මහින්දෝදය විද්‍යාගාර විද්‍යාත්මක ගැහිල්ල නාස්තිය කෝටි අටයි | දිනමිණ

මහින්දෝදය විද්‍යාගාර විද්‍යාත්මක ගැහිල්ල නාස්තිය කෝටි අටයි

* චීනෙන් ලැබුණු පියානෝ තුන්දාහෙන් හිටපු ජනාධිපති ආර්යාවගේ නමින් 98ක් ගෙනිහින්
* දසදහස් නමසීයේ භාණ්ඩයක් මිලට ගත්තේ විසිහය දහස් පන්සියයකට 

අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ මහින්දෝදය විද්‍යාගාර දහස (1,000) වෙනුවෙන් රසායනික ද්‍රව්‍ය සහ විද්‍යා උපකරණ සපයා බෙදා හැරීමේදී රුපියල් කෝටි අටකට (8,00,00,000) අධික මහජන මුදල් කන්දරාවක් නාස්ති වී ඇතැයි පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

වේයන්ගොඩ, පත්තලගෙදර ගබඩා සංකීර්ණයෙන් බෙදාහැරිය බව කියන 2013 සහ 2014 යන දෙවර්ෂය තුළ මිලට ගෙන ඇති භාණ්ඩ තොග සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා 2016 ඔක්තෝබර් 26 වැනි දින දුන් නියෝගය මත විශ්‍රාමික විගණන අධිකාරිවරයකු විසින් පවත්වනු ලැබ ඇති විශේෂ විමර්ශනයෙන් එම තොරතුරු අනාවරණය කෙරී ඇත. අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ මට්ටමේ කීප දෙනකුම මේ කියන වංචාවලට සම්බන්ධ හෙයින් දූෂිත නිලධාරීනට එරෙහිව විමර්ශන වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට වසරකට අධික කාලයක් තිස්සේ ම කටයුතු නොකර තෙපරබාන බවද පැවසේ.

පරීක්ෂණ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයාට භාර දී ඇත්තේ 2017 මැයි 17 වැනි දාය. සිද්ධියට සම්බන්ධ ගබඩා භාරකරුවකු මේ වන විටත් විශ්‍රාම ගොස් ඇති බැවින් එම නිලධාරියාට එරෙහිව විනයානුකූල ක්‍රියා මාර්ගයක් ගත නොහැකිවී ඇතැයි ද දැනගන්නට තිබේ. වංචාවට සම්බන්ධ බව කියන අධ්‍යක්ෂ මට්ටමේ නිලධාරීන් නුදුරු අනාගතයේ දී විශ්‍රාම ගැනීමට නියමිත හෙයින් අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දැමීමේ සිද්ධාන්තය එතෙක් ක්‍රියාත්මක කෙරෙන බව ද කියති. මූලික විමර්ශන වාර්තාව අනුව කරුණු කාරණා මෙසේ සිදු වී ඇත.

මේ රටේ මහජනතාවගේ බදු මුදලින් අධ්‍යාපන අමාත්‍යාංශය මිලට ගෙන ඇති රුපියල් පන්කෝටි හැටතුන්ලක්ෂ අසූඅටදහස් නමසිය හැත්තෑ පහක් (5,63,88,975) වටිනා සම්පත් තොගයක් දිවයින පුරා පාසල් විද්‍යාගාරවලට බෙදා නොදී වසර තුනකට අධික කාලයක් තිස්සේ (විමර්ශනය පවත්වා ඇත්තේ 2016 දෙසැම්බර් 08 වැනි දාය.) පත්තලගෙදර ගබඩා සංකීරණයේ විනාශ වෙමින් තිබී ඇත.

රුපියල් තුන්කෝටි පනස්ලක්ෂ හැත්තෑදහස් හාරසිය අසූපහක් (3,50,70,485) වටිනා ස්ථාවර විද්‍යා උපකරණ තොගයක් සහ රුපියල් දෙකෝටි දහතුන්ලක්ෂ දහඅට දහස් හාරසිය අනූවක් (2,13,18,490) වටිනා රසායනික ද්‍රව්‍ය තොගයක් ද එසේ නිරපරාදේ විනාශ වෙමින් තිබී ඇත.

2013 සහ 2014 දෙවසර තුළ මිලට ගත් බව කියන (විස්තර වාර්තා විනා ඇත්ත වශයෙන්ම සියලු තොගමිලට ගත් බව ද සැක සහිත හෙයින්) භාණ්ඩ තොගයෙන් 2016 දෙසැම්බර් මාසය වන විට ඌනතාවය රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට (1,50,00,000) ආසන්නය. (ඌනතාවය යන වචනය විගණනයේ දී සහ විමර්ශන වාර්තාවල දී යොදා ගැනෙන්නේ ඒ අවස්ථාවේ නැති බව, හිඟ බව, අඩු බව කීමටය. එම ප්‍රමාණය ඇත්ත වශයෙන්ම නොලැබුණා ද එසේ නැතහොත් ගබඩාවට ලැබීමෙන් පසු නීත්‍යානුකූල නොවන අන්දමින් අපහරණය කළාද, (සොරකම් කළාද), යන්න ද එමගින් අදහස් නොකරනවා ද නොවේ.

පත්තලගෙදර ගබඩා භාරකරු 2016.02.22 දින විශ්‍රාම ගෙන තිබේ. අනතුරුව වෙනත් නිලධාරියකු රාජකාරි භාර ගෙන තිබිය දී 2016 දෙසැම්බර් 31 වැනි දින පවත්වා ඇති පරීක්ෂණයේ දී ගබඩාවේ ස්ථාවර විද්‍යා උපකරණ, රසායනික ද්‍රව්‍ය සහ නශ්‍ය (පාවිච්චියෙන් පසු බැහැර කෙරෙන) උපකරණවල ඌනතාවය (හිඟය) රුපියල් එක්කෝටි විසිනවලක්ෂ පන්දහස් අටසිය හැටක් (1,29,05,860) බව අනාවරණය කෙරී ඇත. එසේ ඌන වී ඇත්තේ අනුඅටලක්ෂ දාහතරදහස් හතළිස්හතරක් (98,14,044) වටිනා ස්ථාවර විද්‍යා උපකරණ මෙන්ම, රුපියල් දාහත් ලක්ෂ අටදහස් අනූඅටක් (17,08,098)ක් වටිනා රසායනික ද්‍රව්‍ය සහ රුපියල් දහතුන් ලක්ෂ අසූ තුන්දහස් හත්සිය දහඅටක් (13,83,718) වටිනා නශ්‍ය උපකරණ තොගයකි.

මිල ගණනය කළ නොහැකි රසායන ද්‍රව්‍ය සහ උපකරණ විශාල තොගයක් ද, එසේම , කිසිදු ලේඛණයක සඳහන් කර නැති ද්‍රව්‍ය, උපකරණ සහ රසායනික තොග විශාල ප්‍රමාණයක් ද, ගබඩාවේ ගොඩගැසී ඇතැයි ද වාර්තාවේ දැක්වේ. සමස්ත තොගයේ වටිනාකම රුපියල් කෝටි ගණනාවකි. ඒවායෙන් ඇතැම් අයිතමවල එක් භාණ්ඩයක වටිනාකම රුපියල් දහස් ගණනකි. මේ මහජනතාවගේ දාඩිය මහන්සිය බව නොවැටහීම ජාතියේ කරුමයකි.

සැපයීමට අපේක්ෂාවෙන් සැපයුම්කරුවන් විසින් තාක්ෂණ කමිටුවේ පරීක්ෂණය සඳහා එතෙක් ඉදිරිපත් කර තිබූ සිය ගණනක් වූ සාම්පල් තොග ආපසු නොදී වසර පහකටත් වැඩි කාලයක් තිස්සේ ගබඩාවේ තිබී ඇත. ඒවා ලේඛණ ගත කර නැත. එකක වටිනාකම ද රුපියල් දහස් ගණනකි. එමගින් වංචා සිදුවී නැතැයි කියන්නට සාක්ෂි නැති බව ද වාර්තාවෙන් අනාවරණය කර තිබේ. ඉතා ආසන්න මාස කීපයකදී එකම භාණ්ඩයක මිල අදහාගත නොහැකි අන්දමින් වෙනස් වී තිබීම ද මවිතයට කරුණක් වී තිබේ.

උදාහරණ මෙසේය. රුපියල් විසිහය දහස් පන්සියයකට (26,500) 2013 ජූලි 09 වැනි දා මිලට ගත් මෙවලම් කට්ටලයක් (Tool Kit) ඊට තෙමසකට පසුව එ නම් 2013 ඔක්තෝබර් 23 වැනි දින මිලට ගෙන ඇත්තේ රුපියල් දහදහස් නමසියයකටය. (10,900) ඒ අනුව මිලෙහි වෙනස (26,500 – 10,900=15,600) රුපියල් පහළොස් දහස් හයසියයකි. ඒ එක මෙවලම් කට්ටලයක වෙනස ය. කිසියම් පිරිසකගේ හෝ සාක්කුවලට වැඩි අමාරුවක් නැතුව යන්නට ඇතැයි අනුමාන කළ හැකි මුදලය.

මෙතැන දී අමතක නොකළ යුත්තේ, භාණ්ඩ සපයා ගත යුතුව තිබුණේ මහින්ද පාසල් විද්‍යාගාර දහසක් (1,000) වෙනුවෙන් බවය. ඒ අනුව සපයා ගත යුතු මෙවලම් කට්ටල ගණන ද දහසක් විය යුතු ය (1,000) ඒ අනුව මෙවලම් කට්ටල දහසක් මිලට ගත්තේ නම් සාක්කුවලට දා ගත හැකි බවට උපකල්පනය කළ හැකි ව තිබූ කුට්ටිය (15,600 x1,000 =1,56,00,000) රුපියල් එක්කෝටි පනස්හය ලක්ෂයකි. ගබඩා භාරකරුගේ නිර්දේශය ද සහිතව වවුචරය සකස් කෙරී වැය ලෙජරය මුදල් පොත ආදී ක්‍රියාවලිය මගින් ඉදිරියට ගොස් ගණකාධිකාරි ඇතුළු තවත් එක් අයකු හෝ දෙදෙනකු හෝ නොවැරදීම අත්සන් යොදා චෙක්පත නිකුත් කළ යුතු බව මුදල් රෙගුලාසි එකසිය තිස්පහේ සිට තිස්අට (135-138) දක්වා පැහැදිලිවම විස්තර කර ඇති බැවින් මෙවන් ගෙවීමක දී සාක්කු ඇතිකමිස හෝ කලිසම් හෝ අඳින සහ අත් මලු (හෑන්ඩ් බෑග්) ගෙන යන කීප දෙනකු ම අවම වශයෙන් රාජකාරි කරන බවද අප කල්පනා කළ යුතුය.

මේ අන්දමින් වෙනස්කම් දැක්වෙන මිල ගණන් සහිතව මිලට ගත් භාණ්ඩ කීපයක් හුදී ජන පහන් සංවේගය සඳහා මෙසේ දක්වමු.

ඔසිලෙස්කෝප් ඩ්වෙල් ට්‍රේස් (OCILESCOPE DUAL TRACE) 2017 ජූලි 09 දින ගත් මිල රුපියල් හතළිස් දෙදාහකි (42000) ඔක්තෝබර් 23දා ගත් මිල රුපියල් විසි නම දහස් අට සියයකි (29,800). වෙනස රුපියල් දොළොස් දහස් හත් සියයකි (12700). දහසම මිලට ගත්තේ නම් වෙනස (12,700 x 1000 = 1,27,00,000) රුපියල් එක්කෝටි විසිහත් ලක්ෂයකි.

කැතේඩ් රේ කට්ටලයක් (CATHADE RAY SET) 2017 ජුලි 09 දා ගත් මිල රුපියල් දහඅටදහස් හත්සිය පනහකි (18750) ඔක්තෝබර් 23 වැනිදා ගත් මිල රුපියල් නමදහස් එක සියයකි (9,100) වෙනස (18750 – 9100 =9650) රුපියල් නමදහස් හයසිය පනහකි. මහින්දෝදය විද්‍යාගාර දහසටම ගත්තේ නම් මුදල (9,650 x 1000 x (96,50,000) රුපියල් අනූහය ලක්ෂ පනස් දහසකි.

මේ අනුව ගණනය කළ විට භාණ්ඩ තුන් වර්ගයක් සපයා ගැනීමේ දී වැඩියෙන් ගෙවිය යුතු (මෙය හොර බිල් දමා ගසා කෑමක් යයි නොකියමු) මහජන මුදල් කන්දරාව (1,56,00,000 +1,27,00,000 + 96,50,000 = 3,79,50,000) රුපියල් තුන් කෝටි හැත්තෑනම ලක්ෂ පනස්දහසකි. අයිතම තුනකින් එසේ නම් සමස්ත මහින්දෝදය විද්‍යාගාර දහසටම (1000) මිලට ගැනීම්වලින් කෙසේ වෙන්නට ඇත්දැයි සිහි කල්පනාව ඇත්තෝ විමසා බලත්වා.

පාසල් විද්‍යාගාර දෙසිය පනස් එකකට (251) නිකුත් කරන මුවාවෙන් රුපියල් එක්කෝටි හැත්තෑ දෙලක්ෂ හැට දෙදහස් හයසිය හැත්තෑ එකක් (1,72,62,671) වටිනා භාණ්ඩ තොගයක් වංචා කිරීමට අසුරා තිබූ බව ද, අයිතමයන් ගණනාවක් අඩංගු මෙවලම් කට්ටලයක් අයිතම කීපය බැගින් වෙන්කර කට්ටල කීපයක් වශයෙන් වංචනිකව පාසල්වලට භාර දී ඇති බව ද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

මෙවලම් කට්ටලයකින් (TOOK KIT) කට්ටල කීපයක් සකස් කිරීම සඳහා සපයා ගෙන තිබූ මෙවලම් කට්ටල ඇසුරුම් හිස් පෙට්ටි විශාල තොගයක් ගබඩාවේ තිබූ බව ද විමර්ශන වාර්තාවේ සඳහන් වේ. ගබඩාවේ කිසිදු ලේඛනයක සඳහන්කර නොතිබුණු රුපියල් දෙකෝටි හැත්තෑ හතරලක්ෂ පහළොස් දහස් පන්සිය හැත්තෑ හතරක් (2,74,15,574) වටිනා භාණ්ඩ තොගයක් ඒ අවස්ථාවේ ගබඩාවේ තිබූ බව ද විමර්ශන වාර්තාවේ විශේෂයෙන් සඳහන් වේ.

මහින්දෝදය පාසල් විද්‍යාගාර වැඩසටහනේ භාණ්ඩ තොග මිලට ගෙන බෙදා හැරීමේ කටයුත්ත ඉතා සූක්ෂමව සංවිධානය කර ඇති බවට ඉඟි පහළ වී ඇත්තේ භාණ්ඩ මිලට ගැනීමේ ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා පත්කර තිබීමේ සිද්ධිය නිසාය. එම තනතුරට පත්කරනු ලැබ ඇත්තේ රාජ්‍ය සේවයට බැඳීමක් නැති විශ්‍රාමික නිලධාරියකු බැවිනි. ඔහු රුපියල් දාහතර කෝටි විසිලක්ෂයක් වටිනා (14,20,00,000) භාණ්ඩ වංචාවකට වගකිව යුතු බව විමර්ශන වාර්තාව කියයි.

මහින්දෝදය තාක්ෂණ පරිගණකාගාර සඳහා පරිගණක සඳහා අනිකුත් උපකරණ මිලට ගැනීම පිළිබඳව විගණකාධිපති එච්. එම්. ගාමිණී විජේසිංහ මහතාගේ උපදෙස් මත පැවැත්වූ විශේෂ විගණන පරීක්ෂණයෙන් අනාවරණය වූ කරුණු ඇතුළත් විගණන විමසුම ඊ සී-ඒ-එම් ඕ ඊ-2-14-70(EC-A-MOE-2-14-70) අංක යටතේ 2015 ජූලි 24 වැනි දින නිකුත්කර තිබේ. එම විමසුමේ දැක්වෙන අන්දමට 2015 ජූලි 20 වැනි දින වනවිටත් උපකරණ (ලැප්ටොප්, ප්‍රින්ටර් සහ වෙනත් උපකරණ) සපයා සවිකර තිබුණේ පරිගණකාගාර හත්සිය හැත්තෑ පහක (775) පමණි. එක් පරිගණකාගාරයක උපකරණ වෙනුවෙන් වැය කර තිබූ මුදල් රුපියල් හැත්තෑ දෙලක්ෂ හැත්තෑ එක්දහස් එකසිය හැත්තෑ එකකි. (72,71,171)

ඒ අනුව පරිගණකාගාර 775ක පරිගණක සහ උපාංග වෙනුවෙන් වැයකර තිබූ මුදල් රුපියල (7271,771x775 =563,51,57,525) පන්සිය හැටතුන් කෝටි පනස්එක් ලක්ෂ පනස් හත්දහස් පන්සිය විසිපහකි.

2013 සැප්තැම්බර් 19 දිනැති අංක 13/1239/530/031-11 දරන අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව සපයා සවි කළ යුතු වූයේ අන්තර් ජාතික තත්ත්වයේ (INTERNATIONAL BRANDED) වුවත් ඒ තත්ත්වයේ පරිගණක සපයා සවිකර නොතිබූ බව විගණකාධිපති එච්. එම්. ගාමිණී වි‍ජේසිංහ මහතා කියයි.

අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙවැනි සිද්ධිවලට බලවතුන්ගෙන් පුර්වාදර්ශ ලැබුණේ දැයි සැක සිතෙන අවස්ථා ද නැත්තේ නොවේ. එසේ සිතෙන්නේ විමර්ශන වාර්තාවේ දක්වා ඇති පරිදි අපේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සඳහා චීනෙන් අපේ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදී තිබුණු විද්‍යුත් පියානෝ තොගයෙන් අනූ අටක් ම (98) බාහිර ආයතනයකට බාර දී තිබූ හෙයිනි. එවකට ජනාධිපති ලේකම්වරයා වූ ලලිත් වීරතුංග මහතාගේ ලිඛිත ඉල්ලීමකට අනුව විද්‍යුත් පියානෝ අනූඅටක් (98) එවකට ජනාධිපති ආර්යාවගේ කාර්යාලයට නිකුත් කර තිබේ.

විදේශ පරිත්‍යාග වශයෙන් ලැබෙන සම්පත් කිසිසේත්ම බාහිර ආයතනවලට නිකුත් නොකළ යුතු බවට ඇති නියෝග උල්ලංඝනය කර පියානෝ තොගය එසේ නිකුත් කර ඇති බවද විමර්ශන වාර්තාවේ සඳහන් කර ඇත.

මෙතෙක් අනාවරණය වී ඇති වංචාවට අමාත්‍යාංශ ලේකම් මට්ටමේ සිට ලිපිකරු මුරකරු මට්ටම දක්වා තනතුරුවල විසි හතර දෙනකු සම්බන්ධ බව විමර්ශන වාර්තාව කියයි.

අමාත්‍යංශ ලේකම් මට්ටමේ දෙදෙනකු (02) ගණකාධිකාරිවරුන් හය දෙනකු (06) ගබඩා භාරකරුවන් දෙදෙනකු (02) ඒ පිරිසට අයත් වේ. භාණ්ඩ මිලට ගැනීමේ ප්‍රසම්පාදන කොමිටියේ සභාපති වශයෙන් කටයුතු කළ විශ්‍රාමික අධ්‍යක්ෂවරයා (තාක්ෂණික) රුපියල් දාහතර කෝටි විසි ලක්ෂයක (14,20,00,000) වටිනාකමකට ද, ගබඩාකරුවකු වශයෙන් රාජකාරි කළ විශ්‍රාමික නිලධාරියා රුපියල් හාරලක්ෂ පනස්හතරදහස් හත්සිය දහතුනකට ද (4,54,713) වගකිවයුතු යැයි වාර්තාවේ පෙන්නා දී ඇත.

සිද්ධියට සම්බන්ධ බව කියන ගණිත, විද්‍යා, සැපයීම් සහ තාක්ෂණ යන අධ්‍යක්ෂවරුන් සිව් දෙනකුට ද, ගබඩා භාරකරුට ද, විමර්ශන වාර්තාවෙන් චෝදනා පත්‍ර ඉදිරිපත් කර තිබේ. සැපයීම් සහ විද්‍යා යන අධ්‍යක්ෂවරුන් ගේ වැඩ තහනම් කර ඔවුන් පිළිබඳව පොලිසියට ද පැමිණිලි කරන ලෙසට නිර්දේශ කර ඇත. අවභාවිත කෙරී ඇති වටිනාකමෙන් අඩක් වන රුපියල් හැටපන්ලක්ෂ පනස් දෙදහස් නමසිය තිහක් (65,52,930) විද්‍යා අධ්‍යක්ෂවරයාගෙන් අයකර ගැනීමට ද , ගණිත අධ්‍යක්ෂවරයාට සහ විෂය භාර ලිපිකරුවන්ට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමට ද, සිද්ධියට සම්බන්ධ මුරකරුට ස්ථාන මාරුවක් දෙන ලෙසටද විමර්ශන වාර්තාවෙන් නිර්දේශ කර තිබේ. මේ වන විට සිද්ධිය යට ගසා ඇතැයිද එසේ කර ඇත්තේ වංචාවට සම්බන්ධ ලොක්කන් විශ්‍රාම ගන්නා තෙක් යැයි ද, මේ වන විට ඒ කීප දෙනාට තීරු බදු රහිත වාහන බලපත්‍ර ලබා දීමට පවා කටයුතු කෙරෙන බව ද අමාත්‍යාංශ ආරංචිවලින් දැනගන්නට ඇත.

ජනසේන මාරසිංහ

නව අදහස දක්වන්න