මැටි සහ පොටරි | දිනමිණ

මැටි සහ පොටරි

 

“මොකක්ද ටොම්සන් මහත්තයා මේ මැටි ප්‍රශ්නය?” කියා ඇසුවේ ඇම්බන් මහත්තයා. හුඟක් කාලයකට පස්සේ මුණගැසීමේ සතුට නිසා ටොම්සන් මහත්තයා සහ ඇම්බන් මහත්තයා ‘ඇඹුල’ අවන් හලට වැදී බත් කමින් සිටියේ මැටි පිඟාන්වලය. මැටි කිව්වාට ඒවා පිඟන් මැටියෙන් තනාපු අලංකාර පිඟන්ය. ආහාර දමා තිබුණේ රතු පැහැති මැටි වළංවලය. සමහර විට ඇලුමිනියම් වළංවල උයා මැටි වළංවලට දැමුවා වන්නටද බැරි නැත.

“මේකනේ ඇම්බන් මහත්තයා... දැන් ඔය රාජ්‍ය අමාත්‍යාංශයක් ආවානේ වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධනය කියලා... ඒකේ එකක් තමයි මැටි ඒ කියන්නේ ඉංග්‍රීසියෙන් පොටරි කියලයි තියෙන්නේ... ” ටොම්සන් මහත්තයා බත් කටක් කටේ දා ගන්න ගමන් කීවේය.

“හරි ඉතින්... මොකක්ද ඕකේ තියෙන ප්‍රශ්නේ... ඒක මේ රටේ හරිම පැරණි ග්‍රාමීය කර්මාන්තයක් නේ.. ඒ විතරක් නෙවෙයි... ටොම්සන් මහත්තයාට කියන්න... ඒ කාලේ අපි ඉස්කෝලෙදි මැටිවලින් අත්කම් කළානේ... මැටි අනලා භාජන හැදුවා... ගඩොළු හැදුවා... මැටි කැට හැදුවා... පිඟන් හැදුවා... දැන් ඉතින් ඒවා නෑනේ... දැන් කඩෙන් අරන් ක්ලේ පැකට් නේ ළමයි අරන් යන්නේ...”

“ඒක තමයි... දැන් මේ අමාත්‍යාංශේ තියෙන අනික් ඒවා ගන්නකෝ... වේවැල්, පිත්තල, ලී බඩු වගේ අනික් කිසි දෙයක් ගැන නොකියා මොකද මේ මැටි ඇමති කියන්නේ... මොකක්ද ඒකේ තේරුම... වේවැල් ඇමැති කියන්න තිබුණානේ... එහෙම නැත්නම් පිත්තල ඇමැති, එහෙමත් නැතිනම් ලී බඩු ඇමැති... ඇත්තටම මේක ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යාංශයක් නේ... ඉතින් මේ රටේ මිනිස්සුන්ගේ හැටි එහෙම තමයි... ඕනැ එකක අවමාන කරන්න පුළුවන් දෙයින් තමයි අල්ලා ගන්නේ...” කියා ටොම්සන් මහත්තයා අත සෝදා ගත්තේය.

“මට නං හිතෙන්නේ එහෙම නෙවෙයි ටොම්සන් මහත්තයා... දැන් ඔය මාධ්‍ය කට්ටිය නේ මැටි ඇමැති කියන වචනේ රෙජිස්ටර් කරන්න හදන්නේ... එතන කරන්නේ ඇත්තටම ඒ වචනය අවමානයට පාවිච්චි කරන එක නේ... ඒ කාලේ ඉස්කෝලේ ඒ තරම් ඉගෙන ගන්න දක්ෂකම් නැති ළමයින්ට මැට්ටා කියලා කිව්වා නේ... අපේ පන්තියේ හිටපු එක මැට්ටෙක් ඇත්තටම අද වෙන කොට අර මොළගොඩ මැටි කර්මාන්තය ගම්මානයේ ලොකු සාප්පුවක් දා ගෙන ඉන්නවා... එහෙම බැලුවම අපි තමයි මැට්ටෝ වෙලා තියෙන්නේ... නැද්ද මං අහන්නේ...?” කියා ඇම්බන් මහත්තයා සිනහසුණේය.

“මට තියෙන ප්‍රශ්නේ ඒකම නෙවෙයි ඇම්බන් මහත්තයා... අනුන්ට මැටි මැටි කියන මේ මාධ්‍ය මහත්තුරු කවදාවත් මැටි පාගලා නැති අයනේ... අඩු ගණනේ ඇවිදින කොටවත් මැටි ටිකක් පෑගිලා නෑ... ඒකනේ අර මහජනයාට කියලා පටන් ගත්ත බැංකුවටත් මැටි අමතක වෙලා ප්ලාස්ටික්වලට ගියානේ... පහු ගිය අවුරුදු කීයක් මේ විදිහට ග්‍රාමීය ශිල්පීන්ට ලැබෙන්න තිබුණු ආදායම ප්ලාස්ටික් වෙළෙන්දන්ට යන්න ඇතිද? හොඳ වෙලාවට ඒක මේ සැරේ වැළකුණා... නිකම් හිතන්න මැටි කැට ලක්ෂයක් කියන්නේ ඒ ආදායම යන්නේ මේ රටේ ග්‍රාමීය ශිල්පීන්ට නේද? අපේ රටේ දේශපාලනය මීට කලින් මේ විදිහට හැසිරෙව්වා නම් අපේ රටට කොයි තරම් වෙනසක් වෙන්න තිබුණාද?”

ඇම්බන් මහත්තයා දුරකතනයෙන් මහජන ලොක්කාට කතා කළේය.

“දැන් ලොකු මහත්තයා... පහු ගිය කාලේ නිකමටවත් හිතුණේ නැද්ද මේ විදිහට ප්ලාස්ටික් කැට ළමයින්ට දෙන කොට ඒකේ තියෙන ආදීනව... එක පැත්තකට ඒ ප්ලාස්ටික් කැටය නොදිරන අප ද්‍රව්‍යයක් වෙනවා... අනික් පැත්තට නිකම් හිතන්නකෝ මැටි කැටය ඇතුළේ කාසි හෙලවෙන කොට කොච්චර මිහිරි සංගීතයක්ද? ඒ විතරක් නෙවෙයි... දේශීය ශිල්පීන්ට ලැබෙන්න තිබුණු ආදායමක් නේද මේ විදහට නැති කළේ...? ඒ විදිහටද මහජනයා වෙනුවෙන් වැඩ කරන්නේ...? හොඳ වෙලාවට මේ සැරේ ඒකට භාර කාරයෙක්ම ආවේ... නැතිනම් මේ සැරේ වෙන්නෙත් ඒකම තමයි නේද?” කියා ඇම්බන් මහත්තයා කොචොක් එකට කතා කළේය.

මහජන ලොක්කා ටික වේලාවක් කතා නොකර සිටියේය. එක සැරේටම කියන්නට උත්තරයක් සොයා ගන්නට ලොක්කාට නොහැකි විය.

“මේකනේ ඇම්බන් මහත්තයා... ඇත්තටම නම් නිදහසින් පස්සේ අපි ඔක්කෝටම වැරදුණා තමයි... අපේ රටේ තියෙන දේශීය සම්පත් අත ඇරලා පිට රටට ගියානේ.... ඔක්කොම පිස්සු වැටිලා නේ හිටියේ.. අන්තිමට කැටපෝලෙත්, සරුංගලෙත් රටින් ගෙන්නුවා... දැන් තමයි හරි පාරට වැටිලා තියෙන්නේ... ඒකේ හිතේ අමාරුවට තමයි ඔය ඇමැතිතුමාට අවමාන කරන්න නම් පට බඳින්නේ... දැන්වත් හරි පාරට වැටුණු එකට මටත් හරි සතුටුයි... එහෙනං ජය වේවා...” කියා මහජන ලොක්කා දුරකතනය විසන්ධි කළේය.

ටොම්සන් මහත්තයා හිස වැනුවේය.

“ඇම්බන් මහත්තයා... මේ රටේ වැඩි ජනතාවක් හොඳට මොළේ ඇතිව වැඩ කරන අය... මොළේ මැටිවලින් හැදිලා තියෙන්නේ ටික දෙනෙකුගේ විතරයි... ඒ අය තමයි ඔය නම් පට බඳින්නේ... ඔය වගේ අසනීපවලට බෙහෙතුත් නෑ නේ... ඒ හින්දා කළ යුතු දේ හරියට කරන එක තමයි තියෙන්නේ... නැද්ද ඇම්බන් මහත්තයා... එහෙනම් අපි යමු...”

ඇම්බන් මහත්තයාත් සමඟ ටොම්සන් මහත්තයා ‘ඇඹුල’ අවන් හලෙන් එළියට බැස්සේය.

බන්දුල පී. දයාරත්න

නව අදහස දක්වන්න