අත්හැරෙන දීගේ හෙවණැල්ල ඇද වීම | දිනමිණ

අත්හැරෙන දීගේ හෙවණැල්ල ඇද වීම

තරුණියකගේ කේන්දරයේ කුජ හා ශනි යන ග්‍රහයන් දෙදෙනා එකම කොටුවක සටහන්ව තිබුණොත් බොහෝ ජ්‍යොතීෂවේදීන් කියා සි‍ටින්නේ විවාහය නරක බවය. එහෙත් මෙය මිථ්‍යාවකි. කුජ-ශනි යෝගයට බිය විය යුතු නැත. මෙය කණවැන්දුම් යෝගයක්ද නොවේ‍.

කේන්ද්‍රයේ කුමන හෝ භාවයකු කුජ හා ශනි එක්ව සිටීමෙන් කුජගෙන් සත් වැන්නේ ශනි තැන්පත් වීමෙන්, කුජගෙන් 4 වැන්නේ ශනි තැන්පත් ව සිටී නම් එය කලත්‍ර නාශක යෝගයක් සේ සැළකේ. එම පිහිටීම පවතින කේන්ද්‍ර හිමියකු සමඟම විවාහ වීමට උපදෙස් දීම සුලභ දෙයක් බවට පත්ව ඇත. කුජ හා ශනි එක්ව සිටීම රාජ යෝගයක් බව ගර්ග හර්ෂීන් පවසා ඇත. ගර්ග සෘෂි නියමය ඉසිකර ලිත් කතෘ ඩබ්ලව්. ඒ‍. ඩී. ඒ. වික්‍රමසිංහ මහතා සිය කෘතිවලින් එළි දක්වා ඇත.

කුජ ශනි එක්ව සිටි කේන්ද්‍රයේ දෙවැන්න, තෙවැන්න, සයවැන්න, නවවැන්න හා දසවැන්න, එකොළොස්වැන්න භාවවලදී රාජ යෝගයකි. මෙම භාව තැන්පත් කුජ, ශනි ජන්මියාට ශාරීරික, මානසික ප්‍රීතීය, නිර්භීත බව, සත්‍යවාදී බව ඇති කරන බැවිනි. විශේෂයෙන්ම සඳහන් කළ යුතු වන්නේ ගර්ග මහර්ෂීන් කිසිදු භාවයක තැන්පත් කුජ, ශනි නිසා විවාහ සහකරුට විපත් පැමි‍ණෙන බව සඳහන් කර නොතිබීමයි. භාව දොළොසේ කුජ, ශනි තැන්පත් වීමේ ප්‍රථීපල ලිපිය අවසානයේ සඳහන් වේ.

ස්ත්‍රී කේන්ද්‍රයක සත්වැන්නේ, අට වැන්නේ කුජ, ශනි රාහු, රවි යන ග්‍රහයින් තැන්පත් වීම පුරුෂ මර යෝගයක් බව භාව කුතුහලය ලඝු ජාතකය, ජ්‍යොතිෂ සාර යනාදී ග්‍රන්ථයන් අපට පෙන්වා දේ. මේ පිහිටීම ලග්නයෙහි හා සඳුගෙන් පරීක්ෂා කළ යුතුවේ.

ස්ත්‍රී හෝ පුරුෂ කේන්ද්‍රයක ලග්නය, සතර, සත, අට දොළොස යන තැනක කුජ සිටීම පුරුෂ මර යෝගයක් වන අතර පුරුෂ කේන්දරයක වේ නම් ස්ත්‍රී මර යෝගයක් බවද කේන්ද්‍ර දෙකෙහි මෙම පිහිටීම වේ නම් දෝෂ භංග වන බව ද කියැවේ. කුජගෙන් වන දෝෂ ශනි සිටීමෙන් ද දෝෂ භංගවන බව කියවෙන අතර අනෙක් පාපීන් රවි, රාහු, ශනි, කුජ ද එම දෝෂය වළකන බව කියයි. අද කුජ දෝෂය අහෝසි වන ක්‍රම පිළිබඳව බොහෝ දුරට සැලකිල්ලක් ‍දක්වයි. විශේෂයෙන්ම උච්ච ස්වක්ෂේත්‍ර, නීච කුජගෙන් හෝ ගුරුගේ දෘෂ්ඨියට යොමුවන කුජගේ දෝෂය නොසැලකේ. එහෙත් කුජට, ශනි එක් වූ පසු මෙම ග්‍රහයින් දෙදෙනාගේ දෝෂය අනෙක් කේන්ද්‍රයේ ද කුජ හා ශනි එක්ව සිටීමෙන්ම හැර වෙනත් අයුරකින් දෝෂ භංග නොවන බව නූතන ග්‍රන්ථවලින් පෙන්වා දෙයි.

කුජ සත් වැන්නේ තැන්පත්වීම ගැන අධ්‍යයනය කරමු. කුජ සය වැන්නේ කාරක ග්‍රහයා වේ. සය වැන්න බ්‍රහ්මචර්යාව නිවේදනය කරයි. කුජගේ මරණකාරක ස්ථානයද සත්වැන්නයි. මේ අනුව සත් වැන්නේ තැන්පත් කුජට සත් වැන්නේ කාර්යයන් ඉෂ්ඨ කළ නොහැක. මෙහිදී ගුරු, බුධ දකී නම් කුජගේ දෝෂය අහෝසි වේ. විශේෂයෙන්ම උච්ච, ස්වකේෂ්ත්‍ර කුජ තමන් තැන්පත් භාවයේ කරුණු වර්ධනය කරයි. කුජ හා ශනි සංයෝගය කේන්ද්‍රයේ කුමන භාවයක වුව ද දෝෂ සහිත බව හෝ පුරුෂ මර යෝගයක් බව පවසයි. එහෙත් ඒ සඳහා කිසිදු හේතුවක්, අදහස් දැක්වීමක්, ඉදිරිපත් නොකරති.

කුජ, ශනි ලග්නයේ නම් සත්වැන්න දකින අතර දෙවැන්න ද විවාහය ගැන කියැවෙන ස්ථානයකි. එහෙත් ශනි, කුජ තෙවැන්නට හෝ පස්වැන්න‍ට, සය වැන්නට, නවවැන්නට, එකොළොස්වැන්නට‍, දෝෂ ගෙන දෙන ආකාරය පැහැදිලි නොකරයි. සම්භාව්‍ය ජ්‍යොතිෂ පොත ප‍තෙහි සඳහන් නොවන මෙම ජ්‍යොතිෂ නීති රීති අකුරටම පිළිපදිමින්, පොරොන්දම් පරීක්ෂා කරන ජ්‍යොතිෂවේදීන් විවාහ වීමට හැකියාව ඇති තරුණ තරුණියන්ගේ පෙම් සබඳතා බිඳ දමමින් තරුණ පරපුරට කරනුයේ බලවත් වරදකි.

සය වැන්න අධිපති සත් වැන්නේ වීම, සත්වැන්න අධිපති සය වැන්නේ හෝ අට වැන්නේ වීම, අටවැන්න අධිපති සත්වැන්නේ වීම, විවාහ දෝෂ වුව ද අවිවාහක දෝෂ නො‍වේ. ඉදිරිපත් කළ විවාහය අහිමි වනුයේ සැබෑ ප්‍රවෘජ්‍යා යෝග පවතී නම් පමණි. විශේෂයෙන්ම කේන්ද්‍රයක පවතින අනෙක් දෝෂ බලවත් වූ ගුරුගේ දැකීමෙන් අහෝසි වන බව කියයි.

විවාහ ප්‍රදීපිකා කතුවරයා රවි, කුජ, ශනි, රාහු , කේතු, යන පාපග්‍රහයින් ලග්නය, දෙවැන්න, සතර වැන්න, සත්වැන්න, අට වැන්න හා දොළොස්වැන්නට පැමිණීම වෛධව්‍ය දෝෂ බව දක්වයි. කේන්ද්‍රස්ථානවල බලවත් ශුභයින් තැන්පත්වීම, තෙවැන්න, සය වැන්න හා එකොළොස්වැන‍්නේ බලවත් පාපින් තැන්පත් වීමත්, අශුභ ස්ථානගතව වෛධව්‍ය දෝෂ ගෙන එන ග්‍රහයා ගුරුගේ දාෂ්ටියට යොමු වීමත් සියලු දෝෂ දුරලන බවයි. විවාහ පරීක්ෂා පොත ද ඉහත අදහසම ඉදිරිපත් කරන අතර විවාහ පරීක්ෂා, විවාහ ප්‍රදීපිකා හෝ දෛවඥ කාමධේනු, රාමකටක, මුහුර්ථ චින්තාමනී යන සම්භාව්‍ය ග්‍රන්ථයන්හි කුජ හා ශනි එක්ව සිටීමේ විශේෂ දෝෂයක් පෙන්වා නැත.

විශේෂයෙන්ම කේන්ද්‍ර ත්‍රිකෝණ ආධිපත්‍ය ලැබූ කුජ, ශනි එක්වීමෙන් පවා වෛධව්‍ය යෝග යෙදිය හැකි ද යන කරුණු ගැන විමසිලිමත් විය යුතුය. මෙම කුජ, ශනි එක්ව සිටින අනෙක් කේන්ද්‍රයේ කිසිදු ආකාරයකින් කුජ, ශනි සබඳතාවය නැති ඉතා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන පිරිස් සිටිති‍. දෙවන ඉතා වැදගත් කරුණ වනුයේ කුජ, ශනි එක්ව සිටින එහෙත් ගුරුගේ දැකීමෙන් උපචය රාශීන්හි තැන්පත්වීමෙන්, නවාංශ පහකට වඩා දුර වීමෙන් දෝෂය නොමැති කේන්ද්‍ර හිමියන් මෙම දෝෂය නිවැරදිව යෙදී ඇති අයකු හා විවාහ වුවහොත් සැබැවින්ම ඔවුන්ට විපතක් වීමේ, විවාහය බිඳ වැටීමේ දෝෂයක් ඇතිවනු ඇත.

උප පදයෙන් දෙවැන්න පීඩා වීමෙන්, ප්‍රථම සබඳතාවය බිඳ වැටෙන , විවාහය අසාර්ථක වන පිහිටීම සම්භාව්‍ය ග්‍රන්ථ ඇසුරින් අධ්‍යයනය කරන ජ්‍යොතීර්වේදීන් බිහිකිරීම ජ්‍යොතිෂ උගතුන් සතු වගකීමකි.

(මෙම ලිපිය සැකසීමට අවශ්‍ය උපදෙස් ලබාදුන් ඉසිකර කතෘ ඩබ්ලව්. ඒ. ඩී. ඒ. වික්‍රමසිංහ මහත්මාට ස්තූතිය.)

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී‍
කිරින්දේ ඩී.ඒ. වික්‍රමසිංහ

නව අදහස දක්වන්න