විශි­ෂ්ට­තම නව නිපැ­යු­ම්ක­රුවෝ ජන­පති අතින් සම්මා­න­යට පාත්‍ර වෙති | දිනමිණ

විශි­ෂ්ට­තම නව නිපැ­යු­ම්ක­රුවෝ ජන­පති අතින් සම්මා­න­යට පාත්‍ර වෙති

 විශිෂ්ටතම නව නිපැයුම්කරුවන් ජනාධිපතිවරයා අතින් සම්මානයට පාත්‍ර වේ

රට පුරා විසිරී සිටින නව නිපැයුම්කරුවන් සම්මානයෙන් ඇගයෙන නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සැමරුම -2018 හා ජනාධිපති සම්මාන ප්‍රදානය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය දා (26) පැවැත්විණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නව නිපැයුම්කරුවන් 1500කට ආසන්න සංඛ්‍යාවක් සහභාගි වූ මෙම ජාතික දින සැමරුම සංවිධාන කරන ලද්දේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසිනි.

මෙහි දී 2016 වසරේ නව නිපැයුම්කරුවා ලෙස ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබුවේ කොට්ටගොඩගේ ලක්ෂ්මන් මහතායි.

පාසල්, විවෘත හා වාණිජකරණ ඛාණ්ඩ යටතේ ජයග්‍රාහී නව නිපුයැම්කරුවන් අතුරින් හොඳම නව නිපැයුම් 3ක් සඳහා ශ්‍රී ලංකාව තුළ නව නිපැයුම්කරුවකුට හිමිවන ඉහළම සම්මානය වන දසිස් සම්මානය පිරිනමනු ලැබීය.

එමෙන්ම පාසල්, විශ්වවිද්‍යාල, විවෘත, වාණිජකරණ ඛාණ්ඩ යටතේ නව නිපැයුම්කරුවන් 300කට අධික පිරිසකට රන්, රි දී, ලෝකඩ පදක්කම් හා සහතික පත්‍ර ප්‍රදානය කෙරුණු අතර මෙහි දී නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වූ ගුරුවරුන් ද විශේෂ ඇගැයීමට ලක්කෙරිණ.

තෝරාගන්නා ලද නව නිපැයුම් 3ක් වාණිජකරණය සඳහා මෙහි දී මුල්‍ය ප්‍රතිපාදන ප්‍රදානය කෙරිණ.

මෙරට ඉංජිනේරු ක්ෂේත්‍රයේ පියා ලෙස සැළකෙන කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයකු මෙන්ම ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ පළමු කොමසාරිස්වරයා වූ දේශබන්දු, ආචාර්ය ඒ.එන්.එස්. කුලසිංහ මහතාගේ ජන්ම දිනය යෙදෙන ඔක්තෝබර් 26 වැනි දා නව නිපැයුම්කරුවන්ගේ ජාතික දිනය 2016 වසරේ දී ප්‍රකාශයට පත්කරන ලද්දේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.

එම ජන්ම දිනය සමරනු වස් කුලසිංහ මහතාගේ ජ්‍යෙෂ්ඨ පුත් උපුල් කුලසිංහ මහතා සමඟ ජනාධිපතිවරයා, නව නිපැයුම්කරුවන්ගේ කොමිසම් කොමසාරිස්වරයා, විෂය භාර අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍ය හා රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස කේක් කැපීම ද සිදුවිය.

නව නිපැයුම්කරුවන්ගේ ජාතික දින සමරුවේ දී ජනාධිපති සම්මානයට පාත්‍රවන නව නිපැයුම්කරුවන් තෝරාපත්කරගැනීම සිදුකෙරෙනුයේ ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ක්ෂේත්‍ර 14ක් ආවරණය වන පරිදි ඒ ඒ විෂයයන්හි විශේෂඥ ජූරි මණ්ඩලයක් මගිනි.

නව අදහස දක්වන්න