මෝදි නැව­තත් අග­මැති | දිනමිණ

මෝදි නැව­තත් අග­මැති

ධම්මික සෙනෙවිරත්න

ඉන්දීය ඡන්ද ඉති­හා­සය අලු­තින් ලියයි

අව­සන් ප්‍රති­ඵල නිකුත් වීම­ටත් පෙර සිය පක්ෂය ලැබූ පරා­ජය පිළි­ගත් රාහුල් ගාන්ධි අග­මැති මෝදිට සුබ පැතීය. ජනතා තීන්දු­වට ගරු කරන බව ඔහු කියා තිබිණි. එක දිගට දෙවන වතා­ව­ටත් ලැබූ පරා­ජ­යත් සමඟ ඔහුගේ නාය­ක­ත්වය අර්බු­ද­ය­කට ලක්වන ලකුණු දැන­ට­මත් පහළ වී තිබේ. පක්ෂ නාය­ක­ත්වය තරුණ පෙළ අතට ලැබෙ­මින් රාහුල් ඊට පත්වු­වද මෝදි වැනි පරි­ණත නාය­ක­ය­කුට අභි­යෝග කිරී­මට ඔහුට නොහැකි වී තිබේ. මේ තත්ත්වය තේරුම් ගනි­මින් කොන්ග්‍ර­සය මෙවර ඔහුගේ සොයු­රිය ප්‍රියංකා ගාන්ධි කර­ළි­යට රැගෙන ආ නමුදු ඇයගේ කැරි­ස්මාව පවා කොන්ග්‍ර­ස­යට මැති­ව­රණ ජය රැගෙන ඒමට ප්‍රමා­ණ­වත් නොවීය.

සති හයක් පුරා වට හත­කින් යුතුව පැවැති ඉන්දීය මහ මැති­ව­ර­ණ­යෙන් භාර­තීය ජනතා පක්ෂය (බී. ජේ. පී.) ලැබූ විශිෂ්ට වාර්තා­ගත ජය­ග්‍ර­හ­ණ­යත් සමග අග­මැති නරේන්ද්‍ර මෝදිට තවත් වසර 5 ක කාල­සී­මා­වක් සඳහා ජනතා වරම හිමි­විය. පාර්ලි­මේ­න්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩ­ලය හෙවත් ලෝක් සභාවේ බහු­තර බලය හිමි­කර ගැනී­මට ආසන 272 ක් ලබා­ගත යුතුය. සමස්ත ආසන සංඛ්‍යාව 543 කි. එරට මැති­ව­රණ ඉති­හා­සය අලුත් කර­මින් නිද­හ­සින් පසු ඉන්දීය ඉති­හා­සයේ තනි දේශ­පා­ලන පක්ෂ­යක් ලබා­ගත් වැඩිම ආසන සංඛ්‍යාව ලෙස ආසන 300 කට වඩා දිනා­ගැ­නී­මට හින්දු ජාති­ක­වාදී බී. ජේ. පී. ය සමත්ව සිටී. රාහුල් ගාන්ධිගේ නාය­ක­ත්ව­යෙන් යුතු කොන්ග්‍රස් පක්ෂය ප්‍රමුඛ ප්‍රධාන විපක්ෂ සන්ධා­න­යට ආසන 100 ක් ලබා­ගැ­නී­මට ද අසීරු විය. කොන්ග්‍ර­සය ආසන 49 ට සීමා විය. රාහුල් මෙන්ම ගාන්ධි පර­පුර එදා සිට නියෝ­ජ­නය කළ අමෙති අසුන පවා රැක­ගැ­නී­මට මෙවර ඉන්දිරා කොන්ග්‍ර­සය අපො­හො­සත් විය. මෙම මැති­ව­ර­ණය අග­මැති මෝදිගේ හින්දු ජාති­ක­වාදී දේශ­පා­ල­නය පිළි­බඳ ජන­මත විම­සු­මක් ලෙස සැලැ­කිය හැකි බව විශ්ලේ­ෂ­ක­යන්ගේ මතය වී තිබිණි.

පූර්ව මැති­ව­රණ මත විම­සු­ම්ව­ලදී ද අග­මැති මෝදි ජය­ගනු ඇති බව පැහැ­දිලි විය. එහෙත් මෙප­මණ ආසන සංඛ්‍යා­වක් දිනා­ගනු ඇතැයි අපේක්ෂා නොකෙ­රිණි. අනු­මානය වූයේ 2014 ට වඩා ආසන සංඛ්‍යා­වක් දිනා­ගනු ඇති බව ය.

මෙවර මැති­ව­ර­ණයේ ප්‍රකා­ශිත ඡන්ද සංඛ්‍යාව මිලි­යන 600 ඉක්ම­වීය. ලියා­ප­දිංචි ඡන්ද­දා­යක සංඛ්‍යාව මිලි­යන 900 කි. සභාග ආණ්ඩු­වක් වෙනු­වට යළිත් තනි පක්ෂ ආණ්ඩු­වක් පිහි­ටු­වී­මට හැකි පරිදි බී. ජේ. පී. යට බලය හිමි­වීම විශේෂ කාර­ණ­යකි. කෙසේ වුවද බී. ජේ. පී. හවු­ල්කාර පක්ෂ ද සමඟ පාලක පක්ෂයේ ආසන සංඛ්‍යාව 350 ක් පමණ වේ. කලින් පාර්ලි­මේ­න්තුවේ බී. ජේ. පී. ය සතුවූ ආසන සංඛ්‍යාව 282 කි. එය තිස් වස­රක් තුළ කිසි­යම් පක්ෂ­යක් ලබා­ගත් ඉහ­ළම ආසන සංඛ්‍යාව විය. මෙවර තම­න්ගේම වාර්තාව බිඳ­දැ­මී­මට බී. ජේ. පී. යට හැකි වී ඇත. කලින් පාර්ලි­මේ­න්තුවේ පාලක සභා­ගය සතු වූ ආසන සංඛ්‍යාව 336 ක් විය. කොන්ග්‍ර­ස­යට එහි හිමිව තිබුණේ ආසන 44 ක් පමණි. හවු­ල්කාර පක්ෂ ද සමඟ එම සන්ධා­නය ආසන 60 කට හිමි­කම් කීවේය. 2014 දී ලැබූ මැති­ව­රණ පරා­ජය කොන්ග්‍ර­සය සිය ඉති­හා­සයේ ලැබූ දැවැ­න්තම පරා­ජ­යයි. මෙවර ද ඊට වැඩි වෙන­සක් සිදු නොවීය. රාහුල්ගේ නාය­ක­ත්වය යටතේ කොන්ග්‍ර­සය මහ මැති­ව­රණ 2 ක් පරා­ජ­යට පත්ව සිටී.

රාහුල්ගේ අර්බුදය

අව­සන් ප්‍රති­ඵල නිකුත් වීම­ටත් පෙර­දීම සිය පක්ෂය ලැබූ පරා­ජය පිළි­ගත් රාහුල් ගාන්ධි අග­මැති මෝදිට සුබ පැතීය. ජනතා තීන්දු­වට ගරු කරන බව ඔහු කියා තිබිණි. එක දිගට දෙවන වතා­ව­ටත් ලැබූ පරා­ජ­යත් සමඟ ඔහුගේ නාය­ක­ත්වය අර්බු­ද­ය­කට ලක්වන ලකුණු දැන­ට­මත් පහළ වී තිබේ. පක්ෂ නාය­ක­ත්වය තරුණ පෙළ අතට ලැබෙ­මින් රාහුල් ඊට පත්වු­වද මෝදි වැනි පරි­ණත නාය­ක­ය­කුට අභි­යෝග කිරී­මට ඔහුට නොහැකි වී තිබේ. මේ තත්ත්වය තේරුම් ගනි­මින් කොන්ග්‍ර­සය මෙවර ඔහුගේ සොයු­රිය ප්‍රියංකා ගාන්ධි කර­ළි­යට රැගෙන ආ නමුදු ඇයගේ කැරි­ස්මාව පවා කොන්ග්‍ර­ස­යට මැති­ව­රණ ජය රැගෙන ඒමට ප්‍රමා­ණ­වත් නොවීය.

අග­මැති මෝදිගේ පළමු පස් අවු­රුදු ධුර කාල­සී­මාව තුළ ඉන්දි­යාවේ විරැ­කි­යාව වාර්තා­ගත ලෙස ඉහළ ගොස් තිබිණි. ගොවි­පොළ ‍ක්ෂේත්‍රයේ ආදා­යම් පහත බැස තිබූ අතර කාර්මික නිෂ්පා­දන ද අඩු විය. විදේශ මුදල් තහ­නම වැනි පිය­වර බොහෝ ඉන්දි­යා­නු­වන් පීඩා­කාරී විණි. මෙවැනි බොහෝ අවා­සි­දා­යක කාරණා තිබි­යදී වුවද මෝදි විශිෂ්ට ජයක් ලැබුවේ ඇයි? ජාතික ආර­ක්ෂා­වට ප්‍රමු­ඛ­ත්ව­යක් ලබා­දී­මට මෝදි ක්‍රියා­කි­රීම මේ ප්‍රශ්න­යට පිළි­තුර බව විශ්ලේ­ෂ­ක­යන්ගේ අද­හ­සය. ඡන්ද­දා­ය­ක­යන් දැක්වූ අද­හස් බී. බී. සී. ය වාර්තා කර තිබූ අතර, ‍ඉන් පිළි­බිඹු වූයේ ද එයයි. 'ලොකු සංව­ර්ධ­න­යක් නම් වුණේ නෑ. ඒත් ජාතික ආර­ක්ෂා­වට වැඩ කළා. ඉන්දි­යා­වට හිස කෙළින් තබා­ගෙන සිටිය හැකි තත්ත්ව­යක් ඇති­කළා...' ඒ ඔවුන්ගේ අද­හස්ය. බට­හිර මාධ්‍ය ද වාර්තා කළේ, මෝදි යනු අයෝ­මය පාල­ක­යකු බව ය. ජන­තාව ඔහුට ආද­රය කිරී­මට එය ද බල­පෑ­වේය. ජය­ග්‍ර­හ­ණය සඳහා ලබා­ගත යුතු ආසන සංඛ්‍යා­වෙන් අඩක් පමණ දිනා තිබි­ය­දීම මෝදි ජය­ග්‍රාහී කතාව සිදු­කි­රීම ද විශේ­ෂ­යකි. ඔහුට මැති­ව­රණ ජය පිළි­බඳ පැහැ­දිලි විශ්වා­ස­යක් තිබිණි. ජය­ග්‍ර­හ­ණය තහ­වුරු වූ පසු­වද ඔහු කියා සිටියේ මෙම ප්‍රති­ඵ­ලයේ පණි­වි­ඩය ලෝකය තේරු­ම්ගත යුතු බවයි. 'අපි අපේ පර­මා­දර්ශ අත්හ­රින්නේ නෑ. අපේ මනු­ස්ස­කම්, අපේ සංස්කෘ­තිය මේ කිසි­වක් නැති­කර ගන්නේ නෑ...' යනු­වෙන් ඔහු පැව­සුවේ සිය පාල­නයේ දැක්ම ආධ්‍යා­ත්මි­ක­ත්වය හා ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය විසින් ගොඩ­න­ඟනු ඇතැයි පෙන්වා දෙමිනි.

සිය ට්විටර් පණි­වි­ඩය ‍මඟින් ද මෝදි ජන­තා­වට ස්තූති කළේය. 'ස්තූතියි! ඉන්දියා - ජනතා අභි­ලා­ෂ­යන් ඉටු­කි­රී­මට ඔබ අපට ශක්තිය ලබා දුන්නා...' යැයි ද එහි සඳ­හන් විය. සිය පක්ෂයේ සෑම ක්‍රියා­ධ­ර­ය­කු­ටම ඔහු ඉන් ස්තුතිය පුද­කර තිබුණේ ගෙයින් ගෙට යමින් තම සංව­ර්ධන න්‍යාය පත්‍රය ගැන දැනු­වත් කර­මින් ඔවුන් කළ මෙහෙ­වර මෙන්ම ඔවුන්ගේ අධි­ෂ්ඨා­නය කැප­වීම ආදී සියල්ල අගය කරන බව පව­ස­මිනි. පක්ෂ සභා­ප­ති­ව­රයා සමග ජය­ග්‍රා­හීව පක්ෂ මූල­ස්ථා­න­යට පැමිණි අග­මැති මෝදි පාක්ෂි­ක­යන් විසින් පිළි­ගත්තේ රෝස මල් පෙති විසු­රුවා හරි­මිනි. මැති­ව­රණ ප්‍රති­ඵල ප්‍රකා­ශ­යට පත්වෙද්දී බී. ජේ. පී. ආධා­ර­ක­රු­වන් ප්‍රීති­ඝෝෂා පව­ත්වන අයුරු හා ජය­ග්‍ර­හ­ණය සම­රනු දැකිය හැකි විය. අග­මැති මෝදි ලැබූ විශිෂ්ට ජය­ග්‍ර­හ­ණය වෙනු­වෙන් සුබ පතන බව පාකි­ස්තාන අග­මැති ඉම්රාන් ඛාන් දන්වා සිටියේ සුබ පැතුම් එක්කළ මුල්ම නාය­ක­යන් අත­රට එක්වෙ­මිනි. දකුණු ආසි­යාවේ සාමය, සමෘ­ද්ධිය හා උන්න­තිය වෙනු­වෙන් ඔහු සමඟ එක්ව කට­යුතු කිරී­මට සූදා­නම් බව ද එම සුබ පැතුම් පණි­වි­ඩයේ සඳ­හන් විය. අග­මැති මෝදි ද ඉතා මිත්‍ර­ශී­ලීව පාකි­ස්තාන සග­යාට ස්තූති කර සිටියේ දෙරටේ එක­මු­තුව පිළි­බඳ සුබ­වාදී අනා­ගත අපේක්ෂා දල්ව­මිනි. කලා­පීය සාමය හා සංව­ර්ධ­නය සිය ප්‍රමු­ඛ­ත්ව­යක් බව ද මෝදි පවසා ඇත.

අග­මැති මෝදිට සුබ පැතුම් එක්කළ සෙසු ලෝක නාය­ක­යන් අතර අමෙ­රිකා ජනා­ධි­පති ට්‍රම්ප්, රුසියා ජනා­ධි­පති පුටින්, චීන ජනා­ධි­පති ෂී ජිංග් පිංග් ද වූහ.

අනා­ග­මි­ක­ත්වය ගැන 2014 - 2019 කාල­සී­මා­වේදී කතා කළ දේශ­පා­ලන පක්ෂ­ව­ලට ඉන්දීය ජන­තාව මේ මැති­ව­ර­ණ­යේදී පිළි­තුරු දුන් බව අග­මැති මෝදි ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව පැව­සීය. ඔහු මේ ටොක්ක ඇන්නේ කොන්ග්‍ර­ස­යට බව පැහැ­දි­ලිය. ඉන්දි­යාවේ සිටින මිලි­යන 200 ක් පමණ වන මුස්ලිම් ජන­යාගේ සහාය ලැබුණේ අනා­ග­මික කොන්ග්‍රස් පක්ෂ­ය­ටය.

ජය­ග්‍ර­හ­ණ­යෙන් පසුව භාරත ජනයා අම­ත­මින් මෝදි රටේ පොදු ජනයා වෙනු­වෙන් දීප්ති­මත් අනා­ග­ත­යක් උදා­කි­රීමේ කාර්යය සපු­රා­ලන බවට ප්‍රතිඥා දුන්නේය. බිලි­යන 1.3 ක් වන ඉන්දි­යා­නු­වන් අබි­යස හිස­නමා ආචාර කරන බව පැවසූ ඔහු විශාල ප්‍රති­ශ­ත­යක් ඡන්දය ප්‍රකාශ කර­මින් ඉන්දි­යාවේ ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ලොවට පෙන්වා ඇතැයි ද ‍කීවේය. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය තේරුම් ගැනී­මට නම් ඉන්දි­යාව දෙස බල­න්නැයි ඔහු ලෝක­යෙන් ඉල්ලී­මක් ද කළේය.

'මේ මැති­ව­ර­ණ­යේදී කවු­රුන් හෝ දිනුවා නම් ඒ ජය­ග්‍රා­හ­කයා ඉන්දි­යා­වයි. මේ ජය ඉන්දීය ජනයා ලැබූ ජයක් බව අපි ප්‍රකාශ කර සිටි­නවා...' යනු­වෙන් බී. ජේ. පී. මූල­ස්ථා­නයේ සිට මෝදි ජන­තාව ඇම­තුවේ ප්‍රීති‍ඝෝෂා මධ්‍ය­යේය. 'මේ 21 වැනි සිය­වසේ නව ඉන්දි­යා­වක් බිහි­ක­රන බවට' ද ඔහු මෙහිදී ප්‍රතිඥා දුන්නේය. මෙය මෝදි ලැබූ ජයක් නෙවෙයි, මේ රටේ අර­ගල කරන මිනි­සුන්ගේ බලා­පො­රොත්තු සහ සිහින ලැබූ ජයක්. සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් අපේ­ක්ෂා­වෙන් සිටින කාන්තා­වන් ලැබූ ජයක්. මේ රටේ මිනි­සුන්ගේ කුස පුර­වන ගොවි­ජ­නයා ලැබූ ජයක්. මේ සාමාන්‍ය මිනි­සුන් වෙනු­වෙන් දීප්ති­මත් අනා­ග­ත­යක් උදා­කි­රීම මගේ වග­කීම...' යනු­වෙන් ඔහු පැව­සුවේ මේ මැති­ව­ර­ණය ආද­රය ද සමඟ බාර­ගන්න යන ඉල්ලී­මද ජන­තා­ව­ගෙන් කර­මිනි.

මෝදිගේ අභියෝග

ජය­ග්‍ර­හ­ණය තමන් ලැබූ­වක් නොවන බව මෝදි පැව­සු­වද ඔහුගේ නාය­ක­ත්වය පිළි­බඳ ඉන්දි­යා­නු­වන් තැබූ විශ්වා­සය මෙම ප්‍රති­ඵ­ල­යෙන් පිළි­බිඹු වේ. ඔහු සිය ආස­නය වන 'වර­නාසි' ජය ගත්තේ 63.63% ක ඡන්ද ප්‍රති­ශ­ත­ය­කිනි. දෙවැනි තැනට ආ සමා­ජ­වාදී පක්ෂයේ අපේ­ක්ෂිකා ෂලිනි යාදව්ට වඩා ඔහු ඡන්ද 674664 ක් ඉදි­රි­යෙන් සිටී. කොන්ග්‍රස් පක්ෂ අපේ­ක්ෂක අජේ ගායි ලබා­ගත්තේ ඡන්ද 152548 ක් පමණි. මෝදි 2014 දී සිය අසුන ජය­ගත්තේ ඡන්ද 371,000 කිනි. වර­ණාසි ආස­නය සඳහා ඡන්ද විම­සීම පැවැ­ත්වුණේ මැති­ව­ර­ණයේ අව­සන් වට­යේදී ඉකුත් 19 වැනි­දාය.

මැති­ව­ර­ණ­යේදී පරා­ජ­යට පත් කොන්ග්‍රස් පක්ෂ සභා­පති රාහුල් ගාන්ධි පරා­ජය පිළි­ග­නි­මින් කියා සිටියේ මෙය මත­වාද අතර සට­නක් වූ බවය. එම සට­නෙන් මෝදි හා බී. ජේ. පී. ය ජය ලැබූ බව අප කවු­රුත් පිළි­ගත යුතු යැයි ඔහු පැව­සීය. ජය­ග්‍ර­හ­ණ­යට හද­ව­තින්ම සුබ පතන බව පැවසූ ඔහු සිය පක්ෂය හා සාමා­ජි­ක­යන් හද­ව­තින්ම හා මුළු ශක්තිය යොද­ව­මින් මැති­ව­රණ ව්‍යාපා­රය ගෙන ගිය බව පැව­සුවේ ඔවුන්ට තුති පුද­මිනි. ඔවුන් පරා­ජය නොවූ බව පැවසූ රාහුල් ඔවුන් ජය­ග්‍රා­හ­ක­යන් බව ද පැව­සීය. සිය මත­වා­දය ජය­ග්‍ර­හ­ණය කර­වී­මට ඔවුන් කැපවූ බව ද කන­ගාටු වීම අන­වශ්‍ය බව ද පාක්ෂි­ක­යන් අස්ව­ස­මින් කොන්ග්‍රස් පක්ෂ සභා­ප­ති­ව­රයා පවසා තිබේ.

ගාන්ධි - නේරු දේශ­පා­ලන පෙළ­ප­ත­ටම අයත් උරු­ම­යක් බඳු වූ අමෙති අසුන රාහුල් ගිය­වර ජය­ගත්තේ ඡන්ද 100,000 ක් වැනි අවම පර­ත­ර­ය­කිනි. මෙවර රාහුල් අභි­බ­ව­මින් බී. ජේ. පී. අපේ­ක්ෂිකා ස්ප්‍රිති ඉරානි කොන්ග්‍රස් බල­කො­ටුව බිඳ දැමු­වාය. එය ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය බව පැවසූ රාහුල් ඇයට සුබ පැතුවේ ආද­රය ද සමඟ අමෙති ජන­යාට ඇය සේවය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කිය­මිනි.

ජය­ග්‍රා­හීව ජන­තාව ඇමතූ මෝදි ඉන්දි­යාවේ ඇත්තේ කුල 2 ක් පම­ණක් බව කීවේය. ඒ දිළි­න්දන් හා ඔවුන් එතැ­නින් ගොඩ­ගැ­නී­මට වෑයම් කර­න්නන් බව පැවසූ ඔහු මේ දෙපි­රි­සම සවි­බල ගැන්විය යුතු බව පෙන්වා දුන්නේය. එය ඔහු ඉදි­රි­පිට ඇති අභි­යෝ­ග­යකි. විරැ­කි­යාව අවම කිරීම, සිය පළමු ධුර කාලය තුළ ලොව 6 වැනි විශා­ලම ආර්ථි­කය බවට පත් ඉන්දි­යාව එතැ­නින් ඉහ­ළට ගැනීම, කෘෂි­ක­ර්මා­න්තය නඟා­සි­ටු­වීම, සුළු­ජන කොට­ස්ව­ලට රැක­ව­රණ සැල­සීම වැනි කාරණා සෙසු අභි­යෝග ලෙස මෝදිගේ දෙවන ධුර කාලය ඉදි­රි­පිට තිබේ.

නව අදහස දක්වන්න