ගැටී බිඳෙ­න්නට නොව බැඳි ගැටෙ­න්නට... | දිනමිණ

ගැටී බිඳෙ­න්නට නොව බැඳි ගැටෙ­න්නට...

මහනුවර දිගන ප්‍රදේශයේ හටගත් ගැටුම මේ ලිපිය ලියන මොහොත වන විටත් පූර්ණ ලෙස විසඳී නැහැ. ගැටුමට මුල් වුණ කාරණා හා එය පැතිරි ගිය ආකාරය ගැන ඇති තරම් කතාබස් කර තිබෙන නිසා නැවත නැවතත් ඒවායේ අගමුල ගැන හොයන එක තේරුමක් නැති වැඩක්. අපේ රටේ තියෙන නරක පුරුද්දක් තමා යම් සිද්දියක් වුණහම ඊට බලපෑ හේතු සාදක සොයා විසඳුමක් ඇති කරගන්නවා වෙනුවට ඇවිලෙන ගින්නට පිදුරු දමන කටකතා පැතිරවීම. දුරදිග නොබලා කරන මෙවැනි වැඩ නිසා අපි රටට කරගෙන තියෙන විනාශය සුලුපටු නැහැ. වටිනා මිනිස් ජීවිත හා දේපළවලට කර තිබෙන හානිය රුපියල් සතවලින් විතරක් පියවන්න බැරි බවත් අමුතුවෙන් කිව යුතු නැහැ.

මෙවැනි ගැටුමක් ඇති වුණ විගස අපි කරන තවත් බරපතළ වරදක් තමා ගැටුමට සම්බන්ධ පාර්ශ්වවල ජාතිය හා ආගම හොයන එක. ජාති හා ආගම් මුල් කරගෙන සමාජවල ගැටුම් ඇති නොවන බව නෙමෙයි මින් අදහස් කරන්නේ. නමුත් සමාජයක ජීවත් වන ජාතීන් හෝ ආගම් දෙකකට අයත් මිනිසුන් අතර ඇති වන හැම ගැටුමක්ම ජාතිවාදි හෝ ආගම්වාදි හෝ ගැටුමක් ලෙස අර්ථ නිරූපණය කිරීමට තැත් කිරිම නිසයි ඉතා භයානක සමාජ ගැටුම් හට ගන්නේ. දිගන ගැටුමේ සුල මුල හොයන විට පැහැදිලි වන කාරණය තමා පුද්ගලික ආරෝවක් හේතුවෙන් මුස්ලිම් තරුණ කණ්ඩායමකගේ පහර දීමෙන් සිංහල තරුණයෙක් මිය යාම. මේ අමානුෂික මිනිස් ඝාතනය අපට කිසිසේත් අනුමත කළ නොහැකියි. ඒ අපරාධය කළ පිරිසට නීතියෙන් දිය හැකි උපරිම දඬුවම් ලබා දීමයි ශිෂ්ට හා නීතිගරුක සමාජයක වගකීම. එහෙත් ඒ වෙනුවට මුස්ලිම් ජාතිවාදීන් විසින් සිංහල ජන සංහාරයක් අරඹා ඇතැයි කියමින් අපි මුස්ලිම් විරෝධි සටනකට මුල පිරුවොත් මොකද වෙන්නේ. ඇත්තටම දැන් සිදුවෙමින් පවතින්නෙත් ඒ දෙයම බව කනගාටුවෙන් වුවත් කියන්න සිදු වෙනවා.

දැන් අපි නැවතත් මුල පුරා සිටින්නේ කුමක්ද නිවැරදි කියා සොයා බලනවාට වඩා කවුද නිවැරදි කියමින් තර්ක විතර්ක කරමින් ප්‍රශ්නය තව තවත් අවුල් කර ගැනීමයි. ප්‍රශ්නයක සැබෑ මුහුණුවර හඳුනා ගන්නවා වෙනුවට වැරදි කොන අල්ලාගෙන දබර කරන්න පුරුදු වීමේ ප්‍රතිඵල හැටියට අවුරුදු තිහකටත් වැඩි කාලයක් තිස්සේ විනාශකාරී යුද්ධයකට අපි පැටලී හිටියා. ඉන් ඇති වූ වන කැළැල් අපේ සමාජ දේහයේ තවමත් ඉතිරිව තිබෙන බවත් අමතක කරන්න නරකයි. ඉතිං මෑත ඉතිහාසයෙන්ම මෙතරම් කටුක පාඩම් ඉගෙන ගත් සමාජයක් හැටියට සමාජ ප්‍රශ්න දෙස වඩාත් පුළුල් බැල්මක් හෙලන්නට අපි තවමත් අසමත් වී සිටිනුයේ මන්ද කියා අපිට අපේම හෘද සාක්ෂියෙන් විමසා බලන්න කාලය ඇවිත් තිබෙනවාය කියලයි මටනං හිතෙන්නේ.

බද්දරමල්ල ආරම්භ කරපු දවසෙ පටන්ම තමා මම ‘පොල් අරඹයි තල් අරඹයි‘ කොලම ලියන්න පටන් ගත්තෙ. මේ කොලම විශේෂයෙන්ම ඉලක්ක කර ගත්තෙ අපේ රටේ වාර්ගික කොටස් අතර සංහිඳියාව තහවුරු කරන අදහස් ප්‍රචලිත කිරීමටයි. මං වගේම වෙනත් ලේඛකයන් හා කලාකරුවනුත් තම ශක්ති ප්‍රමාණයෙන් වාර්ගික සුහදත්වය වෙනුවෙන් දායක වූ බව කිව යුතුයි.

ඊට අමතරව ආගමික නායකයන් හා සමාජ සේවකයන් ආදි සෙසු කණ්ඩායම්ද ජාතින් අතර සාමය හා අවබෝධය ඇති කිරිමට විවිධාකාරයෙන් දායක වුණා. මෙහෙව් පසුබිමකදී නැවතත් වාර්ගික ගැටුමකට මඟ පෑදෙන විදිහේ හැසිරීමක් අප සමාජයෙන් මතු වීම එක්තරා විදිහක සරදමක් ලෙසත් සලකන්න පුළුවන්.

මින් පැහැදිලි වන කාරණය තමා සමාජයක් කෙතරම් දැනුවත්ව සිටියත් එක් සුළු සැකයකට හෝ වැරදි අවබෝධයකට ඒ දැනුවත් බව යටපත් කර දමන්න ගත වන්නේ විනාඩි කිහිපයක් පමණක් බව. පුංචි ගිනි කූරකකට විනාඩි ගණනක් ඇතුළත මහා කෙත් යායක් දවාලිය හැකිවාක් වගේම පුංචි කට කතාවකටත් දවසක් හමාරක් ඇතුළත සමාජයක් ගිනි තියන්න පුළුවන් බව ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල අපි අත්දැක තිබෙනවා.

මේ ලිපිය අවසන් කරන්න කලින් බද්දරමල්ලටම මා කලකට පෙර ලියූ ලිපියකට පාදක වූ අත්දැකීමක් ඔබට නැවතත් මතක් කර දීම කාලෝචිතය කියා හිතුණා. එය වඩාත් කාලෝචිත වන්නේ අද ගිනි ඇවිලි තිබෙන මහනුවර ප්‍රදේශයට අයත් විහාරස්ථානයකදීම මේ අත්දැකීම ලැබීමයි. මහනුවර දිස්ත්‍රික්කයේ මුස්ලිම් ප්‍රජාව බහුලව වෙසෙන අකුරණ නගරයට ආසන්න පැරණි රජමහා විහාරස්ථානයකට මාත් දෙනගම සිරිවර්ධන මහතාත් ඇතුළු ‘නමස්කාර’ සඟරාවේ කණ්ඩායම ගියේ ලිපියක් සකස් කරන්නයි. අප එහි යන විට මුස්ලිම් ජාතික පියෙක් හා පුතෙක්ද විහාරස්ථානයේ සිටිනු දුටුවා.

‘‘මේ අපේ පන්සලට නිතර එන යන මුස්ලිම් හිතවතෙක්. ගෙදර හදපු රසකැවිලි වගයක් අරං ඇවිත් එයාගෙ පුතත් එක්ක.’’ නායක ස්වාමින් වහන්සේ අපට ඔහු හඳුන්වා දුන්නා. පසුව අපි ඔහු සමඟ කතාවට වැටුණා. ඒ කතාබහේදී අපට දැනගන්නට ලැබුණේ ඔවුන්ගේ පරම්පරාව සිංහල රජ සමයේ සිට පැවත් එන පිරිසක් බවයි. එකල සිංහල රජවරුන්ට වෙදකම් කිරීම සඳහා බෙංගාලයේ සිට සිය මුතුන් මිත්තන් ලංකාවට පැමිණි බවත් ඔවුන්ගේ වෙදකම්වලින් හා ඇසුරෙන් පැහැදුණු රජවරු ගම්වර දී ඔවුන් මෙහි පදිංචි කරවා ගත් බවත් ඔහු කියා සිටියා. ඔවුන්ගේ පැරණි පරපුර ගමේ විහාරස්ථාන සමඟ සබඳකම් පවත්වාගෙන ආ අයුරින් තමන්ද ඒ සම්ප්‍රදාය නොකඩවා ඉටු කරන බවයි ඔහු කියා සිටියේ. තමාගෙන් පසුව එම චාරිත්‍රය නොකඩවා පවත්වාගෙන යාමට පුරුදු පුහුණු කරනු පිණිස යොවුන් පුතුද දැන් විහාරස්ථානයට රැගෙන එන බව තවදුරටත් පැවසූ ඔහු ඔවුන් රැගෙනවිත් තිබූ රසවත් අග්ගලාවලින් අපටත් සංග්‍රහ කරන්න අමතක කළේ නැහැ.

පසුව නායක හිමියන් සමඟ කළ සාකච්ඡාවේදී දැනගන්නට ලැබුණේ විහාරස්ථානයේ කුදුමහත් කටයුතුවලදී ගමේ මුස්ලිම් ප්‍රජාවද බොදු බැතිමතුන් හා කරට කර හිඳිමින් දායකත්වය ලබා දෙන බවයි. ඊට අමතරව වසරක් පාසා සියයක් පමණ සංඝයා වහන්සෙ විෂයෙහි දානමය පින්කමක් පැවැත්වීමටද මුස්ලිම් ජනයා කැප වී සිටින බව උන්වහන්සේගෙන් දැන ගන්නට ලැබුණා. මේ අප රටේ සිංහල හා මුස්ලිම් ප්‍රජාව අතර චිරාත් කාලයක් පුරා පවතින මිත්‍රත්වය පිළිබඳ පුංචි උදාහරණයක් පමණයි. මෙවැනි අත්දැකීම් අපට වගේම ඔබටත් ඇති. මෙවන් මොහොතක අප කළ යුත්තේ ගැටී බිඳෙන්නට නොව බැඳී ගැටෙන්නට හැකි ශක්තිමක් ලාංකික ප්‍රජාවක් ගොඩනඟන්නට රුකුල් දෙන එවැනි අත්දැකීම් හැකිතරම් දුරට ජනතාව අතර ප්‍රචලිත කිරීමයි. රට ගිනි තියන ඊනියා කටකතාවලට දිය හැකි කදිම පිළිතුර එයයි. ඒ වගේම බිම් මට්ටමේ සිටින පොදු ජනතාව දැනුවත් කිරීමේ වඩාත් සාර්ථක ක්‍රමෝපායද එයයි.

කමල් පෙරේරා

නව අදහස දක්වන්න