ශ්‍රී ලංකාවේ ඉපැරණිම ස්වභාවික කපාල කන්දේ රඟදැක්වෙන ජා-ඇල ෛ‍එතිහාසික පාස්කු දර්ශනය | දිනමිණ

ශ්‍රී ලංකාවේ ඉපැරණිම ස්වභාවික කපාල කන්දේ රඟදැක්වෙන ජා-ඇල ෛ‍එතිහාසික පාස්කු දර්ශනය

 

ශ්‍රී ලංකාවේ ඉපැරණිම ස්වභාවික කපාල කන්ද ජා-ඇල කල්වාරි පුදබිමයි. එහි රඟදැක්වෙන ‍‍ෛ‍එතිහාසික පාස්කු දර්ශනය ද, ශ්‍රී ලංකාවේ ආරම්භක පාස්කු නාට්‍ය කලා සම්ප්‍රදායට අයත් වේ. මෙහි පූර්ණ හිමිකම ඇත්තේ ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානය සතුවය. මෙම දේවස්ථානයට හා කපාල කන්දට ඇත්තේ දිගු ඉතිහාසයකි. එකල ජා-ඇල යන නමින් ග්‍රාමයක් නොතිබූ අතර මෙම ප්‍රදේශය ඈඳී තිබුණේ කණුවන ග්‍රාමයටය. භාණ්ඩ ප්‍රවාහනය පහසුව පිණිස ලන්දේසින් විසින් කණුවන ග්‍රාමය දෙකඩ වන අයුරින් ‘ජා’ ජාතික කම්කරුවන් විසින් කැපූ ඇළ මාර්ගය නිසා ග්‍රාමය එගොඩ හා මෙගොඩ කණුවන ලෙසින් පසුව හැඳින්වී ඇත. මෙගොඩ කණුවන ග්‍රාමය ජා-ඇල යන නමින් ප්‍රසිද්ධව ඇත්තේ ජා-ඇල දුම්රිය ස්ථානය බිහිවීමෙන් පසුවය. එකල මෙහි පරිපාලන කටයුතු කණුවන ගම් සභාවෙන් පාලනය විය.

ඉංග්‍රීසීන්ගේ පාලනය ඇරඹීමත් සමඟ කතෝලික දහම ඇදැහීමේ නිදහස ප්‍රයෝජනයට ගනිමින් මෙගොඩ කණුවන ග්‍රාමයේ වැසියන් දේවස්ථානයක් ගොඩනැඟීමේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් කඳාන නාගොඩ මීසම යටත්ව වර්ෂ 1801 නොවැ. 09 දින ගරු ජෝකිම් මුරේ, ගරු මරියානු සල්දානෝ, ගරු ජුවන් වාස් යන ඔරතෝරියානු නිකායික පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම මුහුප්පු ධුරය ඉසිලූ ඒ. රුබෑර්තු සිල්වා මහතාගේ සුරතින් ජා-ඇල වික්ෂෝප මාතා දේවස්ථානයට මුල්ගල තබා වැඩ ආරම්භ කරන ලදි. ඒ අදින් වසර 217කට පෙරදීය. දේවස්ථානය ආසිරි ගැන්වීමේ උත්සවය පවත්වා ඇත්තේ වර්ෂ 1851 දී අග්‍ර රාජගුරු ධුරය හෙබවූ අති උතුම් කයි‍තානෝ ඇන්ටෝනියෝ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

දේවස්ථානය ආසිරි ගැන්වීමේ උත්සවයට වසර 3කට පෙර දේවස්ථානයේ ඉදකිරීම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පැමිණ සිටි නාගොඩ මීසමේ ගරු පේද්‍රෝ නොරිඤ්‍ඤෝ පියතුමා ඉදිවෙමින් පවතින දේවස්ථානය අසල පිහිටා තිබූ කුඩා කඳුගැටය දැක මෙය චතාරික සමයේ පාස්කු මෙහෙයන් සඳහා ඉතා උචිත ස්ථානයක් බවට හැඟී ගිය හෙයින් වර්ෂ 1848 දී මෙම ස්වාභාවික කඳු ගැටය ආසිරි ගන්වා ‘කපාල කන්ද’ ලෙස නම් තබන ලදි. ඒ අදින් වසර 170කට පෙරදීය. එසමයේ ශ්‍රී ලංකාවේ ප්‍රචලිතම පාස්කු දර්ශනයන් වූයේ ගරු ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමාගේ ‘දුක් ප්‍රාප්ති ප්‍රසංග පොත’ හා ‘පසං පොත’ ඇසුරු කොටගෙන රූකඩ කලාවේ ක්‍රම සහ විධි භාවිත කර ප්‍රතිමා පණගන්වා රඟදැක්වෙන පාස්කු දර්ශනයි.

මෙම නාට්‍ය කලා සම්ප්‍රදායට අනුකූලව අප ග්‍රාමයේ දක්ෂ කලාකරුවෙකු වූ එල්. ලුවිස් ප්‍රනාන්දු මහතා විසින් වර්ෂ 1859 දී ප්‍රථම පාස්කු දර්ශනය අති විශාල බැතිමත් කතෝලික ජනකායකගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක අයුරින් රඟ දක්වා ඇත. ගොබ් ඉරුදිනෙන් ආරම්භව පාස්කු ඉරුදිනෙන් අවසන් වන පරිදි සත් දවසක් පුරාවට මෙම පාස්කු දර්ශනය රඟදක්වා ඇත. ඒ මීට වසර 159කට පෙරදීය. 20 වන ශතවර්ෂයේ මුල් භාගය වන විට මෙම ප්‍රදේශයේ ප්‍රචලිතම පාස්කු දර්ශනය මෙය බවට පත්ව ඇත. එයට හොඳම නිදසුනක් පහත දැක්වේ.

මෙම පාස්කු දර්ශනය හේතුකොටගෙන මෙගොඩ කණුවන ග්‍රාමය යුග පෙරළියකට මුල්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එනම් ඉංග්‍රීසි පාලකයන් විසින් මීගමුව - හලාවත දුම්රිය මාර්ගය තනන අවස්ථාවේදී වර්තමානයේ දුම්රියපොළ පිහිටි ස්ථානයේ ස්ථාපිත කිරීම හැර වෙනත් යෝජිත ස්ථාන ගැන එම දුම්රිය බලධාරීන්ට නොසලකා හැරීමට හේතු වී ඇත්තේද මෙම පාස්කු දර්ශනය බැලීමට පැමිණෙන අති විශාල ජනතාව ගැන සඳහන් කරමින්, ඊ. ග්‍රිගෝරිස් ප්‍රනාන්දු මුහුප්පු මහතාගේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ මහජන පෙත්සම එම බලධාරීන් පිළිගැනීම හේතුකොටගෙනය. ඒ අනුව වර්ෂ 1908 දී ‘ජා-ඇල’ යන නමින් නම් කොට දුම්රිය ස්ථානය විවෘත කරන ලදී. මෙගොඩ කණුවන ග්‍රාමයට ලැබුණු ප්‍රථම රාජ්‍ය ආයතනය එය වූ අතර, ඉතා කුඩා දිළිඳු ගම්මානයක් ජනාකීර්ණ වී නාගරීකරණය වීම නිසා පරිපාලන කටයුතු පුළුල්වීම හේතුකොටගෙන වර්ෂ 1942 දී ජා-ඇල නගර සභාව බිහිවිය. අද විසල් නගරයක් බවට පත්ව ඇති ජා-ඇල නගරයේ දියුණුවේ මූලාරම්භය මෙම ‍ෛ‍එතිහාසිකපාස්කු දර්ශනය බව ඉතා පැහැදිලි සත්‍යයකි.

1950 දශකයේ ආරම්භක සමයේ පමණ මෙම සත්දින මහා පාස්කුව රඟදැක්වීම ඉතා දුෂ්කර කාර්යයක් වූ හෙයින් එය පාදනමස්කාර ස්ථාන 14 මුල්කරගනිමින් මහා සිකුරාදා දිනට හා පාස්කු ඉරුදිනට පමණක් සීමා වන අයුරින් අවුරුදු පතා රඟදැක්වීම ආරම්භ කරන ලදී. එසේම වර්ෂ 1941 සිට ශ්‍රී කුරුසියේ ඇණ ගසනු ලබන ජේසු ප්‍රතිමාව අඹා ඇත්තේද අප ග්‍රාමයේ විසූ නිහඬ කලාකරුවෙකු වූ ලෝරන්ස් මාකස් නැමති බැතිමත් කතෝලිකයෙකුගේ නිර්මාණශීලී දෑතෙනි. ශ්‍රී ලංකාවේ දැනට ඉපැරණිම සම්ප්‍රදායට අනුකූලව රඟදැක්වෙන එකම පාස්කු දර්ශනය ජා-ඇල පාස්කුවයි.

වර්ෂ 2018 මාර්තු 30 මහා සිකුරාදා දින උදේ 8.30ට දේවස්ථාන භූමියෙන් ආරම්භව ජේසු සමිඳාණන් කපාල කන්ද දක්වා යන අති දුෂ්කර ගමනත් දහවල් 1.30 උන්වහන්සේ කුරුසපත්වීමත් හා තුන්පැය ධ්‍යානයත් කපාල කන්දේදී සිදුකෙරේ. එබැවින් ඔබගේ මනස්ථාපය මුදාහැරීම සඳහා මෙම ‍ෛ‍එතිහාසික පාස්කු දර්ශනය සමඟ එකාත්මිකවීමට මීසම භාර ගරු ප්‍රිය ජයමාන්න පියතුමා සමඟ දහම් සේවා සභාව බැතිසිතින් ආරාධනා කර සිටී.

 

ඊ. ජෝශප් ලක්සිරි ප්‍රනාන්දු
(දහම් සේවා සභා සාමාජික)

 

නව අදහස දක්වන්න