ගංවතුර විපතට තාක්ෂණික උදව් | දිනමිණ

ගංවතුර විපතට තාක්ෂණික උදව්

නිරිත දිග මෝසම් වර්ෂාව සමඟ ඇති වන කුණාටු හේතුවෙන් ගංවතුරෙන් පළාත් කිහිපයකම දහස් ගණන් ජනයා පීඩා වින්දෝය. මේ ගංවතුර ඇති වන කාලයට ගංවතුර වැළැක්වීම ගැන විවිධාකාර කතිකා ඇතිවේ. එහෙත් ආධාර එකතු කිරීමෙන් පසුව ඒ ආධාර බෙදා දීම ආදී මාතෘකා ගැන මිස නැවත ගංවතුර වැළැක්වීමේ කතිකාවත් පණ ගැන්වෙන්නේ ඊළඟ ගංවතුර කඩා වැදුණ පසුවය. රටේ ඉහළම බලාධිකාරීන් විසින් ජලමාර්ග අවහිර කරන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග දෙන මුත් ඒ සදහා නිසියාකාර වැඩපිළිවෙළක්ද තිබෙන බවක් නොපෙනේ. ගංවතුරෙන් සිදුවන හානි වැලකීමට තාක්ෂණය යොදා ගන්නේ කෙසේද? අපි ඒ ගැන සලකා බලමු.

තොරතුරු අදාළ පාර්ශ්ව වෙත යැවීම

අද වන විට තාක්ෂණය කොතරම් දියුණුද කිවහොත් ඈත ඇමරිකාවේ සුළි කුණාටුවක් වුවද අපිට එවෙලේම රූපවාහිනියෙන් හෝ අන්තර්ජාලයෙන් නැරැඹිය හැකිය. එසේ වුවත් තවමත් අපේ රට තුළ සිදුවන විපත්වලදී තාක්ෂණය නිවැරැදිව භාවිත වේද?. පසුගිය වසරවල ලංකාව මුහුණ දුන් විපත් ඔස්සේ ඇති වූ කතිකාවත් මඟින් ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය විසින් තොරතුරු බෙදා හැරීමට වෙබ් අවකාශය යොදා ගනිමින් පවතී. එය සාධනීය තත්ත්වයකි. ට්විටර්, ෆේස්බුක් හරහා වඩාත් ඉක්මනින්ම අදාළ පාර්ශවවලට තොරතුරු ගලා යැවිය හැකිය. එසේ යම් මට්ටමකට හෝ ගංවතුර විපත ගැන සහ අවධානම් ගැන දැනුවත් කිරීමට සමාජ ජාලා රාජ්‍ය අංශය විසින්ම යොදාගෙන තිබේ. මේ තොරතුරු විශ්වාසනීයව ආපදා කළමණාකාරන අංශ හරහා ලැබෙන බැවින් එහිදී තොරතුරු ගැන සැක කිරීමට ද ජනතාවට හේතුවක් ද නැත.

තමුන් ආරක්ෂිත යැයි සලකුණු කිරීම

උවදුරු අවස්ථාවකදී අප අපගේ ආරක්ෂාව ගැන මෙන්ම අපගේ ඥාතීන්ගේ සැප-දුක කෙරෙහිද මනා ලෙස සංවේදීය. ඒ නිසාම අප විවිධාකාර සන්නිවේදන මාර්ග ඔස්සෙ ඔවුන් සනීපෙන් සිටීද, උවදුරක් නැතිද කියලා සොයා බැලීමට යොමු වෙමු. ෆේස්බුක් මඟින් විපත් අවස්ථාවේදී ඒ ගැන මිතුරන්ට දැනුම් දීමට ක්‍රමවේදයක් ගෙනවිත් තිබේ. ඒ ඔස්සේ සැබැවින්ම විපතට හසු වූවාද? එයින් ගැලවුණාද යන්න මේ වන විට මිතුරන්ට සහ පිටරට සිටින අයට පවා හැකියාව ලැබී තිබේ.

මේ තාක්ෂණයම මීට වඩා ඉහළ මට්ටමින් භාවිත කළහොත් ඔන්ලයින් මැප් සමඟම නිවැරැදිව විපතට පත් වෙන පළාතේ සිතියම් සාදාගත හැකිය. එවිට මේ තරම් වතුර මට්ටමක් පැමිණියහොත් මෙපමණ හානියක් වේ යැයි ගංගාවල ජල මට්ටම අනුව අනතුර පුරෝකතණය කරගත හැකි වනු ඇත.

සැටලයිට් තාක්ෂණය

සැටලයිට් හරහා අපිට සිටින ස්ථානය සහ මාර්ග සොයා ගැනීමට හැකි බව බොහේ දෙනා දන්නා කරුණකි. එසේම අපිට ගූගල් අර්ත් හරහා අපි සිටින ස්ථානයේ පෙනුම ගුවනින් දැන ගැනීමට හැකිව ඇත්තේ සැටලයිට් හරහා වේ. සැටලයිට් තාක්ෂණයෙන් අහසේදී කාලගුණික දත්ත එකතු කර ගැනීම මෙන්ම විපත වී ඇති වපසරිය බලා ගැනීමට හැකිය. ඒ හරහා විපත්තිය නිවැරැදිව දැකගෙන විපත කළමනාකරණයට අදාළ පියවර ගත හැකිය. පසුගිය ගංවතුර සහ නාය යෑම් අවස්ථාවලදී සැටලයිට් තාක්ෂණය උපයෝගි කරගෙන විපත සේයාරූ බවට පත් කරගෙන තිබුණි. එය තාවකාලික සහන කටයුතුවලට මෙන්ම පසුකාලීනව විපත් කළමනාකරණ දීර්ඝකාලීන වැඩපිලිවෙලටද වැදගත් විය.

වගුරු ගොඩකරන වතුර අවහිර කරන්නන් හදුනා ගැනීම

දුම්රිය සේවාව ගැන තිබෙන එක් ෆේස්බුක් ගෲප් එකකදී දුම්රියේ ගමන් කරන විට නොයෙකුත් අකටයුතුකම් කරන අය, දුම්රිය අපවිත්‍ර කරන අය ගැන යම් යම් සටහන් විවිධ අය විසින් දමා තිබුණි. ඒ ආකාරයෙන්ම ජල මාර්ග අවහිර කිරීම්, වගුරු ගොඩකිරීම් ආදිය කෙලින්ම රජයේ ආයතනයකට ඇප් එකක් හෝ වෙබ් එකක් මඟින් දැනුම් දීමට හැකි නම් එය මනාය. දැනුම් දෙන තොරතුරු එක්රැස් කර ගැනීමට මෙන්ම ඉක්මන් ක්‍රියා මාර්ග ගැනීමද වැදගත්ය. උදාහරණ ලෙස වෙරළ සංරක්ෂණය ගනිමු. කිලෝමීටර 1300ත් වඩා වන ලංකාව වටේ මුහුදු වෙරලේ සෑම තැනම කවුරුන් හෝ බිල්ඩින් ඉදි කරනවා දැයි බැලීමට පොලිස් නිළදාරීන් යෙදවීමට නොහැකිය. එහෙත් එවැනි අනවසර ඉදිකිරීම් ගැන රපෝර්තු කරන්නට නිවැරැදි ක්‍රමවේදයක් වී නම් අපිට සේයාරුවක්, වීඩියෝවක් සහ අපේ අදහස් මඟින් ඒ ගැන අදාළ කාර්යාංශවලට දැනුම් දිය හැකිය.

එසේම ජල මාර්ග අවහිර කරන, වගුරු බිම් ගොඩකරන ස්ථාන ගැන තොරතුරුද කෙලින්ම රජයේ ආයතනවලට දැනුම් දීමට ක්‍රමවේද තිබේ නම් ඒ ආයතනවලට පහසුවකි. ජනයාටද තමුන්ගේ අවට පරිසරය ගැන සංවේදීව විපත් ගැන කලින් ක්‍රියාත්මක වීම ඒ අවස්ථාවකි.

විපත් සහ තාක්ෂණය

විපත් කළමණාකරනය යන විශාල විෂය පථයේදී අප රටට වඩා සාර්ථකව තාක්ෂණය භාවිත කරන රටවල් සහ පළාත් තිබේ. ඒ රටවලින් අපිට ඉහළ මට්ටමින් ඒ රටවලින් උපකාර ගත හැකිය. නවීන තාක්ෂණය හා ක්‍රමවේද ක්‍රියාත්මක කරන සහ කළ හැකි ආකාර පිළිබඳ උපදෙස් ගත හැකිය. එසේ තාක්ෂණයෙන් සන්නද්ධව විපත ගැන අවධානයෙන් සිටියහොත් අපිට මීළඟ වැසි සමයේදී ගංවතුර නායයෑම් තත්ත්වයන් හැකි තාක් අවම කරගත හැකි වනු ඇත.

අමිල චතුරංග 

නව අදහස දක්වන්න