කැලිෆෝනියාවේදී ගසට ගසක් හමුවේ | දිනමිණ

කැලිෆෝනියාවේදී ගසට ගසක් හමුවේ

 ව්‍යාපාරිකයා වෙයින්බර්ග් දෙස දෑස් අදහාගත නොහැකිව බලා සිටියේය. ඉන්පසු ඔහු මේ ප්‍රශ්නය වෙයින්බර්ග් වෙත එල්ල කළේ ඔහුගේ බොරු බල සිඳෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

“ඔයාට ආපහු යන්න ටිකට් එකක් නැහැ. මම ඔය කියන විදිහට ඔයාව මඟ දාලා ගියොත් ඔයා කොහොමද ගෙදර යන්නේ?“

“මට ඔහේගේ කෙහෙම්මල් ටිකට් ඕනේ නැහැ. ඔහේ හිතුවද මම ආතක් පාතක් නැති නිකමෙක් කියලා. මටත් විසිකරන්න සල්ලි තියෙනවා.“ වෙයින්බර්ග් එලෙස දෙස් දෙවොල් තිබ්බේ, සාක්කුවෙන් මුදල් නෝට්ටු මිටියක් පිටතට ඇද ව්‍යාපාරිකයා ඉදිරියේ වනන්නට ගනිමිනි. ඉන් ඔහු මෙල්ල වූ බව පෙනුණි. ව්‍යාපාරිකයා වෙයින්බර්ග්ගෙන් සමාව ඉල්ලුවේ අත්වැරදීමක් සිදුවු බව පවසමිනි.

“මිස්ටර් වෙයින්බර්ග් මම ඉක්මන් වුණා වැඩියි. මට කණගාටුයි. ඔයා වංචාකාරයෙක් කියලා බොටොනිලා කිව්වම මම එකපාරටම කලබල වුණා. “

“ඒක අමතක කරලා දාන්න. ඔයා කලබල වෙච්ච එක සාධාරණයි. මට බොටොනිලා එක්ක ප්‍රශ්නයක් තිබ්බ එක ඇත්ත. අපි දෙගොල්ලෝ අතර ඇති වෙච්ච ප්‍රශ්නේ උසාවියට ගෙනිච්චේ මගේ ඕනකමට. ඒකට එයාලා මාත් එක්ක කේන්තියෙන් ඉන්නේ. ඒකයි එයාලා ඔයාට මං ගැන වැරදි වැටහීමක් ඇති කළේ. “ වෙයින්බර්ග් පැවසුවේ ආවේගශීලී ස්වභාවයෙන් මිදී, සන්සුන් වෙමිනි.

ඉන්පසු ව්‍යාපාරිකයා සිය අභිමතයට නම්මා ගැනීමට වෙයින්බර්ග්ට තවත් වැඩ පෙන්වීමට සිදුවුයේ නැත.

“අන්තිමේ දී මම එයාගේ ඩොලර් දහ දාහකට විදලයි නැවතුණේ. දක්ෂ රැවටිලිකාරයෙක් වෙන්න නම් ඉක්මණට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. බලාපොරොත්තු නොවෙච්ච විදිහට වැඩ සිද්ධවෙද්දි ආයේ හිත හිත කල් අරින්න බැහැ. ක්ෂණිකව හිතලා ක්‍රියාත්මක වෙන්න ඕනේ.“ වෙයින්බර්ග් කියන්නේ පරණ මතකවල මිහිරේ ගිලෙමිනි.

ක්‍රමක්‍රමයෙන් ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස්හි ක්‍රියාකාරිත්වය ක්‍රමානූකුල වන්නට පටන් ගත්තේ, මුදල් අවශ්‍යතාවයෙන් දරුණු ලෙස පෙළුණු සුපිරි පැළැන්තියේ බලවතුන් පවා මනඃකල්පිත යුරෝපීය බැංකුවලින් ණය ගැනීමට දිනෙන් දින ඇදී ආ නිසාය. වෙයින්බර්ග් ඇන්දීමට ආ ඔහු වැනිම රැවටිලිකරුවන්ද ඒ අතර නොසිටියේ නැත. අමුතු තාලේ අරමුණු වෙනුවෙන් මුදල් අවශ්‍යතාවයෙන් පෙළුණු අයද ඒ අතර වූහ. ඒ නව නිපැයුම්කරුවන්ය. වෙයින්බර්ග් වෙත පැමිණි එබඳු එක් නව නිපැයුම්කරුවකුට මුදල් අවශ්‍ය වූයේ අහස සූරන ගොඩනැඟිලි නගරයකින් නගරයකට හෙලිකොප්ටරයකින් ඔසවාගෙන යාමට හැකි තරම් ප්‍රබල කාන්දමක් නිපදවීමටය!

තමා වෙත ආ ගනුදෙනුකරුවන් තූළ විශ්වාසය ගොඩනැඟීමට වෙයින්බර්ග් අනුගමනය කළ උපක්‍රම කිහිපයක් තිබුණි. ඉන් එකක් වූයේ ඩොලර් 2, 500ත් 3, 000ත් අතර මුදලට තක්සේරු සිදුකිරීමයි. මේ සඳහා ගනුදෙනුකරුවන්ගේ වත්කම් නිරීක්ෂණය කිරීමේ ගවේෂණවල නියුතු වූයේ වෙයින්බර්ග්ගේ සහායක ‘ලු හොස්ට්ය.‘ හොස්ට්ගේ ව්‍යාපාරික පෙනුම ගනුදෙනුකරුවන්ගේ සිත් ගත්තා පමණක් නොව මෙම තක්සේරු කිරීමේ ක්‍රියාවලිය නිසා ස්විස් බැංකු මගඩියට වැදගත්කමක් හා නීත්‍යානූකුලභාවයක්ද ලැබිණි. එවැනි තවත් උපක්‍රමයක් වූයේ ගනුදෙනුකරුවන්ට ලිපි යැවීමේදි ඇමරිකානු තැපැල් සේවය යොදා නොගැනීමයි. විවිධ මුල්‍යමය කොන්දේසි මත ණය ලබාදීමට කැමැත්ත පළ කරමින් අක්වෙරළ බැංකු විසින් ගනුදෙනුකරුවන්ට යවන ලිපි වෙයින්බර්ග්ගේ සාම්පලයට අනුව වංචාකාරී වූ බැවින් ඒවා තැපෑලෙන් යැවීම ෆෙඩරල් නීතියට පටහැනි විය. මේ නිසා වෙයින්බර්ග් කළේ එවැනි ලිපි වානිජ ගුවන් සේවා මඟින් යැවීමයි. ඊට හේතුව ලෙස දැක්වූයේ ඇමරිකානු තැපැල් සේවයේ මන්දගාමිත්වයයි. වෙයින්බර්ග්ගේ මේ ක්‍රමය ගනුදෙනුකරුවන්ගේ සිත් ඇද බැඳ ගැනීමට ප්‍රධාන හේතුවක් විය. පොලිසියට හොරා සිය වංචා සාර්ථකව කරගෙන යාමට වෙයින්බර්ග් සමත් වු තවත් හේතුවක් නම් එකවර විශාල ප්‍රමාණවලින් මුදල් වංචා නොකිරීමයි. වංචාවක සාර්ථකත්වයට එහි ප්‍රමාණය බෙහෙවින් බලපාන බැව් හේ දැන සිටියේය. සුළු ප්‍රමාණවලින් මුදල් වංචාකරන විට කිසිවකුට සැක සිතෙන්නේ නැත. යම් හෙයකින් තමන් වංචාවකට ලක් වු බවට සැක සිතුණත් අහිමි වූ මුදල නීතිය හමුවට ගොස් කරදරවීමට තරම් වටින්නේ නැතිනම් බොහෝවිට එවැන්නකට ඔවුන් පෙළඹෙන්නේද නැත. වින්දිතයා චෝදනාව රැගෙන පොලීසියට ගියත්, වංචා කෙරුණු මුදල කුඩා නම් පොලිසියෙන්ද ඊට අවධානයක් ලැබෙන්නේ නැත. වෙයින්බර්ග්ගේ ජයග්‍රහණයේ රහස වූයේ එයයි. ඊට අමතරව තවත් රහසක් තිබුණි. ඒ වෙයින්බර්ග් කිසිදාක ආදායම් බදු නොගෙවීමයි.

“මම සල්ලි හොයන්න ආණ්ඩුවට නිකන් දෙන්න බැරි තරම් මහන්සි වුණා. අනික මට කියලා රාජකාරි ස්ථානයක් තිබුණෙත් නැහැ. මගේ වැඩවල වාර්තා මොකවත් කොළවල ලියලා තියාගත්තෙත් නැහැ. ඒවා ඔක්කොම ලියැවිලා තිබ්බේ මගේ ඔළුවේ. ඒ නිසා කාටවත් මුකුත් ඔප්පු කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. කොටින්ම මෙල් වෙයින්බර්ග් කියලා තකතීරුවෙක් ඉන්නවා කියලා ආණ්ඩුවට දැනගන්න විදිහක් තිබ්බේම නැහැ. “

සුළු ප්‍රමාණවලින් වංචා කරමින් වුවද වසරකට ඩොලර් දෙලක්ෂ පනස්දහසක පමණ ආදායමක් ලැබීමට වෙයින්බර්ග් සමත් විය. ලු හොස්ට්ගේ වියදම්, ගනුදෙනුකරුවන් පිනවීමට වැයවු මුදල්, රියැදුරන් යෙදවූ සුපිරි මෝටර් රථවල කුලිය, ඩයෑන්ව මිල අධික අභරණ හා ඇඳුම් පැලඳුම්වලින් සැරසීමට වැය වූ වියදම් යනා දී සියල්ල පියවූ පසුද එතරම් ශුද්ධ ලාභයක් ඔහුට නිතරම පාහේ හිමි විය. අවදානමකට ලක්නොවී එකවර වැඩි මුදලක් කඩා ගැනීමට අවස්ථාවක් ලැබුණූ විට වෙයින්බර්ග් කල් මරමින් සිටියේ ද නැත. වරක් ඔහු එලෙස රවටනු ලැබුවේ ඇමරිකාවේ නම ගිය දැවැන්ත ඛනිජ තෙල් සමාගමකි. ඔවුන්ගේ වත්කම් තක්සේරු කිරීමට යැයි පවසා වෙයින්බර්ග්, මාස ගණනක් ලු සමඟ සමාගමට අයත් ලියර් වර්ගයේ ගුවන් යානාවලින් රට පුරා කරක්ගැසුවේය. ඒ අතර ඔහු කළේ, ණය ලබාගැනීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන තවත් ගනුදෙනුකරුවන් ගුවන් තොටුපළවල දී මුණගැසීමට කටයුතු සලස්වා ගැනීමයි. තමාගේම පුද්ගලික ගුවන්යානයකින් බැස එන වෙයින්බර්ග් දැකීම අපේක්ෂාභංගත්වයට පත්වු ගනුදෙනුකරුවන්ගේ සිත්වල මල් පුබුදන්නක් වු බව අමුතුවෙන් කිව යුතු නැත.

ව්‍යාපාරික ජාවාරම් දලුලා වැඩෙන විට වෙයින්බර්ග් තවත් සත්‍යතාවක් අනාවරණය කර ගත්තේය. ඒ වෙනත් ඕනෑම නීත්‍යානූකුල ව්‍යාපාරයකට මෙන් මෙබදු ව්‍යාපාරික මට්ටමේ මගඩිවලටද ‘වැඩියෙන් වැඩ වදින‘ කාලසීමාවන් ඇති බවය.

“මගඩිවලට හොඳම කාලේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාස. අන්තිම සවුත්තුම කාලෙ ජනවාරි, පෙබරවාරි, මාර්තු, ජුලි, අගෝස්තු මාස. හේතුවක් නම් දන්නේ නැහැ. ඒත් කවුද හිතුවේ මේ වගේ මගඩිවලටත් වැඩ වදින සීසන් එකක් තියෙනවා කියලා?“ වෙයින්බර්ග් අසන්නේ උපහාසය දනවන අවිශ්වාසයකිනි. එමෙන්ම මොන ක්‍රමයකින් හෝ මුදල් සොයා ගැනීමේ අරමුණින් තමා වෙත එන ගනුදෙනුකරුවන් කිසිවකුට වෙයින්බර්ග්ගෙන් අනුකම්පාවක් ලැබුණේ නැත. එය සාධාරණීකරණයට ඔහු හේතු දැක්වුයේ, ගනුදෙනුකරු අවංක පුද්ගලයකු නම් ණයක් පතා කිසිවිටෙක තමන් වෙත පැමිණෙන්නේ නැතිබව කියමිනි.

“හැමෝම වගේ මං ගාවට එන්නේ ණය ගන්න පුළුවන් හැම තැනටම ගිහිල්ලා පචවෙලා. ඒ කියන්නේ ආරක්ෂිත තැන්පතු නැති හින්දා බැංකුවලින් ප්‍රතික්ෂේප වීම වගේ දේවල්වලට මුහුණු දීලා. එහෙම තියෙද්දිත් මං ගාවට ඇවිත් නැති වත්කම් ගැනයි, අවංකකම ගැනයි පුරාජේරු ගහනවා. මම කරන්නේ එයාලව විශ්වාස කරන බව අඟවන එක. මාව ගොනාට අන්දන්න එයාලා හදනකොටම මම එයාලගේ හොඳ ගාණකට වැඩේ දීලා මාරු වෙනවා. රැවටිලිකාරයෙක්ගේ ආදර්ශ පාඨය ‘එයාලා තමාට වැඩේ දෙන්න කලින් තමා එයාලට වැඩේ දෙන්න ඕනේ‘ මම ඒක අකුරටම පිළිපැද්දා. “

හොර මගඩි ව්‍යාපාරය වඩාත් පුළුල් වෙද්දි වෙයින්බර්ග්ට තමා වැනිම වංචාකරුවන් රැසක් හඳුනාගන්නට ලැබිණි. මහද්වීප පහක් පුරා විසිරුණු මෙම පිරිස අක්වෙරළ බැංකු, නීත්‍යානූකුල බැංකු, ණය දෙන ආයතන, ඉඩම් අලෙවි සමාගම් හා තැරැව් ආයතන මෙහෙයවූවන් වූ අතර විශේෂත්වය වූයේ රාජකීයයකුගේ සිට සෆාරි සංචාර සංවිධායකයකු දක්වා වූ ඕනෑම චරිතයක් රඟ දැක්වීමට ඔවුන් සතු වූ අපූර්ව හැකියාවයි. වෙයින්බර්ග්ට සිය ජාවාරම් සාර්ථක කර ගැනීමෙහිලා මෙවැනි සබඳකම් ඉතා වැදගත් විය. ඒ වෙනුවෙන් එබඳු උදව්වල හිලව්වට වෙයින්බර්ග්ද පෙරළා අදිමදි කිරීමකින් තොරව උදව් කළේය. මෙවැනි ගනුදෙනුවල දී ඔහු පුද්ගල චරිත පිළිබඳ තවත් වැදගත් අනාවරණයක්ද සිදුකළේය. ඒ කූට වංචනිකයන්ට ඕනෑම ස්වරූපයකින් පෙනී සිටිය හැකි බවය. නිදසුනක් ලෙස පිටිසරබද පැරණි පන්නයේ මන්දිරයක වෙසෙන වැදගත් මහලු මහතකු තුළ වුවද තක්කඩි කෛරාටිකයකු සැඟවී සිටිය හැකිය. ඇතැම්විට එම කෛරාටිකයා සාර්ථක ව්‍යාපාරිකයකු හෝ පාතාල මැරවරයකු හෝ විය හැකිය. පුද්ගලයාගේ බාහිර ස්වරූපයෙන් ඔහුගේ වංචනිකත්වය කිරා මැන බැලීම කිසිසේත් ප්‍රායෝගික නොවන බව තහවුරු කර ගැනීමට කළ යුත්තේ වෙයින්බර්ග් හමුවීමය. එලෙස කියන්නේ ඒ සම්බන්ධයෙන් මදි නොකියන්නට අත්දැකීම් ඇති ඔහුමය.

ස්විස් බෑන්ක් ඇසෝසියේට්ස් සමඟ ජාවාරම් කරගෙන ගිය අවධියේදි වෙයින්බර්ග්ට ගනුදෙනු කිරීමට ලැබුණු වංචනිකයන් අතරින් මතකයේ රැඳුණු සුවිශේෂී චරිත කිහිපයකි. ටෙක්සාස් නුවර සූර කපටි කෙල්ල නොහොත්, ජූඩි ජොන්සන්, පුවර්ටෝ රිකෝහි රැවටිලිකරුවන්ගේ රජු ‘රෆායෙල්‘, පෙරදිග ව්‍යාපාරිකයන්ගෙන් වාර්ෂිකව කප්පම් ගත් නිව්යෝක් නුවර පිලිපීන නාකිච්චිය හෙවත් ‘මකර ආර්යාව‘ හා ටාහොන්ගාහි ‘මහාරාජා‘ නොහොත් ඩොක්ටර් හාස් එවැන්නන්ය. ඒ අතරින් මහාරාජාගේ කතාව අහන්නටම වටිනා එකකි. ඔහු අවසානයේදි වේදිකාවෙන් බැස ගියේ වෙයින්බර්ග්ට හොඳ ගණනකට තට්ටු කිරීමෙන් පසුවය.

වෙයින්බර්ග්ට මහාරාජා හමුවන්නේ කැලිෆෝනියාවේ මොපිඩ් ඔෆ් ඇමරිකා නමැති සමාගම පෙරගෙවුම් මගඩියකින් සාර්ථකව අන්දමින් සිටියදීය. යුරෝපීය බැංකු හා ව්‍යාපාර සමඟ වෙයින්බර්ග්ගේ සබඳතා කෙරෙහි අතිශයින් පැහැදුණු මොපිඩ් සමාගමේ බලධාරියකු වරක් මහාරාජා විසින් ඔවුන්ට ලබා දී තිබුණු ඩොලර් මිලියන 2.8ක් වටිනා චෙක්පත්වල එකතුව ඔහුට පෙන්වූයේය. ස්විට්සර්ලන්තයේ ‘ඕවර්සිස් ආයෝජන බැංකුවේ මහාරාජාගේ ගිණුම්වලින් කැපෙන්නට ලියා තිබුණු මෙම චෙක්පත් සියල්ල ප්‍රතික්ෂේප වී තිබුණෙන් මොපිඩ් සමාගම මහත් ගැටලුවකට මුහුණ පා තිබුණි.

රොබට් ඩබ්. ග්‍රීන් විසින් රචනා කළ මෙල්වින් වෙයින්බර්ග්ගේ චරිතාපදානය ‘ස්ටිං මෑන්‘ කෘතියේ පරිවර්තනය

රුක්ලන්ති පෙරේරා

හෙට රතු කුරුස දියමන්තියේ කතාව

නව අදහස දක්වන්න