අයියෝ මල්ලි... රට පාවා දී ඡන්ද කළ හැටි | දිනමිණ

අයියෝ මල්ලි... රට පාවා දී ඡන්ද කළ හැටි

හම්බන්තොට වරායේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව කළ ‘චයිනා හාබර්’ සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු බව කියන අත යට ගනුදෙනු කිහිපයක් හෙළිදරව් වීම මහා ආන්දෝලනයකට හේතුවී ඇත. මහින්ද රාජපක්ෂ මහතාත් ඔහුගේ ගෝල බාලයනුත් කියන්නේ ‘මෙන්න මඩ ගසනවෝ’ කියාය. කියන්නේ කාගේ හෝ කැලෑ පත්තරයක් ගැන නොවේ. ලෝකයේ ඉහළම කීර්තියක් හිමි කරගෙන ඇති පුවත්පතක් වන නිව්යෝක් ටයිම්ස් පුවත්පත ගැනයි. කවුරු පිළිගත්තත් නොගත්තත් දැන් ඉතින් මඩ ගසනවෝ කියනවා හැරෙන්නට වෙනත් කියන්න දෙයක් මහින්දලාට නැත.

එක අතකට නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මෙරට ජනයා නොදැන සිටි යමක් ‍ෙහළිදරව් කළා යැයි කිව නොහැකිය. පසුගිය පාලනය සමයේ සිදුවූ බොහෝ දේ ගැන නිශ්චිත තොරතුරු නැතත් මෙරට ජනයා දනිති. නොදන්නේ එම කරුණු තහවුරුවෙන නිශ්චිත තොරතුරුය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සිදුකොට ඇත්තේ එබඳු නිශ්චිත තොරතුරු කිහිපයක් හෙළි දැක්වීමයි. 2015 මැතිවරණය ආසන්න කාලයේදී මහින්ද රාජපක්ෂ මහතාට සම්බන්ධ තැනැත්තන් වෙත ලබාදුන් මුදල් ප්‍රමාණ ගැන එහි නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් ඇත.

මහින්ද රාජපක්ෂ මහතා දැන් විවිධ බයිලා කියන්නට පටන්ගෙන ඇත. කෙලින් කතා නොකර කරන්නේ වටේ යන කතාවකි. සල්ලි ලැබුණානම් කරනදේ හා කළ හැකිදේ යි. කෙසේ වෙතත් එදා ඡන්ද කළ හැටිද ජනතාවට අමතක නැත.

තමන්ට ඩොලරයක්වත් ලැබුණානම් ඔප්පු කරන්න යැයි මහින්ද රාජපක්ෂ මහතා කියා තිබිණි. හැබැයි මහින්දට ඩොලරයක්වත් දුන් බවක් නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාවේ නැත. එහි කියා ඇත්තේ ඔහුට සම්බන්ධ උදවියට දුන් බවකි. ඇතැම් චෙක්පත් අරලියගහ මන්දිරයට යැව් බවකි. ඒවා මුදල් කර ගත්තේ මහින්ද රාජපක්ෂ මහතා නොවන බව පැහැදිලිය. හැබැයි සැබෑ මුදල් ලාභියා කවුද යන්න සිතාගැනීම අපහසු නැත. මේ කට්ටිය මුදල් ගන්නේත් ඒවා තියා ගන්නේත් තමන්ගේ නමින් නොවන බව කවුරුත් දන්නා කාරණාවකි.

වැල් බයිලා

අප දන්නා තරමින් මල්වානේ අක්කර දහසයක ඉඩමක් හෝ මාලිගාවක් බැසිල් රාජපක්ෂ මහතා නමට නැත. එය ඇත්තේ උදිත ජයකොඩි නම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ නමටය. ඔහු කියන්නේ ඉඩම තමන්ගේ නොවන බව හා බැසිල් කී නිසා තමා නමට ගත් බවයි. බැසිල් කියන්නේ තමන් එහෙම දෙයක් දන්නේවත් නැති බවය. එසේ වුවත් සුමනදාස ජෝතිෂ්‍යවේදියා කියන්නේ නිවසේ කටයුතු සඳහා නැකත් තමා සාදා දුන්නේ බැසිල්ගේ පවුලේ අයට බවයි.

ගල්කිස්සෙන් හමුවූ මහා මන්දිර දෙක යෝෂිත රාජපක්ෂගේ නොවේ. ඒවා ඩේසි ආච්චිගේය. ඇයට ඒ සඳහා මුදල් ලැබුණේ නොදන්නා කෝටිපතියෙකුගෙනි. මුලින් ලැබුණේ මැණික්ය. පසුව මැණික් වෙනුවට මුදල් ලැබුණි. අපට දැන් අහන්න ලැබෙන්නේ මේ වර්ගයේ වැල් බයිලාය.

නිව්යෝර්ක් ටයිම්ස් මාධ්‍යවේදිනියට වාර්තා දී ඇත්තේ එෆ්. සී. අයි. ඩී.යේ හා සී. අයි. ඩීයේ නිලධාරීන් බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කොට තිබිණි. එයින් පෙනී යන්නේ මෙම තොරතුරු එම ආයතන සතුව ඇති බව හා නාමල් ඒ බව දන්නා බවයි.

මෙම තොරතුරු පමණක් නොව ඒ ගැන නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත විමර්ෂණයක යෙදෙන බවද මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහුට සම්බන්ධ බොහෝ දෙනාද දැන සිටි බව පැහැදිලිය. පුවත්පතේ වාර්තාවේ සඳහන් වන්නේ මෙම චෝදනා ගැන තම ප්‍රතිචාරය දක්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතාගෙන් හා එම කණ්ඩායමේ අනෙක් අයගෙන් මාධ්‍යවේදිනිය නැවත නැවත ඉල්ලා සිටියද එයට පිළිතුරු නොලැබු බවයි.

ලිපිය ලියා තිබුණේ නිව්යෝර්ක් ටයිම්ස්හි දකුණු ආසියා කලාපීය වාර්තාකාරිනියක් වන මාරියා අබි හබීබ් විසිනි. ඇය මීට පෙර වෝල් ස්ට්‍රිට් ජර්නල්හි මැද පෙරදිග වාර්තාකාරිනිය ලෙස කටයුතු කළාය. ඇය විශේෂයෙන් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් ලෙස පිළිගැනීමක් ඇතිකරගෙන සිටියි.

අන්තර්ජාලයේ ඇති ඇතැම් සටහන් මඟින් හෙළි වන්නේ මෙම මාධ්‍යවේදිනිය පසුගිය අප්‍රේල් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ කොළඹ ගාලු මෝදර හෝටලයේ රැඳී සිටිමින් විමර්ශන කටයුතු සිදු කළ බවයි. රජයේ නිලධාරීන්, ප්‍රබල දේශපාලනඥයන් ඇතුළු බොහෝ දෙනා මුන ගැසුණු බවයි. ලිපිය පළකොට ඇත්තේ එලෙස ලබාගත් තොරතුරු පදනම් කර ගනිමින් බව පැහැදිලිය.

මෙම ලිපියේ ප්‍රධාන ප්‍රශ්නය ලෙස මතු කරන්නේ චයිනා හාබර් සමාගමෙන් මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ කණ්ඩායමේ උදවිය මුදල් ලබාගැනීම නොවේ. එම ලිපියේ හරය වන්නේ චීනය රටවල් හා රාජ්‍ය නායකයන් ග්‍රහණයට ගන්නා ආකාරයයි. එය මේ වනවිට ලෝකයේ විශාල ලෙස සාකච්ඡාවට ලක්වන කාරණයෙකි.

වසර කිහිපයකට පෙර හදවත් සැත්කමකට මුහුණදුන් මෙම ලියුම්කරු ඉන්පසුව ඇතිවූ සංකූලතාවකට ප්‍රතිකාර ගනිමින් රෝහල් ගතව සිටියදී සුවදුක් විමසු මහාචාර්ය රොහාන් සමරජීව මහතාගෙන් ඉල්ලීමක් කළේ රෝහලේ සිටියදී කියවීමට වැදගත් ලිපි හෝ පොත් ඇතොත් ලබාදෙන ලෙසයි. එවිට සමරජීව මහතා පැමිණියේ ලිපි රාශියක් හා පොත් දෙකක් රැගෙනය. ඉන් එකක මාතෘකාව වූයේ ‘බෙයිජින් කොන්සස්නස්’ නැතහොත් ‘බෙයිජින් සම්මුතිය’ යන්නයි. එහි සඳහන් වූයේ චීනය ලොව පුරා විවිධ රටවල් තම ග්‍රහණයට ගනිමින් සිටින ආකාරයයි.

මීට වසර ගණනාවකට පෙර ලෝකයේ ප්‍රධාන රටවල් එක්ව ගිවිසගත් ‘වොෂින්ටන් සම්මුතිය’ අවසන්ව ඇති බව පෙන්වා දුන් එම පොතෙහි තර්කය වූයේ ලෝකය දැන් ‘බෙයිජින් සම්මුතිය’ යන තත්ත්වයකට ගමන් කරමින් තිබෙන බවයි. එහි ඇති බිහිසුණුකම ලෙස පොතේ සඳහන් වූයේ එය අසාර්ථක වීමට නොව සාර්ථකවීමට ඉඩ තිබෙන බවයි. එහි ප්‍රධාන තර්කයක් වූයේ තුන්වන ලෝකයේ දූෂිත පාලකයන්ට චීන ණය ඉතාම ආකර්ෂණීය වන බවයි. එයට පළමුවන හේතුව නම් ඉක්මනින් ලබාගත හැකිවීමය.

කොන්දේසි විරහිත ණය

තුන්වන ලෝකයේ රටවලට ණය හා ආධාර දෙන රටවල් සහ බහු පාර්ශ්වික ආයතන ණය දීමට පෙර ශක්‍යතා අධ්‍යයනයක් කිරීම අනිවාර්යයෙන් කරනු ලබන්නකි. ඒ සඳහා කාලයක් ගතවෙයි. එමෙන්ම පාරිසරික හා වෙනත් එබඳු සාධකද සැලකිල්ලට ගනු ලබයි. මේ සියලුම ඇගයීම් කටයුතු සඳහා කාලයක් ගතවෙයි. ඇතැම්විට වසර තුන හතරකි.

චීනය ණය දීමේදී මෙබඳු පූර්ව කොන්දේසි ගැන එතරම් සලකා බලන්නේ නැත. ගැඹුරින් හාරා බලන්නේ නැත. තමන්ගේ ණය කොන්දේසිවලට එකඟ නම් මාස ගණනක් තුළ ණය අනුමත කරයි. එය තුන්වන ලෝකයේ රටවල පාලකයන්ට ඉතාම ආකර්ෂණීයයි.

අනෙක් කරුණ නම් ආධාර දෙන ආයතන කටයුතු කරන්නේ විනිවිදභාවය තහවුරු වන ආකාරයටය. කොන්ත්‍රාත් දෙන්නේ තරගකාරී ලංසු ක්‍රමයක් අනුවය. එමෙන්ම ඔවුන් දෙන මුදල් වියදම් කළ යුත්තේද විනිවිදභාවයකින් යුතුවය.

චීන ණය දීමේදී මෙම විනිවිදභාවය අවශ්‍ය නැත. කොන්ත්‍රාත්තුව චීන සමාගමකට දීම කොන්දේසියකි. චීනයේ සමාගම් කිහිපයක් අතරින් එකක් තෝරාගැනීමේ අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම චීන සමාගම් අත යට ගනුදෙනු ලබාදීම් ගැනද ප්‍රකටය. මහින්ද කණ්ඩායමට මුදල් දුන් බව කියන චයිනා හාබර් සමාගම බංගලිදේශයේ එබඳුම අල්ලසක් දීමට ගොස් මුදලුත් සමඟ අල්ලාගෙන එරටින් නෙරපා දමා ඇත. පිලිපීනයේ ලෝක බැංකු ව්‍යාපෘතියක එබඳුම අගනා ක්‍රියාවක් නිසා වසර අටක තහනමකට ලක්වූ බව වාර්තාවී ඇත. වෙනත් සමාගම් සම්බන්ධයෙන්ද තත්ත්වය එයමය.

චීනය කොන්ත්‍රාත් කරද්දී අඩු මිලට කරන්නේ නැත. වැඩි මිලට කරන තරමට දූෂිත දේශපාලනඥයන්ට වාසිය. කොමිස් මුදල තීරණය වන්නේ වියදම අනුවය. රටට කෙලවෙන්නට ඉඩදී පාලකයන්ට ධනවතුන් වීමේ අවස්ථාව එයින් හිමි වෙයි.

දූෂිත පාලකයන්ට ආකර්ෂණීය වුවද චීනය රටවලට ණය දෙන්නේ ඉහළ පොලියකටය. දැඩි කොන්දේසි යටතේය. ඒ රටවල චීනය ඉදිරියේ දරා ගන්නට සිද්ධ වෙන්නේ ණය ගෙවා ගන්න බැරිවන විටය. චීනුන්ට අවශ්‍ය ද ඒකය. චීනා කරන්නේ රට ණය උගුලක සිරකොට තමන්ගේ අණසකට යටත් කර ගැනීමයි. දූෂිත පාලකයන්ට අල්ලස් දෙන්නේ ඒකටය.

හම්බන්තොට වරාය සඳහා දුන් ණය මෙයට කදිම උදාහරණයකි. පළමු අදියරේ ඩොලර් මිලියන 306කි. දෙවන, තෙවන අදියර සඳහා ඩොලර් මිලියන 757කි. එකතුව ඩොලර් මිලියන 1063කි. පොලිය සියයට 6.3කි. ණය සහන කාලය වසරකි. වසර එකොළහකදී ගෙවා නිමකළ යුතුය. වසරකදී වාරිකදෙක බැගිනි.

ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව චීනුන්ටම දිය යුතුය. සේවකයන්, යන්ත්‍ර සූත්‍ර ආදිය සියල්ල එරටිනි. ඒ කියන්නේ චීනය ණයට දුන් මුදල් ආපසු එරටටම යන බවයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරය ගැනද තත්ත්වය එයමය. ණය මුදල ඩොලර් මිලියන 1300කි. පොලිය සියයට 4කි. බලාගාරය සම්පූර්ණයෙන් චීනයෙනි. ඉන් පසුවද සියලු අමතර කොටස් මෙන්ම සැපයුම්ද චීනයෙන් ලබාගත යුතුය.

චීන ග්‍රහණයෙන් ගැලවීම

අපේ පාලකයන් විවිධ බයිලා කියමින් චීනයෙන් මේ ණය ගත්තේ එය උන්ට වාසිදායක නිසාය. රටම කෙලවෙනබව ඔවුන් නොදැන සිටියා විය නොහැකිය. කල්පනා කළේ රටට මොනවා වුණත් අපේ හොද්ද බොරවෙනවා කියාය. මේ ආණ්ඩුවද චීනයෙන් තවත් ණයට ගන්නා බව ඇත්තකි. එහෙත් ඒ සඳහා පොලිය අඩුකරගෙන කොන්දේසි ලිහිල් කරගෙන ඇත. අනෙක් අතට ආණ්ඩුව යටිතල පහසුකම් සංවර්ධනයට වෙනත් රටවලින් හා ජාත්‍යන්තර සංවිධානවලින් ණය ලබා ගැනීමට කටයුතු කොට ඇත. එසේ කර ඇත්තේ චීනයේ ග්‍රහණයෙන් මිදෙන්නටය. මේ වසරේ මුල් මාස හතර ගත්විට වැඩිම ණය හා ආධාර ලැබී ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. ලැබී තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 228.85කි. එයට අමතරව ඩොලර් මිලියන 0.74ක ප්‍රදානයක්ද ලැබී ඇත.

මෙම කාලයේ චීනයෙන් ලැබී ඇති මුදල ඩොලර් මිලියන 90.83කි. ජපානයෙන් ඩොලර් මිලියන 54.9ක් ලබාගෙන ඇත. ලෝක බැංකුවෙන් මිලියන 48.83කි. මෙයින් පෙනෙන්නේ මෙම රජය ණය සඳහා එක රටක් මත රැඳී නොසිටින බවයි. රටේ ස්වෛරීබව රැකගත හැක්කේ එවිටය. එසේ නොකළේ නම් සිදුවන්නේ චීනය කියන විදිහට නටන්නටය.

ණය ගන්නා කොන්දේසි ගැනද කිව යුතුය. ආසියානු සංවර්ධන බැංකුවේ ණය ලබාදී ඇත්තේ සියයට එකකට අඩු පොලියටය. ගෙවීම් කාලය අවුරුදු හතළිහ තරම්ය.

කොළඹ කොටුවේ සිට මාලබේ දක්වා ඉදිවන සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතියට විශාල ණය මුදලක් ලැබී ඇත.එනම් බිලියන 1.7කි. ණය මුදල ලබාදී ඇත්තේ ජපානයේ ජයිකා ආයතනයයි. පොලිය සියයට එකකි. ණය නොගෙවා සිටිය හැකි සහන කාලය වසර දොළහකි. ණය ගෙවිය යුත්තේ තවත් වසර හතළිහකිනි. චීනයේ හා ජපානයේ ණය කොන්දේසි එහෙමය. වෙනත් විදිහකට කිව්වොත් මහින්දගේ ණය හා රනිල්ගේ ණය අතර වෙනස ඒකය. මහින්දගේ ණය රටට බරකි. රට පාවාදීමකි. රනිල්ගේ ණය රටට බරක් නැත. එයින් රටේ ස්වෛරීබවද රැකේ. දෙකේ වෙනස ඒකයි.

නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාවෙහි මෙන්ම අනෙක් සියලු වාර්තාවලින්ද හෙළිවන්නේ දූෂිත පාලකයන් රට පාවාදෙමින් හා රටේ ස්වෛරීභාවය අනතුරේ හෙළමින් තමන්ගේ මඩිය තර කරගත් ආකාරයයි. මෙබඳු රට පාවා දෙන්නන්ට නැවත ඉඩ නොතැබීමට ජනතාව වග බලා ගත යුතුව ඇත.

සී.ජේ. අමරතුංග

අදහස් 1ක් ඇත

ape rate thanakola kana gon wasso innakan ape rata kawadawath hadanna bahe.e ken proyojana ganne ratata adarayak nathi kalakanni desha palakayo .

නව අදහස දක්වන්න