දැඩි රැකවල් මැද සතර කන් මන්ත්‍රණ | දිනමිණ

දැඩි රැකවල් මැද සතර කන් මන්ත්‍රණ

බෝපගේ සහ චිත්‍රා දියණිය සමඟ

මඟ හැරුණු මිනිසා 68

අපි ප්‍රවෘත්ති දැනගත්තේ චිත්‍රා සහෝදරිය එවන ඇඳුම් පාර්සල් සහ කෑම පාර්සල් දිනපතා පත්තර පිටුවලින් ඔතලා මට ලැබෙන්නට සැලැස්වීමෙන්. ඇතුළට ලැබුණ පසු ඒ පිටු ඇතුලේ හිටපු අපි අතර හුවමාරු කර ගත්තා. දවස් කීපයකට පස්සේ රහස් පොලිසියේ මහත්වරු මෙක තේරුම් ගත්තා. ඒ අය චිත්‍රා සහෝදරියට දන්වලා තිබුණා පත්තර පිටු පාර්සල් කරන්න පාවිච්චි නොකරන ලෙසට. ඒත්, තොරතුරු ලබා ගන්නට අපි නොයෙක් විධි යොදා ගත්තා.

ලයනල් බෝපගේ බැලීමට චිත්‍රා ඔවුන්ගේ සිඟිති දියණියත් සමඟ පැමිණි හැම අවස්ථාවකම රහස් පොලිස් ස්ථානාධිපති වරයෙක් සහ රහස් පොලිස් පරීක්ෂකවරු දෙන්නෙක් දෙපස ඉඳගෙන සිටියහ. එහෙත් බෝපගේ සහ චිත්‍රා යුවල අතර උපක්‍රමශීලී ලෙස අවශ්‍ය පණිවුඩ හුවමාරු කර ගත්හ.

“චිත්‍රා සහෝදරියත් දරුවාත් මාව බලන්නට ගෙනා පළමුවන දවසේ අපේ පුංචි දුව දැකීම මගේ ජිවිතයේ සංවේ දී අවස්ථාවක් වුණා. චිත්‍රායි පුංචි දුවයි ආපසු ගියාට පස්සේ මට ඇතිවුණ හැඟීම් මම කවි සංකල්පනාවකට හැරෙව්වා. ඒ සංකල්පනාව කොල කෑල්ලක සටහන් කළා. ඒ කොල කෑල්ල මා ළඟ අදත් තියෙනවා. ඒ කවි සංකල්පනාව 2016 ඔස්ට්‍රේලියාවේ දී ‘සිඟිති දෙපා සොලවා’ යනුවෙන් ගීතයක් ලෙස මමත් එදා හතරවැනි තට්ටුවට මා බලන්නට පැමිණි දැන් ලොකුමහත් වෙලා ඉන්න මගේ දුවත් එක්ව ගයමින් පටිගත කළා. මේ වගේම ගීයක් මම වැලිකඩ බන්ධනාගාරයේ දී මගේ අම්මාට උපහාරයක් වශයෙන් ලිව්වා. ඒ තමයි ‘දස මසක් මා කුස දැරූ’ යන ගීතය. ඒක ‘විමුක්ති ගී’ ප්‍රසංගයේ ජන සිත් බැඳගත් ගීතයක්.

“කොයි තරම් අසීරු වුණත් අපි දෙන්නා නොයෙක් ආකාරයෙන් අවශ්‍ය කරන පණිවුඩ හුවමාරු කර ගත්තා. උදාහරණයක් හැටියට කලාකරුවන් පිළිබඳව ප්‍රශ්න කරන දවසෙ චිත්‍රා මා බලන්න ආවම දරුවා හයියෙන් අඬන වෙලාවක මම ඇයට කිව්වා නන්දා මාලිනිය හමු වී ඇයට මතු වී තිබෙන අනතුර ගැන කියන්න කියලා. ඒ වගේම රජය බිල්ලට ගන්නට සොයන කලාකරුවන්ට චිත්‍රා සහෝදරිය අතේ අනතුරු අඟවා පණිවුඩ යැව්වා.

“ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ විමුක්ති කොටි සංවිධානය අතර සම්බන්ධතාවයක් තිබුණ බව ඔප්පු කරන්නට සහකාර පොලිස් අධිකාරී චන්ද්‍රා ජයවර්ධන මහතා මගෙන් ප්‍රශ්න කළා. මම ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂය දැරූ ස්ථාවරය ඔහුට හොඳින් පැහැදිලි කරලා දුන්නා. අපි දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ අයිතීන් දිනා ගැනීම සඳහා සටන් කරන්නට ඔවුන්ට ඇති අයිතිය පිළිගන්නා බවත් කිව්වා. එහෙම වුණත් ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජනයාගේ වෙන්වීම සඳහා හෝ වෙනම රාජ්‍යයක් සඳහා හෝ පෙනී නො සිටින බවත් පැහැදිලි කළා. දෙමළ ජනයාගේ වෙන්වීම සඳහා පවතින අරගලය පරාජය කළ හැක්කේ දෙමළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් නීතිය අනුව සහ ප්‍රායෝගික ව සහතික කිරීමෙන් පමණක් බවත් කිව්වා. දින ගණනාවක් තිස්සේ මේ පැහැදිලි කිරීම කරන්න මට සිද්ධ වුණා. ඊට පස්සේ ඒ ගැන ප්‍රශ්න කිරීම නතර වුණා.

රඳවා ගෙන සිටි කාලය පුරාම ලයනල් බෝපගේ පක්ෂයත් සමඟ සම්බන්ධකම් පවත්වා ගෙන ගියේය. ඒ සඳහා පණිවුඩ හුවමාරුව කෙරුණේ බිරිය චිත්‍රා බෝපගේ හරහා ය. වෛද්‍ය අතුල සුමතිපාලත් ඊට බොහෝ දායක විය. 1983 අගෝස්තු 24 වන දා චිත්‍රා බෝපගේ, දනුණේ රාජ්‍ය මර්දනකාරී තත්ත්වය පැහැදිලි කරමින් ජාත්‍යන්තර ප්‍රගතිශීලී, ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් සුරැකීමේ සංවිධාන වෙත ප්‍රකාශයක් නිකුත් කළාය. අගෝස්තු 31 වනදා ඇය එවකට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ සේපාල ආටිගල මහතා වෙතත් 1983 සැප්තැම්බර් 6 වනදා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා වෙතත් ලිපියක් යොමු කළාය. ඇය එමගින් රඳවා ගෙන සිටින ලයනල් බෝපගේ හමුවන්නට සහ ඔහු පිළිබඳව නීතිඥ සහාය ලබාගන්නට අවසර දෙන ලෙස දන්වා සිටියාය. ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් මෙන්ම සිය සැමියාද වන ලයනල් බෝපගේ නොපමාව නිදහස් කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා තිබුණි. ජනාධිපතිවරයා වෙත එවන ලද ලිපිය ලැබුණ බව සැප්තැම්බර් 7 වනදා දැනුම් දෙන ලද නමුත් ඊට වඩා වැඩි යමක් සිදු වූයේ නැත. අගෝස්තු 31 වන දා චිත්‍රා බෝපගේ අධිනීතිඥ බාලා තම්පෝ වෙත ආයාචනයක් කරමින් සිය සැමියා නීතිමය වශයෙන් නියෝජනය කරන මෙන් ඉල්ලා සිටි නමුත් ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊට අවසර ලැබුණේ නැත.

“මුලින්ම පිටත ප්‍රවෘත්ති අපි දැනගත්තේ චිත්‍රා සහෝදරිය එවන ඇඳුම් පාර්සල් සහ කෑම පාර්සල් දිනපතා පත්තර පිටුවලින් ඔතලා මට ලැබෙන්නට සැලැස්වීමෙන්. ඇතුළට ලැබුණ පසු ඒ පිටු ඇතුලේ හිටපු අපි අතර හුවමාරු කර ගත්තා. දවස් කීපයකට පස්සේ රහස් පොලිසියේ මහත්වරු මෙක තේරුම් ගත්තා. ඒ අය චිත්‍රා සහෝදරියට දන්වලා තිබුණා පත්තර පිටු පාර්සල් කරන්න පාවිච්චි නොකරන ලෙසට. ඒත්, තොරතුරු ලබා ගන්නට අපි නොයෙක් විධි යොදා ගත්තා. අසනීප වූ විට ප්‍රතිකාර ලබා ගන්නට පිටතට ගෙන ගිය අවස්ථාවල දී රෝහල් සේවකයන්ගෙන් සහ පිටස්තර අයගෙන් තොරතුරු ලබා ගත්තා. කුඩා ගුවන් විදුලි යන්ත්‍රයක් සූක්ෂ්ම අන්දමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළට ගෙන්න ගෙන රහසින් ඇහුම් කන් දෙමින් එදිනෙදා ප්‍රවෘත්ති දැන ගන්නට අපි මඟ පාදා ගත්තා.

“චිත්‍රා සහෝදරිය පක්ෂය සමඟ ගනුදෙනු පවත්වා ගෙන තිබුණේ බොහෝ විට දයා වන්නිආරච්චි සහෝදරයා මගින් බව මට පසුව දැන ගන්න ලැබුණා. ඒ වෙන කොටත් පක්ෂයෙන් ඉවත්ව ගිය වන්නිආරච්චි සහෝදරයා වගේ කෙනෙක් පක්ෂය සමඟ නැවත හදිසියේ සම්බන්ධකම් පැවැත්වූයේ කොහොමද කියන එක මට අදත් හිතා ගන්නට බැරි තත්ත්වයක්. කොහොම වුණත් අත්අඩංගුවේ රඳවා ගෙන සිටිද් දී මගේ ප්‍රධාන අවධානය යොමු වී තිබුණේ පක්ෂ තහනම ඉවත්කර ගෙන පක්ෂයේ වැඩ කටයුතු යළිත් ප්‍රසිද්ධ තලයට ගෙන එන්න කළ හැකි දේවල් ගැන. පක්ෂය දිගින් දිගටම යටි බිම්ගත කර තබා ගැනීමට අවශ්‍යතාවයක් මම දැක්කේ නැහැ. ඒ දවස්වල පක්ෂයට එරෙහිව රජය ගෙන ගිය බොරු ප්‍රචාරවලට මඩ ගැසීම්වලට දිය හැකි හොඳම පිළිතුර යළිත් පක්ෂයේ ප්‍රසිද්ධ ප්‍රචාරක කටයුතුවලට පණ පෙවීම බව මම කල්පනා කළා. මේ පිළිබඳව රහස් පොලිසියේ රඳවා ගෙන සිටි අපි අතරේ පවා සාකච්ඡා කළා. අපි අතර මේ පිළිබඳව එකඟතාවයක් තිබුණා.

“මෙම තත්ත්වයට මඟ පාදා ගන්න ප්‍රයෝජනයට ගත හැකිව තිබුණ අවස්ථා කිහිපයක් පිළිබඳව පක්ෂය දැනුවත් කොට ඒ සඳහා අවශ්‍ය කටයුතු ද මම කළා. අපිව අත්අඩංගුවට ගන්න දවස්වලට ඉස්සරවෙලා ආණ්ඩුව සර්ව පාක්‍ෂික සමුළුවක් කැඳවන්නට කටයුතු සූදානම් කරන බව ප්‍රසිද්ධ කළා. ආණ්ඩුවට අර්බුදයෙන් ගොඩ එන්න මාර්ගයක් පාදා ගන්නා තෙක් කල් මරන්න විදියක් හදා ගන්න. මුලින්ම ජේ .ආර්. ජයවර්ධන මහතා කියා තිබුණේ කැඳවපු සර්ව පාක්‍ෂික සාකච්ඡාවලදි සහභාගි වෙන පක්ෂ මොනවා කිව්වත් ත්‍රස්තවාදය අතු ගා දාන්න අවශ්‍ය සේරම දේවල් කරනවා කියලා. ඒ දවස්වල ‘උතුරේ ප්‍රශ්නය’ හැටියට සමහරු හැඳින්වූ ජාතික ගැට‍ලුව විසඳන්නේ කොහොමද කියන එක ගැන කිසි කෙනෙක් කතා කළේ නැහැ. සමහර පක්ෂ මේ සාකච්ඡාවලට සහභාගි වුණා. සමහරු සහභාගි වුණෙත් නැහැ.

“ආණ්ඩුව මේ සාකච්ඡාව කැඳවලා තිබුණේ අපිව අත්අඩංගුවට ගන්නට ඉස්සර වෙලයි. මේ සාකච්ඡාවේ පරමාර්ථය වුණේ ආණ්ඩුව ගන්න බලා පොරොත්තු වුණ පියවරවලට විරුද්ධ පක්ෂ කැමතිකරවා ගෙන ජාත්‍යන්තරව වගේම විශේෂයෙන් ඉන්දියාවෙන් මතු වෙලා තිබුණ විරෝධය තාවකාලිකව තරමකට හෝ සමනය කර ගන්න. මට මතක අන්දමට මේ සර්ව පාක්‍ෂික සාකච්ඡාවල මුල් රැස්වීම අසාර්ථක වුණා. නමුත් අපි අත්අඩංගුවේ රඳවා ගෙන තියෙද් දී තවත් සාකච්ඡා වට කිහිපයක් තිබුණා. ඉන්දියාවේ විශේෂ නියෝජිතයා විදියට විදේශ ඇමැති නරසිම්හ රාඕ මහතා මුලින්ම ලංකාවට ආවා. මේ දවස්වලම රජය ඉන්දියාව සහ සෝවියට් චීන කඳවුරු මඟහැරල, ඇමෙරිකාවෙන්, එංගලන්තයෙන්, පකිස්තානයෙන් සහ බංග්ලාදේශයෙන් යුද ආධාර ඉල්ලලා තිබුණා. මේ අවස්ථාවේ දී අගමැතිනී ඉන්දිරා ගාන්ධි මහත්මිය ලංකාවේ ප්‍රශ්නයට කෙළින්ම මැදිහත් වෙන්න පටන් ගත්තා.

“මේ සිදුවීම්වලට කලින් 1981 විතර වන විට මගේ සෘජු මැදිහත් වීමෙන් ඉන්දියානු තානාපති කාර්යාලයත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ සුහද සම්බන්ධතා ගොඩනඟාගෙන තිබුණා. අපි හතරවෙනි තට්ටුවේ රඳවා ගෙන ඉන්දෙද් දී ජේ. ආර්. ජයවර්ධන මහත්තයගෙ සහෝදරයා ඉන්දිරා ගාන්ධි මහත්මිය සමඟ සාකච්ඡා කරන්නට යැව්වා. පස්සෙ මේ පිළිබඳ ගනුදෙනු කළේ ගෝපාලස්වාමි පර්තශාස්ත්‍රි මහතා. මීට කලින් මටත් රෝහණ සහෝදරයාටත් ඉන්දියානු තානාපති කාර්යාල‌යේ දී පර්තශාස්ත්‍රි මහතා හමුවෙලා තියෙනවා. ඒත්, ලංකාවේ රජය සියලුම මාධ්‍ය පාහේ යොදා ගෙන තිබුණේ සිංහල ජනතාව අතරේ ඉන්දියානු විරෝධය ගොඩ නඟන්න. මේ වාතාවරණය තුළ තමයි පසු කාලයේ පවත්වපු සර්ව පාක්‍ෂික සාකච්ඡා පවත්වන්නට පටන් ගත්තේ.

“මේ තත්ත්වය අනුව මම පක්ෂයට යෝජනා කොට යැව්වා පක්ෂය තහනම් කරල තිබුණත් 1983 ජූලිවල ඇත්තටම මොකද වුණේ කියල ජනතාවට පැහැදිලි කරල, ඒ කලබලවලට ජනතා විමුක්ති පෙරමුණේ කිසිම සම්බන්ධයක් නැති බව පෙන්වලා දෙන්න මේක හොඳ අවස්ථාවක් කියලා.”

සිසිර යාපා

හෙට - විජේවීර සාකච්ඡාවට පස්ස ගැසූ හැටි...


නව අදහස දක්වන්න

Or log in with...