ගැලපෙන රැකියාව | දිනමිණ

ගැලපෙන රැකියාව

සංකීර්ණ මිනිස්‌ අවශ්‍යතා හා වුවමනා පවතින අද සමාජයේ, ඒවා සපුරා ගැනීම සඳහා ප්‍රධාන වශයෙන් වැදගත් වනු ලබන්නේ මුදල්ය. (මෙහිදී මා අදහස්‌ කරනු ලබන්නේ මිනිස්‌ අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන මූල්‍යමය වටිනාකමක්‌ ඇති භාණ්‌ඩ හා සේවා මිලදී ගැනීම්ය.) මුදල් ඉපයීමට තමා විසින් රැකියාවක්‌ තෝරා ගැනීමේදී මුදල් පමණක්‌ නොව, තමාගේ අධ්‍යාපන සුදුසුකම්වලට සරිලන, සමාජය පිළිගත්, වැදගත්, රැකියාවක්‌ කිරීම බොහෝ දෙනාගේ අපේක්ෂාවයි. මේ සඳහා තම මව්පියන්ද, තම දරුවාගේ මූලික අධ්‍යාපනයේ සිට ඔහුට හෝ ඇයට රැකියාවක්‌ ලැබෙන තුරු විශාල කැපකිරීමක්‌ සිදුකරනු ලබයි. (මුදල් ඉපයීම පමණක්‌ මූලික කරගෙන, කුමන හෝ රැකියාවක්‌ කිරීමට කැමැති පුද්ගලයන්ද සිටී.) මීට අමතරව තමාගේ සුදුසුකම්වලට ගැලපෙන රැකියාවක්‌ නොලැබීම නිසා, සේවා වියුක්‌තව සිටින පිරිසක්‌ද වෙති. මේ සියල්ලටම අමතරව තමා රැකියාවක නිරත වුවද, රැකියාව නිසා මානසිකව පීඩා විඳින, එනම් රැකියාවෙන් තෘප්තිමත් නොවන සේවා නියුක්‌තිකයෝද බොහෝ සිටිති. මෙම හේතු කාරණා නිසා සමහර පුද්ගලයන් තම රැකියාවෙන් ඉවත්වී, තමාගේම ව්‍යාපාරයක්‌ කිරීමට පෙළඹී සිටී. කිසිම අධ්‍යාපන සුදුසුකමක්‌ නොමැති පුද්ගලයන්ට, නොසිතූ අන්දමින් උසස්‌ රැකියාවක්‌ ලැබෙන අවස්‌ථාද දක්‌නට ලැබේ. මේ අද සමාජයේ "රැකියාව" සම්බන්ධව පැන නගින ප්‍රධාන කාලීන ගැටලු ය.

රැකියාව තීරණය කිරීමේදී සම්ප්‍රදායික ජ්‍යොතීෂයට අනුව 10 වැන්න, 10 වැන්නාධිපතියා, 10 වැන්නාධිපති සිටින නවාංශකාධිපතියා, 10 වැන්නේ ඇති ග්‍රහ පිහිටීම් ආදියද, නාඩි ජ්‍යොතීෂයට අනුව ශනි මුල්කරගෙන පලාඵල කථනය සිදුකරයි. ඊට අමතරව 11 වැන්න, දෙවැන්න ගැනද පරීක්‍ෂා කළ යුතුවේ. මෙමගින් පුද්ගලයකුගේ හැකියාව හා ආදායම් ලැබීම තීරණය කළ හැකි අතර, එය කුමන දිශාවකට (වෘත්තියකට) ගමන් කරන්නේද යන්න තීරණය කළ හැක. එසේම ගත කරන මහ දශාවත්, අන්තර් දශාවත්, ග්‍රහයන්ගේ ගෝචර ගමන් කිරීමත්, ඒරාෂ්ටක ආදිය සැලකිල්ලට ගෙන රැකියාවේ උසස්‌වීම් රැකියා අහිමිවීම්, සිත් තැවුල්, කරදර පීඩා, ආදායම අඩුවීම හා වැඩිවීම ආදිය තීරණය කරයි. එසේම කේන්ද්‍රය තුළ පිහිටි, විවිධ වෘත්තිකයන් බිහිකිරීමේ යෝග විවිධ ව්‍යවසායකයන් බිහිකිරීමේ යෝග සලකා බැලිය යුතුය. සමහර විට මෙවැනි යෝග කීපයක්‌ පිහිටන පුද්ගලයෝද දක්‌නට සිටිති. බොහෝ විට මෙවැනි පුද්ගලයන් මාර්ග කීපයකින් ධනය රැස්‌කරන අවස්‌ථා දක්‌නට ඇත.

මෙහිදී අධ්‍යාපනය පමණක්‌ පදනම් කරගෙන වෘත්තිය තීරණය කළ නොහැක. එහෙත් අධ්‍යාපනයට අදාළව ලැබූ වෘත්තියකට එහා ගිය ව්‍යවසායකයෙක්‌ ධනවතෙක්‌ වීමේ වාසනා යෝගය සමහර කේන්ද්‍රවල යෙදේ. මෙහිදී ඉහත සඳහන් කළ ග්‍රහයන්ට අමතරව ධන කාරක ගුරුගේ බල දුබලතාවද තීරණය කළයුතු වේ. කෙසේ වෙතත් කේන්ද්‍රයක ග්‍රහයන් ප්‍රබලනම් (උච්ච, ස්‌වක්‍ෂේත්‍ර, මුල ත්‍රිකෝණ, දිග්බල ආදී) පුද්ගලයකු අගනාකම්වලින් යුක්‌ත පුද්ගලයකු බිහිකරයි. එවැනි අය කිසියම් වෘත්තියක නියැලුනත්, කිසියම් ව්‍යාපාරයක නියැලුනත්, තමාගේ අගනාකම්වලට හානියක්‌ නොවන ආකාරයට කටයුතු කරයි. එවැන්නන් යටතේ සේවය කරන සේවකයෝ ඉතා වාසනාවන්ත වෙති. එබැවින් සේවකයෝ මෙවැනි ප්‍රධානීන්ගේ හොඳකම් නිතරම කියති. එසේම ග්‍රහයන් ප්‍රබල නොවන පුද්ගලයන්ගේද, කේන්ද්‍රයේ යෙදී ඇති විවිධ යෝගයන් මගින් දියුණු වූ අවස්‌ථාවන් කොතෙකුත් ඇත. එහෙත් ඔවුන් සතුව අගනාකම් ඉතා අඩුය. මෙවැනි පුද්ගලයන් වෘත්තියෙන් හා ව්‍යවසාය තුළින් ඉතා දියුණුව පෙනුනද ඔවුන්ගේ අධ්‍යාත්මය දුර්වල වේ. එය තුළින් ඔවුන්ගේ පුනර්භවය යහපත් නොවන අවස්‌ථාවක්‌ කේන්ද්‍රය තුළින් පෙන්නුම් කරයි.

රැකියාවල, ව්‍යාපාරවල ප්‍රශ්න පැන නැගීමට පෙර කේන්ද්‍ර පරීක්‍ෂාවෙන් මාර්ග උපදේශනයක්‌ ලබාගත හැක. එසේම යෙදෙන්නා වූ අපල උපද්‍රව සඳහා පිළිවෙත් කිරීම හා ධාර්මිෂ්ඨව ජීවත්වීම තුළින්, ඒවා සමනය කරගත හැකි අතර ඒවායේ බලපෑම අවම කරගත හැකිවේ. තවද රැකියාව සම්බන්ධ ප්‍රශ්නයක්‌ පැන නැගුණු අවස්‌ථාවලදී සාමූහික තීරණ ගැනීම සහ ඉවසීම මගින් තමා තුළින්ම ගැටලුව සඳහා පිළිතුරක්‌ සොයාගත හැක.

ජ්‍යොතීර්වේදී
ගෝඨාභය මුදලිගේ

නව අදහස දක්වන්න