මහ­තීර් මොහො­මඩ් | දිනමිණ

මහ­තීර් මොහො­මඩ්

බන්දුල පී දයාරත්න

'දේශපාලනේ කියන්නේ මහ පුදුම දෙයක් නේ... නැද්ද මං අහන්නේ...? ' කියා ටොම්සන් මහත්තයා කීවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශය නරඹා අවසානයේදීය.

'ඒ මොකද ටොම්සන් මහත්තයා... හදිසියේ එහෙම හිතුණේ? මොකද කවුරු හරි දේශපාලනඥයෙක් ලෝකයේ පුදුම අට බවට පත් වෙලාද? ' කියා ඇම්බන් මහත්තයා ඔලොක්කුවට ඇසුවේය.

' එක පැත්තකට එහෙම වෙන්නත් පුළුවන්. ඇයි ඇම්බන් මහත්තයා දැක්කේ නැද්ද දැන් මේ ප්‍රවෘත්තිවල පෙන්නුවේ මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ් මහත්තයා ආයෙත් මහ මැතිවරණයෙන් දිනලා අගමැති වෙලා කියලා... කීයද වයස? අවුරුදු අනූ දෙකයි. ඉතින් මේක අට වෙනි ලෝක පුදුමය වගේ වෙන්නත් පුළුවන්. ' කියා ටොම්සන් මහත්තයා කීවේය.

' හැබැයි ඉතින් මං නං අනුමත කරන්නේ නෑ ඔය අවුරුදු අනූ දෙකක මහල්ලෙකුට දේශපාලන බලය ලැබෙනවාට. මොකද ඒක රටක් පාලනය කරන්න තරම් හොඳ මනසක් තියෙන්න පුළුවන් කාලයක් නෙවෙයිනේ... ' කියා කියමින් උන්නැහේද එතැනට එක් වූයේය. ඒ අස්සේ දොරට කවුරුන් හෝ තට්ටු කරනු ඇසී උන්නැහේ ගොස් දොර ඇරියේය. කඩිමුඩියේ ගෙට ඇතුළු වූයේ පාල මහත්තයා.

' හොඳ වෙලාවට පාල මහත්තයා මෙතෙන්ට ආවේ... අපි මේ දේශපාලන කාරණයක් ගැනම තමයි කතා කරන්න පටන් ගත්තේ... පාල මහත්තයා මොකද හිතන්නේ මේ මහතිර් මොහොමඩ් මහත්තයා ආයෙත් මැලේසියාවේ දේශපාලනයට පිවිසීම ගැන... '

පාල මහත්තයා පුටුවේ ඉඳ ගෙන හිස වැනුවේය.

' හරි අමාරුයි යමක් කියන්න ටොම්සන් මහත්තයා... ජනතාවගේ කැමැත්තනේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.. ඉතින් මේක නේ... අවුරුදු විසි දෙකක් මැලේසියාව ගොඩනැගුවේ මහතීර් මොහොමඩ් මහත්තයා නේ... පොඩි කාලයක්ද? අනික මහතීර් මහත්තයා දේශපාලනයෙන් ඉවත් වුණේ ජනතාවගේ උපරිම ආදරය තියෙන මොහොතක තමන්ගේ කැමැත්තෙන්ම නේ.. අවුරුදු විසි දෙකක් ඇතුළත මැලේසියාව ආසියාවේ බලවත් ආර්ථිකයක් තියෙන රටක් බවට පත් කරලා නේ අයින් වුණේ. '

' දන්නවද පාල මහත්තයා මැලේසියාවේ ඉන්න පරණ දොස්තර මහත්තුරු කොහේද ඉගෙන ගත්තේ කියලා... ' කියා ටොම්සන් මහත්තයා හරස් ප්‍රහේළිකාවක් ඉදිරිපත් කළේය.

' කොහේද ඉතින් වෛද්‍ය විද්‍යාලයේනේ.. වෙන කොහෙන්ද වෛද්‍ය උපාධි ලබා ගන්න පුළුවන්... ' කියා පාල මහත්තයා බාග උත්තරයක් දුන්නේය.

' හරි ඉතින් කොහේ වෛද්‍ය විද්‍යාලයේද? '

' ඒක නම් මං දන්නේ නෑ.... ඔය අමෙරිකාවේ හරි එංගලන්තේ හරි වෙන්න ඇති... ' කියා පාල මහත්තයා ප්‍රශ්නයෙන් ලෙස්සා යන උත්තරයක් දුන්නේය.

' එහෙනං දැන ගන්න පාල මහත්තයා... මැලේසියාවේ ඉන්න පැරණි වෛද්‍යවරු වැඩි හරියක් ඉගෙන ගත්තේ පේරාදෙණියේ නැත්නම් කොළඹ වෛද්‍ය විද්‍යාලයේ. ' කියා ටොම්සන් මහත්තයා කීවේය. පාල මහත්තයාත්, ඇම්බන් මහත්තයාත් උන්නැහේත් කට ඇරගෙන බලා සිටියහ.

' ඒ කියන්නේ ඒ කාලේ අපි දියුණුයි. '

' ඔව්... මැලේසියාවට වඩා අපි දියුණුයි. ඒකනේ අපේ රටට ඇවිත් ඉගෙන ගත්තේ... එතකොට අපි දැන් මැලේසියාවට යනවා ඉගෙන ගන්න... කොහොමද අපේ දියුණුව? ' කියා ටොම්සන් මහත්තයා හොක් හොක් ගා සිනහසුණේය.

' අනික මහතීර් මහත්තයා අගැමැති හැටියට හිටිය කාලයේ මැලේසියාවේ හිටපු ඉගෙන ගන්න දක්ෂ ළමයි බර ගානක් අමෙරිකාවටයි... එංගලන්තෙටයි ඇරියා ආණ්ඩුවෙන් ශිෂ්‍යත්ව දීලා... '

' හරි ඉතින් අපේ රටෙනුත් එහෙම ශිෂ්‍යත්වවලට දක්ෂ ළමයි යවනවානේ... ' කියා උන්නැහේ හරස් කැපුවේය.

' එහෙම නෙවෙයි උන්නැහේ...අපේ රටෙන් එහෙම යවන්නේ පිට රටින් ලැබෙන ශිෂ්‍යත්වවලට... මහතීර් මහත්තයා ශිෂ්‍යත්ව දුන්නේ ආණ්ඩුවේ සල්ලිවලින්. මොකද? මහතීර් මහත්තයා දැක්කා අනාගතේ මැලේසියාව දියුණු කරන්න නම් හොඳ උගතුන් පිරිසක් අවශ්‍යයි. හොඳ විශ්වවිද්‍යාල අවශ්‍යයි. කියලා... දන්නවද මැලේසියාවේ විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු කියන කතාව... අමෙරිකන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න අමෙරිකාවටම යන්න ඕනැ නෑ.. ඊට වඩා අඩු වියදමින් මැලේසියාවේ විශ්වවිද්‍යාලවලින් අමෙරිකන් මොඩල් එකේ අධ්‍යාපනය ලබා ගන්න පුළුවන් කියලා... මොකද? මැලේසියන් ආචාර්ය මහාචාර්යවරුන් හදලා තියෙන්නෙත්, තවම සම්බන්ධකම් පවත්වන්නෙත් අමෙරිකන් විශ්වවිද්‍යාල එක්ක... මහතීර් මහත්තයා එදා හිතපු දේ අද මැලේසියාවේ සංවර්ධනය පිටු පස්සේ තියෙනවා... ඒක තමයි අවුරුදු අනූ දෙකක් වෙලත් ආයෙත් ඡන්දෙ දීලා පත් කර ගත්තේ.. '

පාල මහත්තයා හුනස්නෙන් නැගිට්ටේ බොහොම කලබලයෙනි.

' ඇත්තම කතන්දරේ ටොම්සන් මහත්තයා.. මං නං අවුරුදු අනූ දෙකක් ජීවත් වෙයිද කියලාත් කියන්න බෑ... ' කියමිනි.

නව අදහස දක්වන්න