සත්‍ය සහ නිදහස | දිනමිණ

සත්‍ය සහ නිදහස

“සත්‍ය” යන වචන මාත්‍රයේ විවිධ අර්ථයන් අඩංගුය. විශ්වාසය, අවංකභාවය, පාරිශුද්ධිය, හා යහපත් වූ අචල ඇදහිල්ල ඊට ලැබෙන විවිධාකාර අර්ථයන් වේ. “සත්‍ය”වෙනුවෙන් දර්ශනවාදීන් දක්වන අර්ථයන් වෙනස් විය හැකි අතර, ඒගැන තර්ක හා වාද විවාද මේ දක්වා ක්‍රියාකාරීව පවතී.

‘සත්‍ය’ යනු කුමක්ද? සත්‍ය කතා කරන්නේ කවරෙක්ද? සත්‍ය බොරුවෙන් වෙන් කර ගන්නේ කෙසේද? සත්‍ය වසන් කරන්නේ කවරෙක්ද? අනාවරණය වූ හෝ අත්දැකීමෙන් ලද දැනුම ඊට කෙසේ සම්බන්ධ වන්නේද? යනාදී ප්‍රශ්න රාශියක් “සත්‍ය” වටා ඒකරාශී වී තිබෙන පැන වේ.

දෙවියන් වහන්සේ දිව්‍ය අභිමතාර්ථය, සදාකාලයටම ‘සත්‍යතාව’ තුළ රැඳී පවතී. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ එම දිව්‍ය අභිමතාර්ථය මනාව දැන සිටි සේක. ජේසුස් වහන්සේ සිය ශ්‍රාවක පිරිසත් සමඟ ඉගැන්වූ සත්‍ය වන්නේද එම දිව්‍ය සත්‍යතාවයයි. “දෙවියන් වහන්සේගෙන් වූ තැනැත්තේ දෙවියන් වහන්සේගේ වචන අසයි. නුඹලා දෙවියන් වහන්සේගෙන් නොවන බැවින් ඒවා අසන්නේ නැතැ’යි, යුදෙව්වන් සමඟ විවාදයේදී උන්වහන්සේ නොවලහා කී සේක. (ශු.යොහන් 8:47)

සත්‍ය සමඟ අසත්‍ය හෙවත් බොරුවද ආදම් සහ ඒවගේ (මුල් මනුෂ්‍ය යුවළ) කාලයේ පටන් මෙලොව රජයන බව කවුරුත් දනිති. සිරිලක තුළ ජීවත් වන විවිධ ආගම් හා සංස්කෘති දරන මිනිස් පරපුර තුළ සත්‍යට වඩා අසත්‍ය රජයන බව නොරහසකි. රටේ පරිහානියට හා අගාධයට අසත්‍ය කතා කරන අය ගෙන් සිදුවන්නේ ඉමහත් විනාශයකි.

කිසියම් පවුල් ඒකකයක පියා හා මව අතරත්, මව්පියන් හා දරුවන් අතරත් එම දරුවන් එකිනෙකා අතරත් අසත්‍යම කතා කරන්නේ නම් එම පවුලට අත්වන විනාශය සුළුපටු නොවේ. එ ලෙසම අප රටේ ඉහළ පටන් පහළ දක්වා‍ ඇති විවිධ ක්ෂේත්‍රවල නිරතව වැඩ කටයුතු කරන සියලු දෙනාගේ පරම පවිත්‍ර චේතනාව විය යුත්තේ සත්‍යට තැන දී ක්‍රියා කිරීමය. මන්දයත්; ‘බොරුව’ විනාශයට මුල වන බැවිනි.

නුඹලා නුඹලාගේ පිය වූ යක්ෂයාගෙන්ය. නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණාවන් ඉෂ්ට කරන්නට කැමතිය. ඔහු පටන් ගැන්මේ සිට මිනී මරන්නෙක්ය. ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්ය. බොරුවේ පියා ය.(ශු.ජොහන් 8: 44)

ජේසුස් වහන්සේ තමන් හඳුන්වා ගන්නේ ‘සත්‍ය’ ලෙසය. උන්වහන්සේ ‘සත්‍ය’ වන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයට අධිකාරය ලබා දී ඇති නිසා ය. ඒවා සත්‍ය හා ජීවනය වේ.(ශු.ජොහන් 6:63)

සත්‍යට කීකරු වන ජීවිතයක් විශ්වාසවන්ත සහ සත්‍යගරුක ජීවිතයක් වේ. සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන බව ශුද්ධ බයිබලයේ හිතෝපදේශ පොතේ සඳහන් වේ. (හිතෝපදේශ 12:17). එබැවින් මෙලොව ජීවත්වන තුරා අසත්‍යට පිටුපා මුළු සිරිලක පුරා ‘සත්‍ය’ රජ කරවන්නට සැලැස්වීම අප හැමගේම පරම යුතුකමෙකි.

“නුඹලා සැබෑව දැනගන්නවා ඇත. සැබෑවද නුඹලා නිදහස් කරන්නේ යයි කී සේක”. (ශු.යොහන් 8:32)

සිරිමල් ජයලත් ද සිල්වා පියනම

නව අදහස දක්වන්න