ලූෂන්ගේ වෙස් මූණු ගැල­වීමේ කලාව | දිනමිණ

ලූෂන්ගේ වෙස් මූණු ගැල­වීමේ කලාව

ලූෂන් බුල­ත්සිං­හල

ලූෂන් බුලත්සිංහල නාට්‍යවේදියාගේ නිර්මාණාවතරණය සිදුවන්නේ හැටේ දශකයේ දී ය.1963 දී මන්නඩියා නාට්‍යය නිෂ්පාදනය කළ ඔහු, 1966 දී රතු හැට්ටකාරී ද, 1981 දී තාරාවෝ ඉගිලෙති ද නිෂ්පාදනය කරමින් ශ්‍රී ලාංකේය නාට්‍ය වංශ කතාවේ නිෂ්පාදක නාමාවලියෙහි සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදියෙකි. මෙහි සඳහන් නාට්‍ය අතරින් ද, රතු හැට්ටකාරී හා තාරාවෝ ඉගිලෙති නිර්මාණ වෙසෙසින් කැපී පෙනෙන්නේ, ස්වතන්ත්‍ර රචනයෙහි දී මෙන්ම අනුවර්තන රචනය හා නිෂ්පාදනයෙහි ද ලූෂන්ගේ ප්‍රතිභාව කැපී පෙනෙන බැවිනි.

සංගීතමය නාට්‍ය ගණයෙහි ලා සැලකිය හැකි නාට්‍ය නිෂ්පාදනයට රුචියක් දක්වන, ඔහුගේ නාට්‍ය කලාවේ අපූරු නිෂ්පාදනය වන්නේ 1981 දී ඔහු විසින් අනුවර්තනය කොට නිෂ්පාදනය කරන ලද, රෝම නාට්‍යකරු, ප්ලෝටස්ගේ මිනැක්මයි හෙවත් නිවුන් සොහොයුරෝ නම් , නාට්‍යයේ අනුවර්තිත නිෂ්පාදනය වූ තාරාවෝ ඉගිලෙති නිර්මාණයයි. සංගීතමය නාට්‍යයක තිබිය යුතු මූලික ගුණාංග මනාව රඳවා ගනිමින් නිෂ්පාදිත තාරාවෝ දශක තුනක් ගෙවුණු තන්හි ද ප්‍රේක්ෂක මතකයෙන් බැහැරට නොගොස් පැවතීම ඊට අපූරු සාක්ෂිය වේ. රතු හැට්ටකාරී ස්වතන්ත්‍ර රචනයෙහි දී වුව ඔහු විසින් රචිත ගීතාවලිය ප්‍රේක්ෂක, රසික මතකයෙහි රැඳී ඇති නිර්මාණ බව අපි දනිමු. 1981 දී තාරාවෝ නිර්මාණය කළ ලූෂන් බුලත්සිංහල නම් වූ වේදිකා නාට්‍යකරුවාට කුමක් සිදු වී ද?

දශක තුනකටත් වඩා වැඩි දිගු නිහඬතාවකින් පසු, 2018 මැද භාගයේ දී ලූෂන්ගේ පුනරාගමනය සිදුවන්නේ වෙස්මූණු ගලවන්න නම්, සංගීතමය රංග කාර්යය සමඟය. දශක තුනකට පසුව ප්‍රේක්ෂකයන් අමතන ලූෂන්ගේ නාට්‍ය කලාවේ ඔහුගේ නැවත පැමිණීමක් ද , ආපසු ගමනක් ද, යන ප්‍රශ්න පොදුජන ප්‍රෙක්ෂකයන් සිත්හි පැන නගින්නේ රතුහැට්ටකාරී හෝ විශේෂයෙන්ම තාරාවෝ වැනි ඔහුගේ පෙර දින රංග කාර්යයක මිහිරි මතක සමඟය. එහෙත් එවැනි සංසන්දනයක් මගින් වෙස් මූණ ගලවන්න දෙස බැලීම කෙතරම් යුක්තියුක්ත ද කියා අපට සිතේ.

එවැනි සංසන්දනයක් හමුවේ ලූෂන්ගේ වෙස් මූණ ගලවන්න, කොහෙත්ම තාරාවෝ ඉගිලෙති අතික්‍රමණය නොකරන බවයි අපගේ හැඟීම. එබැවින් දශක දශක හතරකට පෙර ලියැවුණු රතු හැට්ටකාරීට එසේ ඉන්නට ඉඩ හැර, දශක තුනකටත් පෙර නිමැ වූ තාරාවන්ට ඉගිලෙන්නට ඉඩ හැර මෙදා අප නැරඹූ වෙස් මූණ ගලවන්න රංග කාර්යයේ දී ලූෂන් සිටින්නේ කුමන ස්ථානයක ද යන්න විමසීම වඩාත් සාධාරණ බවයි අපගේ විශ්වාසය. වෙස් මූණ ගලවන්න නාටකීය පුවත ඔහු කරළියේ දිග හරින්නේ මෑත කාලීන දේශපාලන සංසිද්ධීන්ද නවීන සමාජ දේශපාලන සංසිද්ධීන් ද ගළපන්නට උත්සාහ ගනිමිනි.

1974 දී රතු හැට්ටකාරීහි අපට හමු වූ සාලිය අසෝකමාලා වෙස් මුහුණ ගලවන්න හි දී හමු වෙතත්, අප එදා දුටු සාලිය අසෝකමාලා ලෙස නොවේ මෙදා ඒ දෙදෙනා ලූෂන් විසින් ප්‍රතිනිර්මාණය කොට ඇත්තේ. ඔහු ඉතිහාස කතාව නවීන දේශපාලන සංසිද්ධියට ගළැපෙන අයුරින් වෙනස් කොට ගනී. වෙස් මූණ ගලවන්න හි දී ප්‍රේක්ෂකයන් සාලිය නම් රජ කුමරා හෝ අසෝකමාලා නම් සැඬොල් තරුණිය නොදකී. ඒ වෙනුවට නව ආර්ථිකය විසින් බිහිකොට ඇති ව්‍යාපාර පංතියක් නියෝජනය කරන තරුණ පුත්‍රයකු හා, තිස් වසරකට වඩා මෙරට ජනජීවිතය කෙරෙහි අප්‍රමාණ අහිතකාරී බලපෑමක් කළ කුරිරු යුද්ධයේ ගොදුරක් බවට පත් වූ වෙස් වළාගත් කොටි සෙබළියක අපට පෙනේ. ( සාලිය කාලවර්ණ හා අශෝකමාලා ). එදා අසෝක මල් වනයේ මල් නෙළමින් සිටි මාලා මෙදා වේදිකාවේ දී අප දකින්නේ කොළඹ කැරොකෙ රාත්‍රි සමාජ ශාලාවක ගී ගයන්නියක ලෙසිනි. ඔවුන් දෙදෙනා ප්‍රධාන කොට ගත් ඉතිහාස කතාව හෝ පුරාණෝක්ති කතාව වෙනුවට, කුරිරු යුද්ධයේ අවසාන අවස්ථා, යුද්ධය දිනාගැනීමෙන් පසු විනාශ වී ගිය උතුරේ ජනජීවිතය හා අද දවසේත් අමිහිරි මතක හා අවාසනාවන්ත චරිත බවට පත් වූ අපේම සහෝදර ජනතාවගේ මුහුණුය. නිෂ්පාදක ලූෂන්, ඔවුන්ගේ මුහුණු වෙස්මුහුණුවලින් ආවරණය කොට අප හමුවට රැගෙන එයි.

ඒ වෙස් මුහුණු එකින් එක ගැලවීම සඳහා, ඔහු වර්තමාන ජනජීවිතයේ දී අප ජීවත්වන සමාජය, එහි අඳුරු තැන් දෙස අපෙ අවධානය යොමු කරවීමට උත්සාහ ගනී. මේ සඳහා සාලියගේ ව්‍යපාරික, වැන්දඹු පියා ගාමිණී කාලවර්ණ , සාලියගේ නැගණිය අනෝජා කාලවර්ණ, හා ඔවුන්ගේ පවුලේ රථාචාර්ය නන්දිමිත්‍ර, සාලියගේ මිත්‍රයා, සුකුමාර සංජේ ( අමාත්‍යවරයකුගේ පුතෙක් ) මංගල කපුආරච්චි, අශෝකමාලාගේ මව, දොස්තර සිවනන්දන් යන ප්‍රධාන චරිත ගොඩනඟමින් මෙරට ජාතික සමගිය සංහිඳියාව දෙදරා ගිය අයුරු රංග කාර්යයක් ලෙසින් කීමට උත්සාහ ගනී. මූලික කතා පුවත නගරයේ කරොකෙ සමාජ ශාලාව තුළ ගලා යෑමට සැලැස්වූව ද, නිෂ්පාදකයා විසින් වරින් වර, ප්‍රධාන චරිත ජීවත්වන උතුරේ හා දකුණේ නිවෙස් කරා ද ප්‍රේක්ෂකයා රැගෙන යන්නේ ඔවුන්ගේ සැබෑ ජීවිත හෙළිදරව්කිරීමේ අරමුණිනි. මක් නිසාද යත්, ඉහත කී සියලු ප්‍රධාන චරිත තුළ ජීවත්වන සැබෑ ගහැනුන්, මිනිසුන් හඳුනාගැනීම සඳහා ඔවුන් පැලඳ සිටින වෙස් මූණු ගැලවීම අවශ්‍ය බැවිනි. නාට්‍යයේ ප්‍රථම භාගය පුර සිදුවන්නේ සාලිය අසෝකමාලා පෙම් සබඳතාව තුළින් අසෝකමාලා යනු කිනම් ගැහැනියක් ද , ඇගේ ප්‍රේමය පතන සාලියගේ චරිතයේ ඇතුළාන්තය, මේ පෙම් සබඳතාව අතරමැද ඔවුන් එක් කිරීමේ මෙහෙයුමෙහි සිටින සාලියගේ මිතුරා, සාලියගේ පියාට ගෙනෙන විවාහ යෝජනාව ආදී සිදුවීම් මාලවක නාටකීය අවස්ථාය. මෙහි දී මෙම චරිත මුහුණ දෙන අවස්ථා හා ඔවුන්ගේ චරිත නිරූපණය වන විලාසය පිළිබඳ ප්‍රේක්ෂක මනැසෙහි සැකයක්, සාංකාවක් , ඇතිවන්නේ යැයි හැඟේ. එහෙත් නාට්‍යය යනු සත්‍යයය හා මායාව අතර සිදුවන්නක් යැයි ඒත්තු ගැන්වීමට මෙන් නාට්‍ය රචකයා විසින්ම එය ප්‍රේක්ෂකයන්ට සිහිපත් කර දෙනු පෙනේ.

“මේ ඉර හඳ යට ඕනෙම දෙයක් වෙන්නට පුළුවන්

බැරිකමක් නැති නිසා නොවන්නට

මේ ඉර හඳ යට ඕනෙම දෙයක් වන්නට පුළුවන්...“

නාට්‍ය නිෂ්පාදක විසින් නිර්මාණය කොට ඇති වෙස් මුහුණු පැලඳි චරිත වන අශෝකමාලා, නන්දිමිත්‍ර, සිවනන්දන් ආදීන් ගේ හැසිරීම් මෙන්ම ඔවුන්ගේ චරිත ගොඩනඟන ආකාරය, මුහුණ දෙන ඇතැම් සංකීර්ණ අවස්ථා විශ්වසනීයත්වයෙන් ඈත යයි ප්‍රේක්ෂකයන්ට සිතෙන අවස්ථා පෙනේ. ගාමිණී කාලවර්ණට මංගල කපුආරච්චි විසින් මංගල යෝජනා ගෙනෙන ජවනිකාව එක් නිදසුනකි. එනිසාමද රචකයා ඉදිරියට විත් පවසන්නේ “මේ ඉර හඳ යට ඕනෑම දෙයක් වෙන්නට පුළුවන්“ කියා? එහෙත් රචකයා එසේ කී පමණින් ප්‍රේක්ෂකයාට එය කොතෙක් දුරට පිළිගත හැකි ද යන්න ප්‍රශ්නයකි.

වෙස්මූණ ගලවන්න නාට්‍ය රචනයෙහි දී ලූෂන් විසින් තේමා කොටගත් විෂයයෙහි ඇති කාලීන බව, ඒ පිළිබඳ රචකයාගේ මානවීය දෘෂ්ටිය අගය කළ යුතු වේ. පශ්චාත් යුද සමය පසුබිම් කොට ගත් සිදුවීම් මාලාවක්, ඉතිහාසය හා නවීන සමාජ, දේශපාලන හා ආර්ථික වෙනස්වීම්වලට මුහුණ දුන් සමාජය නියෝජනය කරනු ලබන චරිත හා ගැටෙන්නට සලස්වා, ජාතීන් අතර අනිවාර්යයෙන් තිබිය යුතු වූ එකිනෙකාට ආදරය කිරීමේ අවශ්‍යතාව, සංහිඳියාව, සහෝදරත්වය වැනි මානව ධර්මතා පිළිබඳ සිතන්නැයි කරනු ලබන ආයාචනයට අප කැමතිය. එහෙත් ඇතැම් අවස්ථාවක, නාට්‍යයේ තේමාව, අන්තර්ගතය ඔස්සේ එය මතුවන්නට ඉඩ දෙනු වෙනුවට, රචකයා ඉදිරියට විත් සෘජු ප්‍රකාශ කරන්නේ ද කියා හැඟුණු බව කිව යුතුය. නාට්‍යය ආරම්භයේ දී ම අශෝකමාලා ගේ ගී මගින් අපට ඇසෙන්නේ කොටි සෙබළියකගේ හඬට වඩා ලූෂන් බුලත්සිංහලගේ හඬම නොවේද කියා සිතුණි.

කුලභේද නැති කරන යෝජනා

කෝල්බෲක් කොමිසම ගෙනාවම

සිංහල්ලු දෙමෙල්ලු දෙගොල්ලොම

විරුද්ධ වුණාලු එක හඬින්

අඩු කුලේ සිංහල්ලු දෙමෙල්ලු ඇණකොටා ගන්නේ

ඉහළ කුලේ අය අදත් එකටයි ඉන්නේ

පණස් හයේ ඉඳන් පණස් අට වෙන කල්

දෙමෙල්ලුන්ට ගැහුවලු - දෙමෙල්ලු මැරුවලු

පන්නා දැම්මලු

මන් දැක්කා ඒ ටිකම අසූ තුනේදී

මගේම ඇස්දෙකෙන්

අපිට ගහන කොට සිංහල මැරයෝ

අපිව බේරගත්තා යහපත් සිංහලයෝ..

අශෝකමාලා හෙවත් කොටි සෙබළිය මේ ගයන්නේ ඇගේම හදවතින් නැගෙන පැමිණිල්ල ද, රචක බුලත්සිංහලගේ පණිවුඩය ද? මෙහි දී කලා කෘතියකින් අපේක්ෂා කෙරෙන අපූර්ව ගුණය , නාට්‍යොචිත භාෂා භාවිතය අබිබවා ප්‍රචාරාත්මක ලක්ෂණ ඉස්මතුවනු පෙනේ. එහෙත් ලූෂන් බුලත්සිංහල යනු, අපූර්ව කාව්‍යමය හා සාහිත්‍යමය ගුණයෙන් යුත් ගීත රචකයා බව යළිත් ඔප්පු කරමින් නිර්මාණය කළ ගී රැසක් වෙස් මූණ ගලවන්න සමඟ අපට ඇසේ. අසෝකමාලා ගේ මේ ගීතය එවැන්නකි.

කුසුමින් කුසුමට යන බඹරෝ

නෑ මගේ අමනාපේ

ඔබ යළි එන දවසේ

මා මෙහි නැති බව දන්නවදෝ

ආදරේ සුසුම් මාරුතේ

මා තනි කෙරුවෝතින්

තරු නෙත් රවා බලයි

සඳපාන උන්මාද වෙයි...

වර්තමාන වේදිකා නාට්‍ය නිෂ්පාදකයා හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වන ප්‍රවීණ නළු නිළියන් සොයා ගැනීමේ දුෂ්කරතාව ලූෂන්ට ද අහිතකර ලෙස බලපා ඇති බව මේ නිෂ්පාදනයෙන් පෙනේ. ටෙලි නාට්‍ය කලාව විසින් ගිලගෙන සිටින ප්‍රවීණයන් වේදිකා රංග කාර්යයකට එක් කර ගැනීම දුෂ්කර අභ්‍යාසයක් බව නොරහසකි. එහි දී සිදුවන්නේ කුමක් ද? අතැම් විට ඉතා හොඳ පිටපතක් වුව ඊට සුදුසු නළුවරණයක් නොවීමෙන් දුර්වල, අසාර්ථක නිෂ්පාදනයක් බවට පත්වීමයි සිදුවන්නේ. වෙස්මුහුණ ගලවන්න මේ ඛෙදවාචකයට මුහුණ දී ඇති නාට්‍යයක් ලෙස දකිමි. ඉෂාරා සෞභාග්‍යා ( අශෝකමාලා ) දිලුෂා ලක්ෂානි ( රංග පූරිකාව ) රඟපෑම් කැපී පෙනෙන අතර, නිමාලි දිල්ශානි ( අනෝජා කාලවර්ණ ) ගේ රංගනය ද උසස් මට්ටමක තිබිණ. සුකුමාර සංජය ( ඉශාන් කුලතිලක ) එශාන් තිලකසේන ( නන්දිමිත්‍ර ) නළු භූමිකා අතර තම චරිත සඳහා සාධාරණය ඉටු කළෝ වූහ. අශෝකමාලාගේ මව ලෙස රඟ පෑ, ජීවන්ති පෙරෙරා ගේ රංගනය වෙසෙසින්ම අගය කළ යුතු එකකි. ( මේ නළු නිළි චරිත 12 වන දා රාත්‍රියේ නැරැඹූ දර්ශනයට අදාළය ) සංගීතමය නාට්‍යයකට උචිත සංගීතය නිර්මාණයෙහි ලා හර්ෂ බුලත්සිංහල ගේ දස්කම් පෙනුණ ද, පටිගත කළ සංගීතය නාට්‍යයට හානි කළා දැයි හැඟිණ. ජෙරෝම් ද සිල්වාගේ රංග වින්‍යාසය අපූර්වය. රංගොචිතය. උපාලි හේරත්ගේ පසුතල හා රංග වස්ත්‍ර නිර්මාණය ( ඉරේෂා ජානකී සමඟ ) නාට්‍යයට ආලෝකයක්ව තිබිණ. වෙස්මුහුණ ගලවන්න මගින් ලූෂන් අපට පවසන පණිවුඩය මෙයයි. “පරාජය කරන්න ලේසියි මිනිස්සුන්ව, ඒත් මිනිස්සුන්ව දිනාගන්න එක නම් හරිම අමාරුයි කියනව. ගෙදර යන ගමන් හිතන්න ඒ ගැනත්. ගලවන්න වෙස්මුහුණ...“ එහෙත් ගෙදර යන ගමන් මා සිතුවේ ලූෂන් පවසන මේ ප්‍රශ්නය පිළිබඳවයි.

කෝටියක් සංවර සීලයෙන් හොබනා

කසාවතින් බැබලී දිලෙනා

බුද්ධ ශ්‍රාවක අපේ හාමුදුරුවනේ

සතුරා මරාගෙන - සිංදු කියාගෙන

නැටුමක් නටලා කිරිබත් කෑවට

පව් නැති බව තෝරාදෙන බණ පදයක්

අපට කියා දෙන්න අපේ හාමුදුරුවනේ...

බුද්ධදාස ගලප්පත්ති

නව අදහස දක්වන්න