සූනියම් දෙවියෝ | දිනමිණ

සූනියම් දෙවියෝ

සූනියම් දෙවියන්ගේ උපත පිළිබඳව ජනප්‍රවාදයෙන් විවිධ මත තිබේ. මේ දෙවියන්, වසඟපුර විචිල රජුගේ සහ නිර්මලා දේවියගේ පුතෙක්‌ ලෙස උපන් බවත් ඔඩ්ඩි දේශයේ ඔඩ්ඩි නම් රජුට දාව යදම්බරී නම් බිසවුන් වහන්සේගේ කුසයෙන් මෙලොවට පහළ වූ බවත් සඳහන් වේ.

සූනියම් දෙවියන් මිනිසාගේ ගෞරවයටත් භක්‌තියටත් පාත්‍ර වී ඇත. මේ දේවාත්මය යුක්‌තිය පසිඳලන්නා වූද යහපත කරන්නන්ට යහපත් ප්‍රතිඵල ද අයහපත කරන්නන්ට අයහපත් ප්‍රතිඵලද ලබා දෙනු ඇති බව සඳහන්ය. සූනියම් දෙවියන්, අර්ධ දේව ස්‌වරූපයක්‌ද අර්ධ යක්‍ෂ ස්‌වරූපයක්‌ ද සහිත දෙවි කෙනක්‌ බවට ප්‍රකටය.

පුරපක්‌ෂයේදී දෙවියකු ලෙසද අව පක්‌ෂයේදී යක්‌ෂයකු ලෙසද ගමින් ගම දොරෙන් දොර සංචාරය කරමින් ලක්‌වාසීන්ගේ දුක - සැප, නඩු - අවනඩු සොයා බලන බවත් අසරණ ජනී ජනයාගේ සිත් පනත් සුවපත් වන ආකාරයේ නිසි විසඳුම් මෙකී දෙවියන්ගෙන් ලැබෙන බවත් පොත පතේ සඳහන්ය.

සූනියම් දෙවියෝ, රාත්‍රි කාලයේ සුදුවන් වස්‌ත්‍රාභරණයෙන් සැරසී ඉතා ශාන්ත ස්‌වරූපයෙන් ගම්බිම්වල සැරිසරණ විට පිච්චමල් සුවඳ විහිදෙන බවත් ගැමි ජනයා අතර ප්‍රකට කරුණකි. උන්වහන්සේ වෙත බුරාගෙන පනින සුනඛයන්ට තම අත රැඳි සෝලු ලීයෙන් පහර දෙන බවත් එසේ පහර කෑ සතුන් හඳුනාගත නොහැකි කොන්ද අප්‍රාණික වන රෝගයකින් මියයන බවත් බැතිමතුන් තුළ දැඩි විශ්වාසයක්‌ පවතී.

සිදුහත් කුමරු ගිහිගෙයින් නික්‌ම ගියේ කන්ථක නම් අශ්වයා රැගෙනය. කන්ථක අශ්වය ලය පැලිලා මිය යැමෙන් පසු සූනියම් දෙවියන්ගෙ නාමයෙන් දේවත්වයක්‌ ලබා පුද සත්කාර ලබන බව පැරණි දේවකතාවල සඳහන් ය. සූනියම් දෙවියන් ගමන් බිමන් යැමට සිය වාහනය ලෙස තෝරාගෙන ඇත්තේද සුදු අශ්වයෙකි. මේ නිසා අශ්වයන්ට සූනියම් දෙවියන්ගේ බැල්ම ඇති බව ජනයාගේ විශ්වාසයකි. අශ්වයන් හට ගසා ඇති ලාඩම් ඉබේ හැලී ගිය පසු ඒවා රැගෙන පිරිසුදු කොට ජීවම්කර නිවෙස්වල, ව්‍යාපාරික ස්‌ථානවල ඉදිරිපස එල්ලයි.මේ එල්ලීමෙන් ඇස්‌වහ කටවහ දුරුවී සොර සතුරු බියෙන් මිදී සෞභාග්‍ය උදාවී සූනියම් දේවතාවුන්ගේ ආරක්‌ෂාව ලැබෙන බවට ඇති විශ්වාසයක් වේ.

සූනියන් දේවතාවුන් අදහන තැනැත්තා මසුරෙකු නොවිය යුතුය. නිතර කෝපනොවන්නකු විය යුතු බවත් අනවශ්‍ය ලෙස දොඩවන වාචාලයකු නොවිය යුතු බවත් පොත පතේ සඳහන්ය. අන් අයගේ නුගුණ කියමින් විවේචනය කරන්නකු නොවිය යුතු අතර කේලාම්, ඕපාදූප කියවීමෙන් වැළකී අන් අයගේ සිත් නොරිදන අයෙක්‌ද විය යුතුය. ඒ තැනැත්තා මුසාවෙන් අනුන් රැවටීමෙන් බේබදු කමෙන් සල්ලාල ගති පැවතුම්වලින් ඉවත්ව දැහැමිව කල්ගෙවන අයකු විය යුතුය.

*සූනියන් දෙවිඳු නමැදීම
ශිව නමස්‌තු නමෝ රාමඃ
කන්ද සේනා සමාගමඃ
වඩිග තන්ත්‍ර මණි කණ්‌ඨඃ
ඔඩ්ඩි මංගල නමෝ නමඃ
අග්නි ඛන්ධඤ්ච හස්‌තේත හස්‌තේන
වඩිග කර්ගතේ
මුඛේන විෂ සර්පේන
ශිර්ෂේ පංච කේෂකේ
උදරේ නාග බන්දාමී
නීලෝත් තුරඟ වාහනං
සූනියන් දේවතා නාම
මයිහං පාදතේ නමෝ නමඃ
සූනියන් දේවතා පිං දීමේ ගථා
නා නා වණ්‌ණ මහා තේජෝ
ඔදාත භය වාහනෝ
ග්‍රාම සඤ්චාරකෝ දේවෝ
ඉදං පුංඤනු මෝදතු
සියලු දුක්‌ දුරලන
දෙව් තෙද බලය සසොබන
විහිදුවන අපමණ
සූනියන් දෙවි මෙපින් ගනු මැන
දා වෙමින් නුවර පඬුවස්‌ නිරිඳුන්ට
තේජසින් තුරඟ වාහන වැඩ ඉන්ට
මා තුටින් කියන දෙය ඉටුකර දෙන්ට
සූනියන් දේවතාවෙනි මේ පිං ගන්ට
*සූනියන් දෙවිඳුන්ට කරන කන්නලව්වක්‌

ශ්‍රී සිද්ධ බල ඇති ගම්බාරව වැඩ වසන තුරඟ වාහනාරූඪ සැඩාලු පහක්‌ යොදාගෙන අතකින් ගිනි කබල දරා අතකින් ත්‍රිශූලයක්‌ද කඩුවක්‌ද සර්පයාගෙන උදරයේ නාග මාලාවක්‌ද ඇතිව යකුන් පිරිවරා වැඩවසන මහා තෙද බල දරන බලතර සිද්ධ සූනියම් දෙවියනේ මා විසින් කියන මේ කන්නලව්ව ඔබ වහන්සේගේ දිව කනින් අසා දිව නෙතින් බලා ඉෂ්ට කර දෙන සේක්‌වා!

(පොත පත ඇසුරෙනි.)
නන්දා උඩවත්ත

නව අදහස දක්වන්න