රජරට පොළොව තෙමා ගොවිජන කඳුළු පිසින මොරගහකන්ද කළු ගඟ දියවර | දිනමිණ

රජරට පොළොව තෙමා ගොවිජන කඳුළු පිසින මොරගහකන්ද කළු ගඟ දියවර

කඩිනම් මහවැලි යෝජනා ක්‍රමය යටතේ මෙරට ඉදිවන අවසන් මහවැලි යෝජනා ක්‍රමය වන මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ අවසන් අදියර මේ වන විට ක්‍රියාත්මකය.

රටේ ගොවි ජනතාවගේ සෝ සුසුම් නිවාලන මෙරට ඉදිවන දැවැන්ත වාරි වික්‍රමය ලෙස හැඳින්විය හැකි මොරගහකන්ද - කළු ගඟ වාරි ව්‍යාපෘතියේ කළුගඟ ජලාශයේ දියවර රැඳවුම් මංගල්‍යය විවෘත කිරීම ලබන 23 වන සඳුදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකිරීමට නියමිතය.

කුවෙයිට් සංවර්ධන අරමුදල යටතේ රුපියල් මිලියන 4883.03ක් හෙවත් අමෙරිකානු ඩොලර් මිලියන 33.13ක් හා සෞදි සංවර්ධන අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 46ක් සහ ඔපෙක් ජාත්‍යන්තර අරමුදල මගින් අමෙරිකානු ඩොලර් මිලියන 16ක් මෙම දැවැන්ත ව්‍යාපෘතියට අයෝජනය කර තිබේ.

ඒ අනුව සමස්ත මොරගහකන්ද - කළු ගඟ වාරි ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරෙන මුදල් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් 1207.5ක් හෙවත් රුපියල් කෝටි 18100කි.

මීට අමතරව දේශීය අරමුදල් ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 16.52ක් ද කළු ගඟ ව්‍යාපෘතිය වෙනුවෙන් යොදවා ඇත.

2016 ජුලි මස 25 දින කළු ගඟ ජලාශ වේල්ල ඉදිකිරීම් ආරම්භ වූ අතර වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් වේල්ලේ නිධන් වස්තු තැන්පත් කිරීම සිදුකෙරිණි.

අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වෙත ඝෘජු ප්‍රතිලාභ හිමිවන මේ දැවැන්ත ව්‍යාපෘතිය හේතුවෙන් ජාතික විදුලි බලපද්ධතියට එක්වන විදුලි බල ධාරිතාව මෙගා වොට් 25කි.

අඹන් ගඟ හරස් කර ඉදිකරන ලද මොරගහකන්ද ජලාශයට ජලය සැපයෙන අතිරේක ව්‍යාපෘතියක් ලෙස කළු ගඟ ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

ඉතිහාසයේ නකල්ස් කඳු පංතිය මඟින් නිදහසේ ගලා ගිය මහා ජල කඳ මුහුදට ගලා ගියේ වරෙක ප්‍රචණ්ඩත්වය ද පතුරවමිනි.

සෝමාවති පුදබිම ද ජලයෙන් යටකරමින් බොහෝ පිරිසකට පල ප්‍රයෝජනයක් නො දී මහ මුහුදට ගලා ගිය මේ සුවිසල් ජල කඳ අද වන විට මොරගහකන්ද ජලාශයේ රඳවා තිබේ.

ඝන මීටර් මිලියන 248ක ජල ධාරිතාවක් රැඳවිය හැකි කළුගඟ ජලාශය වේලි දෙකකින් සමන්විතය. එහි ගල් පිරවු වේල්ල උසින් මීටර් 66ක් වන අතර දිගින් මීටර් 568කි.

සැදැලි වේල්ලේ උස මීටර් 28කි. එහි දිග මීටර් 719කි.

මොරගහකන්ද ජලාශයේ සිට කළු ගඟ ජලාශය සම්බන්ධ කරවන උමං සහිත ඇළ මාර්ගය ද මෙම ව්‍යාපෘතියේ තවත් විස්මිත නිර්මාණයකි. දිගින් කිලෝමීටර් 7යි දශම 85 කින් යුතු එහි නිර්මාණය විස්මයජනකය. ඊට අමතරව දිගින් මීටර් 472කින් යුතු ඇළ මාර්ගයක් ද ජල සැපයුම් මාර්ගයේ පවතියි. තත්ත්පරයට ඝන මීටර් 35ක වේගයකින් කළුගඟ ජලාශයේ ජලය මොරගහකන්දට ගමන් කරනු ලබයි. මෙම වාරි ව්‍යාපෘතියේ සම්පූර්ණ ධාරිතාව අක්කර අඩි 660, 000කි.

එනම් පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාව මෙන් 6 ගුණයකින් විශාල මහා ජල ප්‍රමාණයකි. ඉහළ ඇළහැර ඇළ ඔස්සේ මහාකනදරාව තෙක් කිලෝමීටර් 94ක දුරකින් යුතු ඇළ මාර්ගයක් හරහා මොරගහකන්දේ ජලය රැගෙන යාමට නියමිතය.

මෙම ඇළ මාර්ගයට කිලෝමීටර් 26ක උමං මාර්ගයක්ද ඉදිකෙරේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ දත්තයන්ට අනුව මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ ඉහළ ඇළහැර ඇළ ව්‍යාපෘතිය යටතේ වැව් 1200ක්, වයඹ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වැව් 303ක්, මැදිරිගිරිය සංවර්ධන ප්‍රදේශය තුළ වැවි 32ක්, ලග්ගල සංවර්ධන ප්‍රදේශය තුළ වැවි 16ක් ඉදිවීමට නියමිතය.

වාරි ව්‍යාපෘතිය හරහා හෙක්ටයාර් 82000ක් සඳහා යල මහ දෙකන්නයේ ජලය සැපයීමට හැකිවීම මෙම ව්‍යාපෘතියේ පවතින විශේෂත්වයකි.

මීට අමතරව ජලාශයේ අපේක්ෂිත මිරිදිය නිෂ්පාදන හැකියාව ටොන් 3000කි. එම අස්වැන්නේ වටිනාකම රුපියල් මිලයන 225කි. පාරිසරික වාර්තාවන්ට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් අහිමි වන වන සම්පත නැවත ස්ථාපිත කිරීම සඳහා මොරගහකන්ද ජලාධාර ප්‍රදේශයන්හි ගංඟා ඇළ දොළ රක්ෂිතවල හෙක්ටයාර් 1365ක නැවත වන වගා සිදුකර තිබේ.

ස්වාභාවික ජලය නකල්ස් කඳු පංතියෙන් පහළට ගලා ගියේ යම්සේ ද අද වන විට කළු ගඟත් අඹන් ගඟත් යාකර ඉදිවු මොරගහකන්ද මහා වාරි වික්‍රමයේ තවත් සුවිශේෂී අවස්ථාවකට පැමිණ තිබේ.

එහෙව් පසුබිමක ‘ පරපුරක් නොදුටු සිහිනය ’ වූ මොරගහ කන්ද වාරි වික්‍රමය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ තවත් සිහිනයක් සැබෑවීමකි. වසර ගණනාවක සිට අනේක විද දුක්ඛ දෝමනස්සයන් හමුවේ ඉරි තැලී ගිය මහපොළොව දෙස බලා හිල්ලූ ගොවි ජනතාවගේ කඳුළු කතාව නිමාකරන්නට ජනාධිපතිතුමන්ට හැකිවීම සමස්ත ගොවි ජනතාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. එවැනි පසුබිමක මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ දිය රැඳවුම සැබැවින්ම විස්මයජනකය.

අයි.ඒ. කුමාර - නාඋල සමූහ

නව අදහස දක්වන්න