ටික දිනකට දිව්‍ය ලෝකයට | දිනමිණ

ටික දිනකට දිව්‍ය ලෝකයට

 බර්ටි ගුණසේකර යනු ආචාර්ය ධර්මසේන පතිරාජගේ සරසවි මිතුරෙකුව සිට පසු කලෙක රාජ්‍ය නිලධාරියකු වූවෙකි. ප්‍රවීණ ලේඛකයකු මෙන්ම ඡායාරූප ශිල්පියකු ද වන හෙතෙම පතිරාජගේ අවසන් සති කිහිපය දක්වාම ළඟින් ඇසුරු කළ අයෙකි. මේ ඔහුගේ අත්දැකීම් ඇසුරින් ලියැවෙන ලිපියක සිව්වැනි කොටසයි.

ධර්මසේන පතිරාජ, බර්ටි ගුණසේකර, දයා තෙන්නකෝන්, ජයතිලක(බැචා) යන අය පුස්සැල්ලාවට පැමිණ නියමිත පාසල් පරිශ්‍රයේ 'පිනාගේ සර්කස්' පෙන්වීම සඳහා කටයුතු සූදානම් කළහ. දර්ශන වේලාවට පැයකට හමාරකට පෙරාතුව මලියසේන, පිනා ඇතුළු පිරිස රැගත් මෝටර් රථ කිහිපයක්ද, නියමිත ස්ථානයට ළඟාවිය. 2.30 දර්ශනය සඳහා බොහෝ පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කළද, නියමිත වේලාව පසුවී හෝරාවක් පමණ ගෙවී ගියද, පැමිණ සිටියේ දහ දොළොස් දෙනෙකු පමණි. අවසානයේ පැමිණි සිටි පිරිසේ කසු කුසුව ගාලගෝට්ටියක් බවට පත්වෙමින් තිබියදී, කනගාටුවෙන් වුවද, දර්ශනය ආරම්භ කරන්නට ඔවුන්ට සිදුවිය.

"චික්.. විතරක්. අපරාදෙ මහන්සිය" දයා මැසිවිලි නඟන්නට විය.

"හරි.හරි ඔය ගැන එච්චර හිතන්න දෙයක් නෑ. හයයි තිහට සෙනඟ පිරෙයි" පතී, සුන්වූ බලාපොරොත්තු යළි දැල්වීමට උත්සාහ කළේය. එහෙත් දහවල් දර්ශනය සහභාගිවූ තරමේ පිරිසක් හෝ සවසට නොපැමිණීමෙන් සියලුදෙනාම අපේක්ෂාභංගත්වයට පත්වූහ. සිදුවූ ඇබැද්දිය වචනයෙන් විස්තර කිරීමට තරම් අපහසු බව කීවද, බර්ටි අයියා හෙමින් ‍සිය හඬ අවදි කළේය.

"කන්නයි බොන්නයි අතට සල්ලියි හම්බවෙනවා කීවට ප්ලේන්ටියක් හැර වෙනත් කිසි දෙයක් අරන් දෙන්න මලියසේනලාට, පිනාලටත් සල්ලි නෑ. වැඩේ කොහොමත් අතිනුත් පාඩුයි. අන්තිමට අපට කන්න බොන්න තියා බස් එකක එන්නවත් සල්ලි නෑ. මලියසේනයා තෙන්නයා අතට රුපියලක්ද කොහෙද දුන්නා. ඒ වෙලාවෙ රෑ දහයට එකොළහට විතර ඇති. පිනාලා ඇතුළු සෙට් එක ආව වාහන වලම ගියා. අපි පාරට බැස්සම එකම බස් එකක්වත් නෑ. ඉතිං ඊට පස්සෙ එක එකාට බණින, පුප්පන අඩි හප්පන ගමන් රණ්ඩු වෙවී පුස්සැල්ලාවෙ ඉඳන් ගම්පොලට පයින් ආවා. ඒ වෙද්දි හොඳටම හෙම්බත් වෙලා. වැඩකරපු මහන්සියයි, බඩගින්නයි, අතේ සල්ලි නැති එකයි එක්ක කලකිරිලා එකෙකුට එකෙක් පෙන්නන්න බෑ. තෙන්නයා පතීට බණිනවා. පතී මලියසේනට බණිනවා. ඊට පස්සෙ ගමනට කැමතිවුණු හින්දා ඔක්කෝටම බණිනනවා. කොහොම කොහොම හරි ඊට පස්සෙ තෙන්නෙට දුන්නු රුපියලෙන් බස් ගාස්තු ගෙවාගෙන බස් එකේ ආවා. මං ගැටඹෙන් බැස්සා. පතී, මුල්ගම්පොලින් බැස්සා. තෙන්නෙත් පතී එක්ක ගියා. බැචා කොහේ ගියාද කියලා මතක නෑ. මං ගෙදරට එද්දි පාන්දර පහට විතර ඇති. ආවට කෑමටවත් පිරියක් තිබුණේ නෑ. බඩ පිරෙන්න වතුර එකක් බීලා නිදාගත්තා"

කුසගින්නත්, ගමන් වෙහෙසත් නිසා ඇඳට වැටුණු විගසින් ඔහුට නින්ද ගියේය. එහෙත් වැඩි වේලාවක් සුවසේ නිදාගැනීමට බර්ටිට නොහැකි විය. එයට හේතුව 11.30 පමණ වෙද්දී දොරට තඩිබාන සද්දයක් ඇසීමය.

"බර්ටියො නැඟිටපන්. ඉක්මන් කරපන් යකෝ"

"මට නිදාගන්න දීලා පලයල්ලා" බර්ටි කේන්තියෙන් කාමරය තුළ සිටම කෑගැසුවේය.

"පිස්සු කෙලින් නැතුව නැඟිටපන් බන්." කන්කරච්චලය ඉවසන්නට බැරි තැන මිතුරන්ට අසැබි වචනයෙන් පවා බැණ වදිමින් හෙතෙම නැඟී සිටියේය. නිදිමතේ වැනී වැනී ඇවිත් කාමරයේ දොර විවර කළේය.

"ඉක්මනට මූණ හෝදගෙන ලෑස්ති වෙයන්" දොර ළඟ හිටිගෙන සිටියේ දයා තෙන්නකෝන්ය. පතීද, පසෙකින් හිනාවෙමින් හිටියේය.

"කොහෙ යන්නද? බර්ටි ඇසුවේ නොරුස්සනසුලු බැල්මකිනි.

"ද්ව්‍ය ලෝකෙ යන්න."පතී පුරුදු සැහැල්ලුවෙන් උත්තර දුන්නේය.

"එක පාරක් ගිහින් කාපු කට්ට මදිද? තාම ඇඟ රිදෙනවා" යන්නේ කොහේදැයි නොදන්වා වුණත් , කොහේ හෝ යාමට තමාට ඇති නොකැමැත්ත බර්ටි අවධාරණය කළේය.

"ඒ ගියේ අපායෙනෙ බං. දැන් යන්නෙ දිව්‍ය ලෝකෙ. අයියා එනවා කීවා සැලගම යන්න. අපිට මාතලේට එන්න කීවා" දයා පැහැදිලි කළේය. ඒ වැකියත් සමගින් තම වෙහෙස, නිදිමත අමතක කළ බර්ටි වහාම ලකලෑස්ති විය. ඒ දයා කියන 'ද්ව්‍ය ලෝකය' යනු මසකට පමණ වතාවක් කණ්ඩායමට වාසනාව ගෙනෙන දින කිහිපයක් බැව් අමුතුවෙන් කිව යුතු නැති නිසාය.

දයා තෙන්නකෝන්ට වැඩිමහල් සොයුරෙකු සිටියේය. ඔහු නමින් බර්ටි තෙන්නකෝන්ය. වතු අධිකාරී වරයෙකි.නුවරඑළිය, මස්කෙළිය ආදී සුපිරි වතුවල සේවය කළ හෙතෙම මේ දිනවල සේවය කරමින් සිටියේ සැලගම වතු යායේය. ඒ ප්‍රදේශයේ බර්ටි තෙන්නකෝන්ගේ හිත ගිය තරුණියකද සිටි බැවින් හෙතෙම මීට පෙරාතුවද, එහි යාමට කොහොමත් වැඩි කැමැත්තක් දැක්වීය. තමන් යමින් ගමන් විටෙක මේ කණ්ඩායමේ පිරිසද, ගමනට එකතු කර ගැනීම ඔහුගේ පුරුද්දයි. එහිදී අදාළ වතු බංගලාවේදී තම සොයුරාගේ (දයා තෙන්නකෝන්) මිතුරන්ට සුපිරි කෑම, බීම සපයාදී ඔවුන් සමග ගී ගයමින් සතුටුවීම ඔහුගේ විනෝදාංශය විය. මිතුරන්ට හිතු මනාපයට විනෝදවීමට අවස්ථාව සලසාදී තම සිත් ගත් තරුණියට බැල්ම දැමීම සඳහා මිතුරන්ගෙන් කෙනෙකු තෝරාගෙන හිටි ගමන් අතුරුදහන්වීමේ පුරුද්දක්ද ඔහුට තිබුණි. කාලයකින් ලැබෙන අවස්ථා‍වෙන් හොඳට කා බී සතුටුවීම හැර අන්දෙයක් සෙවීමට සෙස්සන්ට වුවමනාවක් නොවීය. මසකට හමාරකට වරක් ලැබෙන මේ අවස්ථාව දයා විසින් හැඳින්වූයේ 'දිව්‍ය ලෝකෙ යාම'ක් ලෙසය. සැබවින්ම 'පිනාගේ සර්කස්' පෙන්නිල්ලෙන් අපාය අත්විඳ තිබුණු පතී ඇතුළු පිරිසට මෙකී අවස්ථාව 'දිව්‍ය ලෝක' අත්දැකීමක්ම විය.

"ඒ සැරේ අපි බංගලාවෙ දවස් හතරක් හිටියා. සර්කස් වැඩේ හින්දා පෑරිලා තිබුණු හිත් සුවපත් වෙලා තරහ මරහ නැතිවෙලා මාර විදිහට විනෝද වුණා. ඔය අත‍රේ දවල් කාලෙ අපි වත්තෙ ඇවිදින්න යනවා. ඒ අතර කඳු මුදුන්වල, ලස්සන තැන්වල පතී නතර වෙනවා. 'මෙතන මරු. අන්න අර පැත්තෙ ඉඳන් කෙල්ල එනකොට මෙන්න මෙතන කොල්ල ඉන්නවා. කැමරාව තියන්න ඕන උඹ ඉන්න තැන.' වගේ කතා කිය කියා කතන්දර හද හදා චිත්‍රපටියක් රූගත කරන විදිහ ගැන කියනවා. හීන මවනවා. අපි හැමෝම ඒ වෙලාවට මොහොතකට චිත්‍රපටි අධ්‍යක්ෂවරු වෙනවා. ඒත් ඒ හීනය හැබෑ කරගන්න ලැබුණේ පතීට විතරයි"

බර්ටි අයියා හැඟීම්බර වෙයි. 'පෙරහැර සමය' යනු මහනුවරට සංස්කෘතික වැදගත්කමක් එකතු කරන කාලයක් පමණක් නොවේ. එකලට දස දෙසින් නුවරට ඇදෙන ජනයා තැන තැන ලැගුම් ගැනීම, බැතිමතුන්ගේ පුද පූජා, පෙරහැරට එකතුවන නැටුම් ශිල්පීන් හා විවිධ සංස්කෘතිකාංග ශිල්පීන් පෙර පුහුණු වීම් කරන අවස්ථා, අලි ඇතුන් ගාල් කිරීම හා නඩත්තු කිරීම, කැවිලි පෙවිලි වෙළෙන්දන්ගේ ජීවනෝප ක්‍රම ආදී බොහෝ දේ සමීපව නිරීක්ෂණය කිරීමෙන් බොහෝ දේ උගත හැකිය. පෙරහැරේ චාරිත්‍ර වාරිත්‍ර හෝ පුද පූජා පිළිබඳ පතී ඇතුළු කණ්ඩායමේ කිසිවකුටත් භක්තියක් නොවීය. එහෙත් එම කෙටි කාලය තුළ මහනුවර සිදුවන ජන ජීවිතයේ වෙනස්වීම් හා වටපිටාව පිළිබඳ විමසුම් ඇසින් බලා සිටීම ඔවුන්ට ප්‍රියජනක විය. මේ එවන් දවසක සිදුවීමකි.

"පෙරහැර ඉවර වෙලා රට වටෙන් ආව එක එක ශිල්පීන් ආපහු යන්න ලෑස්ති වෙමින් හිටියා. හොරණෑ පිම්බ පිරිසක තාත්තා කෙනෙක් පොඩි එකෙක් වඩාගෙන හිටියා. අපි ළං වුණාම අපට තේරුණේ එයා බෙරයක් ඉල්ලමින් අඬන බවයි. ඒ තාත්තා එක එක චාටු කතා කිය කිය පොඩි එකා රවටමින් නලවමින් හිටියා. ඊට පස්සෙ ඒ තාත්තා පොඩි එකා තමන්ගෙ කරේ තියාගෙන රෙදි බෑගයකුත් එක් උරහිසක එල්ලාගෙන යන්න ගත්තා. අපිත් ඒ පිටුපසින් වෙන තැනකට යමින් හිටියා. අර පොඩි එකා ඇඬීම නවත්තලා පිටිපස්ස හැරිලා බැලුවා. පතී අත් දෙකෙන් බෙරයකට තට්ටු කරන විදිහ රඟපාලා පෙන්නලා පොඩි එකා ඇවිස්සුවා. පොඩි එකා ආයෙම අඬන්න ගත්තා. තාත්තා ආයෙම රවටලා පොඩි එකාගෙ ඇඬීම නවත්වා ගත්තා. පොඩි එකා ආයෙම පස්ස බැලුවම පතී ආයෙමත් පොඩි එකාට බෙර ගහන හැටි පෙන්නලා ආයෙම උගෙ ආසාව අවුස්සනවා. එතකොට එයා ආයෙම කෑගහලා අඬනවා. මේ විදිහට නුවර ඔර්ලෝසු කනුව ගාවටම අපි ආවා. එතනදී පොඩි එකා විටෙන් විට හැරී හැරී පස්ස බලන නිසා ඒ තාත්තත් හැරිලා බැලුවා. එතකොටත් පතී හිටියේ බෙරයට තට්ටු කරන විදිහ රඟපපා. අර මනුස්සයා ඒ වෙලාවෙ පොඩි එකා අඬවනවා කියලා අප්ප මුත්ත මතක් කරලා බැන්නා. පතියි, මමයි, තෙන්නෙයි තුන්දෙනාම අනිත් පැත්ත හැරිලා දිව්වා"

බර්ටි අයියා, තම මතකයේ රස මුසු තැන් එකට කැටි කරමින් කියා සිටියේය. අතැම්විටෙක ජීවිතයේ එදිනෙදා අත්දැකීම් සැහැල්ලුවට ගැනීමට, එකී සැහැල්ලුවම ජීවිතය කර ගැනීමටත් පතීලා එකල පුරුදුව සිටියහ.

හෙට ජැක්පොට් යන්ත්‍ර යෙන් නොසිතූ වාසනාවක්

ප්‍රියාන් ආර් විජේබණ්ඩාර

 

නව අදහස දක්වන්න