේ ජනප්‍රියව ඇත. බාලාජි ටෙලි ෆිල්ම් සමාගම, ලොව පුරා හින්දි ටෙලිනාට්‍ය බෙදා හරී. ඉන්දියාව තුළට හින්දි, මරාති, ගුජරාටි, බෙංගාලි, කන්නඩ, දමිළ, ඔඩියා, තෙළිඟු හා මලයාලම් වැනි භාෂා රැසකට ටෙලිනාට්‍ය පරිවර්තනය වෙයි. එසේ ම, බ්‍රිතාන්‍ය, කැනඩාව, අමෙරිකාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, තුර්කිය, ක්‍රෝෂියාව, ශ්‍රී ලංකාව හා ලතින් අමෙරිකාව ඇතුළු රටවල් රැසක පැතිරුණු විශාල වෙ‍ළඳපොළක් හින්දි ටෙලි හා චිත්‍රපට දිනාගෙන සිටී.

“ඉකොනොමික් ටයිම්ස්” ලිපියට දායක වන 28 හැවිරිදි ජින් චාඕ පවසන අන්දමට හින්දි ටෙලිනාට්‍යයේ ඇති නාටකීය ගුණයටත්, මන්දගාමී රිද්මයටත්, කවියා පරිකල්පනය හා අධිභෞතිකවාදී ලක්ෂණයන් මිශ්‍ර කතා වස්තූන්ටත් ඔහු ප්‍රිය කරයි.

එම ටෙලිනාට්‍ය නැරැඹීමෙන් ලත් ආස්වාදය හා පෙලඹවීම නිසා ඔහු දැන් ඉන්දීය සම්භාව්‍ය සාහිත්‍ය කෘති - පරිවර්තන මාර්ගයෙන් කියැවීමට පටන්ගෙන සිටී. “මහා භාරතය” ඔහු සිත්ගත් කෘතියකි.

චීන භාෂාව තුළ සංස්කෘත වචන ද මිශ්‍රව පවතින්නේ අතීත නෑකම් සිහිගන්වමිනි. උප සිරැසි යෙදීමේදී හින්දි භාෂාව නොදැන සිටීම මහත් බාධාවක් වන බව යැන්ග් බුහි පවසයි. එහෙයින් ඔවුන් වඩා පහසු මාර්ගයක් ලෙස සලකන්නේ රුසියානු භාෂාවෙන් යොදා ඇති සිරස්තල ඉංග්‍රීසියට නඟා ඉන්පසු චීන භාෂාවට පෙරැළීමය. හින්දි උගතුන්ට වඩා රුසියානු හා ඉංග්‍රීසි භාෂා උගතුන් සෙවීම පහසුය.

හින්දි පමණක් නොව, අමෙරිකානු, ජපන්, දකුණු කොරියානු හා බ්‍රිතාන්‍ය ටෙලිනාට්‍යය ද චීනයෙහි ජනප්‍රියය. චීනය වැනි අතිවිශාල රටවල්වලට ද මහා රාජ්‍ය සංස්කෘතීන් වළකාලිය නොහැකි නම් දිළිඳු හා අවිචාරශීලී දූපත් සංස්කෘතීන් ගැන කවර කතා ද?

කොණ්ඩෙ බැඳපු චීනුන් හා දත් දාන චීනුන් ගැන අපේ තිබුණු කතා බොහෝ පරණය. දැන් සිටින්නේ මුහුදු පුරවන හා වරායවල් හදන ප්‍රකෝටිපති චීන්නුය. ඉන්දියානු “මෙගා කාරයෝ” සහ චිත්‍රපටිකාරයෝ, උන්ගේ ද දත් ගලවති.

කපිල කුමාර කාලිංග


නව අදහස දක්වන්න

Or log in with...