ශිෂ්‍යත්ව ප්‍රවෘ­ත්තිය | දිනමිණ

ශිෂ්‍යත්ව ප්‍රවෘ­ත්තිය

‘පහේ ශිෂ්‍යත්වෙ ගැන අද පත්තරේ තිබුණු ප්‍රවෘත්ති බැලුවද ටොම්සන් මහත්තයා...?‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේ පත්තරය කනප්පුව මතට දමමිනි.

‘බැලුවා.. බැලුවා.. පහේ ශිෂ්‍යත්වය හැම ළමයින්ටම අනිවාර්ය කරපු චක්‍ර ලේඛය අවලංගු කරන එක ගැන නේද? මොකද ඇම්බන් මහත්තයා ඒ ගැන කියන්නේ? වැඩේ හොඳයිද? නරකද? ‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

‘මොකද නරකයි නේන්නම්... දැන් ඉතින් බලන්ඩ අර ශිෂ්‍යත්ව උපකාරක ගුරුවරු ජීවත් වෙන්නේ කොහොමද? ඒ කෂ්ටිය නන්නත්තාරයි නේ... මොන තරම් සල්ලියක් හොයාපු ව්‍යාපෘතියක්ද? අනික අර ගුවන් විදුලි කෂ්ටිය... ඒ ගොල්ලොත් රට වටේම ගියා නේ ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ තියාගෙන... වෙළෙන්දෝ රංචුවක් වට කර ගෙන... ඒ ගොල්ලොත් නන්නත්තාරයි නේ... ඔය වගේ තීන්දු ගන්න කොට ටිකක් කල්පනා කරලා බලන්න තිබුණා මේකෙන් කී දෙනෙක් ජීවත් වුණාද කියලා... අනික අර ඉස්කෝලේ නෝනලා මහත්තුරුත් කීයක් හරි හම්බ කර ගත්තා නේ අර දොස්තරලා චැනල් කරනවා වාගේ.... දැන් ඒකත් නැති වෙනවානේ.. මේවා හරිම අපරාධ... ‘ කියා කියමින් උන්නැහේද සාලයට ආවේය.

‘උන්නැහෙත් දැන් යමක් කමක් කියන්න දන්නවා... හරියට අර ගුවන් විදුලියේ ඉන්නේ ඩබල් නිවේදකයෝ... ඒ වාගේ... බොහොම අපූරුයි. ‘ කියා ටොම්සන් මහත්තයා සිනහසුණේය.

‘ ශිෂ්‍යත්ව විභාගය අනිවාර්ය කරලා තිබුණු චක්‍රලේඛය අවලංගු කරන්න කියලා කියන්නේ ඔය විශේෂඥ කමිටුවක නිර්දේශ අනුව කියලා නේ කියන්නේ... මට නම් පොඩි ගැටලුවක් තියෙන්නේ ඔය විශේෂඥ කමිටු ගැන තමයි... තව පිටි පස්සෙන් තීරණ ගොඩක් එනවා කියලා නේ කියන්නේ... ඒවා මොනවාද දන්නේ නෑ... මාධ්‍ය කටයුතු මේ තරම් දියුණු කාලෙක රටට වැදගත් වෙන නිවේදනයක් මේ වගේ නිකුත් කරන එක ගැන මම නම් කැමති නෑ ටොම්සන් මහත්තයා...‘ කියා උන්නැහේ කීවේය.

‘ඇයි? මොකද වෙලා තියෙන්නේ... එහෙනම් වෙන කොහොමද මේවා නිවේදනය කරන්න කියන්නේ... ‘ කියා ඇම්බන් මහත්තයා ඇසුවේය.

‘මෙහෙම නේ ටොම්සන් මහත්තයා... ඔය දේශපාලන කතාවල් නම් ඔය එක එක රැස්වීම්වලදී කියන එක පුරුද්දක් නේ.. ඒ වුණාට මේක මේ දේශපාලන කතාවක් නෙවෙයි නේ... මේක මේ රටේ මහජනතාවට තදින් බලපාන බොහොම බරපතළ කාරණයක්... එතකොට ඒ කමිටු නිර්දේශවලින් කෑල්ල කෑල්ල මේ විදිහට ප්‍රකාශ කරන එක දේශපාලන වැඩක් නේ.. මං හිතන්නේ ඒක වෙන්න තිබුණේ එහෙම නෙවෙයි. ‘

‘හරි උන්නැහේ කියන්න බලන්න.. මේක කොහොමද වෙන්න තිබුණේ කියලා...‘ කියා ටොම්සන් මහත්තයා ඇසුවේය.

උන්නැහේ පත්තරයත් අතින් ගෙන බොහොම බරසාර විදිහට පුටුවේ හිඳ ගත්තේය.

‘මේකයි ටොම්සන් මහත්තයා මම කියන්නේ... මේ විදිහට කෑල කෑලි තීන්දු ප්‍රකාශ කරන එක අධ්‍යාපන ඇමැතිතුමාට වුණත් හොඳ නෑ නේ... හරිනම් කරන්න තිබුණේ මේ කමිටු වාර්තාව අඩුම ගණනේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට දාලා, ඊට පස්සේ ඒ ගැන ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්තන එක. එහෙමත් නැතිනම් සියලු විස්තර සහිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එක. අනික මේ වගේ වාර්තාවක් මහජනයාගේ සාකච්ඡාවට භාජනය වෙනවා නම් කොච්චර දෙයක්ද? එතකොට තමයි මහජනයා තුළ ලොකු විශ්වාසයක් ඇති වෙන්නේ.. අනික හැම වෙලාවෙම මහජනතාව පුරුදු වෙලා ඉන්නේ මේ වගේ තීරණ දිහා සැකයෙන් බලන්න... මේක යට වෙන න්‍යාය පත්‍රයක් ඇති කියලා හිතනවා නේ.. ඒ හින්දා මේ වගේ ප්‍රවෘත්ති විධිමත් ආකාරයකට සමාජයට ඉදිරිපත් වෙන එක තමයි හොඳ... දැන් බලන්ඩ ටොම්සන් මහත්තයා අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙත් මේක දාලා තියෙන්නේ අර පත්තරයක තියෙනවා වාගේ ප්‍රවෘත්තියක් නේ. ඒකේ කියනවා අර විශේෂඥ කමිටුවේ එක් නිර්දේශයක් මේක කියලා.. එතකොට අනික් නිර්දේශ මහජනයා දැන ගන්නේ ඔය ඉස්කෝලවල උත්සවවලදිද? ඒක නම් මේ වගේ දේකට ගැළපෙන ක්‍රමයක් නෙවෙයි.‘ කියා උන්නැහේ කීවේය.

‘‍ ඇහුණා නේද ඇම්බන් මහත්තයා.. උන්නැහේගේ කතාව... ඒකේ ඇත්තක් තියෙනවා... ඔය වාර්තාවේ කෑලි කෑලි මේ විදිහට එළියට දාන්නේ නැතිව... වාර්තාව වහාම ප්‍රසිද්ධ කරන එක බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ වගකීමක්... මොකද ඔය අනික් නිර්දේශ මොනවාද කියලා මහජනතාව දැන ගන්න එපායැ.‘ කියා ටොම්සන් මහත්තයා කීවේය.

‘ හරි හරි... විශේෂඥ කමිටුවක් කියන්නේ සෙල්ලම් වැඩක්ද? අපි ඒවා පිළිගන්න එපායැ...‘ ඇම්බන් මහත්තයා උත්තර බැන්දේය.

‘ඒ වුණාට මට නම් ලොකුම බයක් තියෙන්නෙත් ඔය විශේෂඥයෝ ගැනම තමා... අර ඉස්කෝලේ විෂය නිර්දේශ හදන්නෙත් ඔය වගේ විශේෂඥයෝ නේ... ඔය විදිහට විශේෂඥයෝ හතර දෙනෙක් හදාපු විෂය නිර්දේශයක් ගිය අවුරුද්දේ නවත්තන්න සිද්ධ වුණා නේ.. දැන් ඊට පස්සේ තව විශේෂඥයෝ පිරිසක් එකතු වෙලා ඒ වගේ ම අංජබජල් විෂය නිර්දේශයක් හදලා නේ.. ඔය බලධාරින් පරිස්සම් වෙන්න ඕනැ තැනක් තමයි ඔය විශේෂඥයන්ගේ වාර්තා ගැන. ඒක හින්දා ඒවා මහජනතාවට සාකච්ඡා කරන්න දුන්නාම ඒ නිර්දේශ මහජනයා පිළිගන්නවා නම් අන්න ඒක තමයි නියම ප්‍රජාතන්ත්‍රවාදය. නැද්ද මං කියන්නේ? ‘ කියා උන්නැහේ කීවේය.

බන්දුල පී දයාරත්න


නව අදහස දක්වන්න

Or log in with...