සල්ලි වතුරේ මගීන් පාරේ | දිනමිණ

සල්ලි වතුරේ මගීන් පාරේ

කලවාන නගරයේ ප්‍රධාන බස් නැවැතුම් පොළ විධිමත්ව සකසා නොතිබීමෙන් දිනපතා නගරයට පැමිණෙන ජනතාව බරපතළ පීඩාවකට පත් වෙති. සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අලංකාර ගොඩනැගිල්ලක් ඉදිකර පසුගිය වසරේ විවෘත කළ මුත් මේ වනතුරු ජනතා භාවිතයට ඉඩ ලබා දී නැත. එයද ඉදිකර ඇත්තේ නගරය පිටුපසිනි.

මේ පිළබඳ ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී.එස්.චාමින්ද මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසූයේ ප්‍රාදේශීය සභාවේ මහජන නියෝජිතයන් නොමැති කාලයේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය එම ගොඩනැගිල්ල ඉදි කළ ද එහි ඉදිරිපස මගී බස් රථ නැවතීම හා ධාවනයට සුදුසු පරිදි සකසා නොතිබීම හේතුවෙන් බස් රථ ගාලට සුදුසු නැති බවය.

සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී අනුරුද්ධ කුමාර මහතා පවසන පරිදි සබරගමුව හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතාගේ මගපෙන්වීමෙන් එය ඉදිකිරීමට මිලියනය තිස්තුනක් වියදම් කළ බවත්, භූමියේ අයිතිය ප්‍රාදේශීය සභාව සතුවන හෙයින් බස් නැවතුම්පොළට සුදුසු භූමිය සකස් කිරීම ප්‍රාදේශීය සභාවට කළ හැකි බවය.

කෙසේ වෙතත් නගරයට පැමිණෙන ජනතාව දැනට වසර ගණනාවක සිට අව්වෙන් හා වැස්සෙන් බරපතල පීඩාවට ලක්වෙති. පොලීසිය, රෝහල, ජාතික පාසල, වාණිජ බැංකු හා වෙළෙඳ සැල් වැනි අවශ්‍යතාව සඳහා ජනතාව විශාල ප්‍රමාණයක් නගරයට පැමිණෙති.

සෙනසුරාදාට පැවැත්වෙන ''සති පොළ" ප්‍රධාන බස් නැවතුම් පොළ ද සම්බන්ධ කරගනිමින් පවත්වා ගෙන යාම ගැටලු තවත් වර්ධනය කිරීමට හේතු වී ඇත. ප්‍රධාන මාර්ගය දෙපසට මාරු වීමද බෙහෙවින් අනතුරුදායකය. මේ බව කලවාන පොලිස් ස්ථානාධිපතිවරයා පවා පසුගියදා පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අවධාරණය කළේය. ඊට හේතුව මාර්ගය හරහා මාරු වීම සිදු කළ යුත්තේ බස් රථ ගාල වෙත වීමයි. මෙම ස්ථානයේ අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බවද පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.

බස් රථ ගාලක් ඉදිකිරීම සඳහා අවස්ථා ගනණාවකදී විවිධ නායකයන් විසින් මුල් ගල් තබා ඇත. ඒ සෑම අවස්ථාවකදීම එයට පෙර තැබූ මුල්ගල් හා සම්බන්ධ දේශපාලනයින් පිළිබඳ විවේචනය කළේය. එහෙත් ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි විවේචන නොව තමනට බලපාන මෙවැනි ගැටලු සඳහා සුදුසු විසදුම්ය.

සටහන සහ ඡායාරූසේන වේරගම කලවාන 

නව අදහස දක්වන්න