"මම මැරුණු ගමන් වැසිකිළි වළේ ඉපදුණා" | දිනමිණ

"මම මැරුණු ගමන් වැසිකිළි වළේ ඉපදුණා"

දිව්‍ය ලෝක සය, සතර අපාය, මෙන්ම මනුෂ්‍ය ලෝකය ද කාම ලෝකයකි. කාම යනු කැමැත්තයි. පංචේන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තයි.

'ඇස' කැමති දේ දකින්නට කැමතිය. 'කන' කැමති දේ අසන්නට කැමතිය. 'රස' ආහාර ද සුගන්ධය ද ස්පර්ශය ද එසේමය.

මේ සියල්ලටම වඩා සිත බලවත්ය. සිත නිතරම කැමත්තෙන් හිතා ඉන්නේ මීටත් වඩා හොඳ නිවසක් ගැනය. වාහනයක් ගැනය. ඉඩමක් ගැනය. හැම අතින්ම දැනට වඩා තරවන්නටය. මෙය ලෝභයේ අසීමිත හඹා යෑම යැයි කියති.

හිතන පතන පරිදි ලැබුණත් ඊළඟට බලාපොරොත්තු වන්නේ ඊටත් එහා දෙයක් ලබා ගන්නටය. කොයිතරම් ලැබුණත් හිත එයින් තෘප්තිමත් වන්නේ ද නැත.

තමන්ට නොදැනී ක්ෂණයක් පාසා තමන්ගේ ශරීරය වයස් ගතවන බව, ජරාවට පත්වන බව, ලෙඩ දුකට පත්වන මරණාසන්නයට පත්වන බව තමන්ට නොසිතෙයි. එසේ සිතන්නට ද තමන් අකමැති මේ ආශාවන් නිසාය.

වසන්ත කෝටිපති ව්‍යාපාරිකයෙකි. ඔහු ඉතාම උත්සාහයෙන් පියවරෙන් පියවරට දියුණු වූ කෙනෙකි. ඔහු උදේ වෙළඳසලට පැමිණ වාඩි වූ විට දහවලට ආහාරය ගත්තේ එතැනම සිටය. ඒ සුළු ආහාරයකි. සවස ආසනයෙන් නැගිටින්නේ වෙළඳසල වසන විටය. කරන්නේම අලෙවියෙන් ලැබෙන මුදල් ගණන් කොට ලාච්චුවට දමා ගැනීම පමණි.

ඔහුට අයත් බස් රථ තුනක් සතියට දින තුනක් අනුරාධපුරය බලා යන්නේ මගී ප්‍රවාහනයේ යෙදෙන්නටය. කලකට පසු මේ ව්‍යාපාරිකයා අංශබාග රෝගයෙන් පැත්තක් පණ නැතිව රෝද පුටුවක එක් තැන් විය. ඔහු ඉන්පසු ගොත ගසමින් කතා කළේය. “මගේ බස් ඕනෑ තරම් අනුරාධපුරේ ගියා. ඒත් මට අනුරාධපුරේ වැඳගන්න යන්න බැරි වුණානේ.” එම සිතුවිල්ලෙන්ම ඔහු මරණයට පත් විය.

කලවානේ කුලතුංග ද එවැනි ව්‍යාපාරිකයෙකි. ඔහු පනස් හැවිරිදිය. ජයන්ති ඔහුගේ බිරිඳයි. මව සුමනලතාය. පියා මිය ගොස් හය මාසයක් ගතව ඇත. පියා මියගොස් මාසයක පමණ කාලයක සිට නිවෙස තුළ වරින් වර තදබල අසූචි ගඳක් පැතිරෙන්නට විය.

කෙනෙක් වැසිකිළියට ගිය විට ශරීරයේ පිට පැත්ත හූරා නිය පහරින් ලේ බිඳු ගලන්නට වෙයි. නිවසේ පිසින ආහාර ඉතා ඉක්මනින් නරක් වී නානු ගතියකට පත් වෙයි. රාත්‍රියට යමෙක් නිවසේ එහා මෙහා ගමන් කරන ඡායාවක් ඡායාවක් දර්ශනය වෙයි. මේ අතර කුලතුංග කෑම අරුචියෙන් පෙළෙන්නට විය.

ඒ නිසා ඔහුගේ ශරීරය ද කෘෂ වී තිබේ. ශාරීරික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කුලතුංගට සුවයක් නොවීය. අනිකුත් අසාමාන්‍යතාවලට විවිධ වත් පිළිවෙත් ශාන්ති කර්ම සිදු කළත් ඒවායින් ද සහනයක් නොවීය. වෙළඳ ව්‍යාපාරය ද පිරිහෙන්නට විය.

මේ අතර හිතවතෙකුගේ උපදෙස් මත පවුලේ තුන් දෙනාම ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණියහ.

එහිදී ආධ්‍යාත්මීය උපදේශකවරයා මුණගැසුණු ඔවූහු තමන්ට එළැඹ ඇති තත්ත්වය පැහැදිලි කළහ. ගවේෂකවරයා ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කොට ඔවුන්ගේ ශරීර පරීක්ෂා කරන්නට විය.

එවිට සුමනාවතී වෙව්ලා බිම වැටී අඬන්නට වූවාය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. “ කවුද මේ අඬන්නේ?”

“ මම ගුණරත්න”. භුතාත්මය කීවේය. “ කවුද ගුණරත්න කියන්නේ?” “ මේ කුලතුංගගෙ තාත්තා” “ ඉතින් මොකද අඬන්නේ” “ මාව එළවන්න නේද හදන්නේ? ඒකයි අඬන්නේ?” “ එළවනවා නෙමෙයි මේ ගෙන්න ගත්තානේ” “ මට තේරෙනවා. මට තේරෙනවා. මොකට ද ගෙන්නුවේ කියලා.

මේ හැමදේම කළේ මම, ව්‍යාපාර ආරම්භ කරලා, ගෙවල් දොරවල් හදලා, පින්කම් කරලා, දාන මාන දීලා, මේ ඔක්කොම කළේ මම. ඒත් මේ අය මාව පන්නන්න තොවිල් පෙවිල් කළා. මෙතැනට ආවෙත් ඒකට තමයි. මට දැනෙනවා අම්මලා පුතාලා ලේලිලා මොකට ද ආවේ කියලා.” පේ‍්‍රතයා කියාගෙන ගියේය.

දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා පන්සලට හීල් දානයක් පිරිනමා ගුණරත්නගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කොට නැවත එන්නැයි ගවේෂකවරයා ඔවුන්ට උපදෙස් දෙමින් කීවේය.

බෝධි පූජා අවසන් කොට දානය ද පිරිනමා පියාට පින් අනුමෝදන් කොට ඔවූහු නැවත පැමිණියහ. එදින ද සුමනලතා ට භූතාත්මය ආවිශ්ට විය. ගවේෂකවරයා භූතාත්මයෙන් ප්‍රශ්න කළේය. “ කොහොමද බෝධි පූජාවලට ගියාද? පින් අනුමෝදන් වුණාද?” “ මම ගියා මහත්මයා. ඒත් මට පින් දැනුණේ නෑ.” පේ‍්‍රතයා කීවේය. “ ඇයි ඒ?”

“ මට බෝධින් වහන්සේ ළඟට යන්න බැරි වුණා. එතැන ඉන්න අය මට ළඟට යන්න දුන්නේ නෑ. උඹ ළඟ ගඳයි. උඹ ගඳයි. කියලා මට ඇතුළට යන්න දුන්නේ නෑ” “ මොකක්ද ගඳ” “ මම මැරුණු ගමන් ගෙදර වැසිකිළි වළේ උපන්නේ. ශරීරය පුරා අසූචි තැවරිලයි ඉන්නේ. ඒකයි ගඳ” “ ඇයි ඔබට එහෙම වුණේ?” “ මම සල්ලි එකතු කළා. ඒවා මට අරගෙන යන්න බැරි වුණා.

මැරෙන වෙලාවේ ඒ සල්ලි මිටි මතක් වුණා. එනකොටම මම අසූචි වළේ උපන්නා.” පේ‍්‍රතයා කීවේය. “ සල්ලි කොහෙද තියෙන්නේ.” “ අල්මාරියෙ” “ ඒ සල්ලි දෙන්නම්, ගෙනියන්න පුළුවන්ද?” “ බැහැ... බැහැ.... අපේ ලෝකයේ මුදල් ගනුදෙනු කරන්න බෑ.” “ ඉතින් එහෙම නම් සල්ලි ගැන මොකටද හිතන්නේ?’ “ ඒ සල්ලි හිතෙන් අතහැරෙන්නේ නෑ.

හිතේ ඇලිලා වගේ හිත වහගෙන වගේ තියෙන්නේ. ඒකයි පින් නොදැනුණෙත්.” “ සල්ලි පිනට පරිවර්තනය කළේ නැද්ද? ජීවත්ව ඉන්දැද්දී දන් පැන් දුන්නේ නැද්ද?” “ දුන්නා... දුන්නා... දිව්‍ය ලෝකෙ යන්න බලාගෙන පින්කම් කළා. ඒත් මට දිව්‍ය ලෝකයට යන්න බැරි වුණා. අනේ අපරාදෙ මම ඒවාට වියදම් කරපු සල්ලි.”

“ ඔව් ඒ වගේ පින්කම් නොකර සල්ලි ඉතුරු කළා නම් මැරෙන කොට ගෙනියන්න තිබුණා නේද?” “ ම්... ම්.... ම්.... ඒත් බැහැනෙ මහත්තයා.” “ ඔබ දන් දුන්නේ දිව්‍ය ලෝකයේ යන්න හිතාගෙන. දිව්‍ය මාලිගා දිව්‍යාංගනාවෝ ගන්න හිතාගෙන.

ලෝභය මූලික කරගෙන තමයි ඕවා වුණේ. ඔබට එතැනයි වැරදුණේ. දන් දෙන්නේ ලබන්නාගේ හිත සුව යහපත ගැන හිතලයි. ඔබ දන් දීලා තියෙන්නේ කඩේ බිස්නස් කරනවා වාගේ ලාභ ලබන්න. ලාභය කියන්නේ ලෝභය, ලෝභය කියන්නේ අකුසල චෛතසිකයක්.

මෝහ චෛතසිකයෙන් වැඩෙන්නේ මෝඩකම, ලෝභ මෝහ චෛතසිකවලින් සිත කිළිටි වෙනවා. එතකොට යන්නේ අපායට, ඔබ දැන් ගුණරත්න නොවෙයි. ගඳ ගහන පේ‍්‍රතයෙක්. ඒ සල්ලිත් දැන් ඔබේ නොවෙයි. මේ පුතාටයි අයිති.

ඒ සල්ලි පින්වලට පරිවර්තනය කරන්න කැමති නම් කියන්න. එතකොට ඔබට යහපතක් වේවි.” “ ඔව් මහත්තයා ඒ සල්ලිවලින් මට වැඩක් නෑ. මට ඕනෑ මේ වැසිකිළි වළෙන් ගොඩ එන්න ඔබ කියන ඕනෑම දෙයකට. මම කැමතියි මහත්මයා.”

“ එහෙම නම් ඔබේ මුදල්වලින් ඔබේ නිවසේදී සාංඝික දානයක් පිරිනමා ඔබටත් ඔබේ පරම්පරාගත ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්න ඔබේ බිරිඳටත්, පුතාටත්, ලේලියටත් මම නියම කරනවා. ඒ පින් අනුමෝදන් වෙලා හිතන්න ඔබේය මගේය කියා දෙයක් නැති බව, ගුණරත්න දැන් නෑ. දැන් ඉන්නේ පේ‍්‍රතයෙක්.

ඔය පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න නම් මගේ ලේලි, මගේ ව්‍යාපාර, මගේ නිවාස යන අදහස් අත්හරින්න ඕනෑ. නැත්නම් ඔය වැසිකිළි වළෙන් අවුරුදු දහස් ගණනකට ගොඩ එන්න බැහැ.

හොඳට මතක තියාගන්න.” ගවේෂකවරයා පේ‍්‍රතයාට අවවාද දෙමින් කීවේය. ගවේෂකවරයාගේ උපදෙස් අනුව සාංඝික දානය පිරිනැමූ ඔවූහු නැවත ගවේෂකවරයා හමුවට පැමිණියහ.

ඒ වනවිට නිවසේත් වැසිකිළියේත් දුර්ගන්ධය ඉවත්ව ඇති බව ඔවූහු ගවේෂකවරයා හමුවේ පවසා සිටියහ. කුලතුංග ලවා පලතුරු වට්ටියක් ගෙන්වූ ගවේෂකවරයා භූතාත්මය ඊට සම්බන්ධ කර ඔහු අතම අනුරාධපුරයට යැවීය.

(මතුගම-මහින්ද විජේතිලක)


නව අදහස දක්වන්න

Or log in with...