ඇස් කතා | දිනමිණ

ඇස් කතා

 මුළු ලොව බිය කළ වයිරසයක් ගැන

සැක සංකාවන් ඉවත නොලා

සිසිවන වුවනක් අඩ සඳ කරමින්

රෙදිපොටකින් ඇත මුවා වෙලා

ඉස්සර නම් කොල්ලෙක් ඇහැ දැම්මට

ගෑනු ළමයි නැත කෙළින් බලා

මුව නොපෙනෙන හින්දද දන්නෙත් නෑ

මුකුළු කරයි දැන් බැලුම් හෙළා

 

දෙතොලින් නොවැසුණු බොල්ලෑ දත් පෙළ

හින්දම කවුරුත් ඉවත බැලූ

ඔපීසියේ වැඩි ලකයක් නොපෙනුණු

අනූපමා කොට ටිකක් කළූ

මුකවාඩම් ලා එනවා දැක්කම

දැනුණෙ පුදුමයක් නෙවෙයි සුළූ

ඇගෙ ඇස් දෙක නිල් මානෙල් වාගෙයි

පාන්දරම පොකුණකින් නෙළූ

 

ඉස්ටේසම වෙත උදයෙම දිව එන

හීන්දෑරි උස හැඩ කෙල්ල

හැමදාමත් මං ළඟින් ඇවිද්දේ

නවාගෙනයි බිමටම බෙල්ල

දෙතොල නොපෙනුණත් අද ඇගෙ ඇස් දෙක

වුණා මගේ දෑසට එල්ල

හී සර වාගේ ඒ ඇස් බැල්මට

විය මාගේ හදවත මෙල්ල

 

දූවිලි වැඩිපුර නොවදින හින්දා

පීනස පොඩ්ඩක් දුරස් වුණේ

කම්මුල දෙපසේ රැළි දෙක වැහුණම

පොඩ්ඩක් අඩුවෙන් වයස පෙනේ

ලස්සන ඇස් ඇති කෙල්ලන් ඒකයි

මදෙසට හෙළුවේ බැලුම් සෙනේ

මං වගෙ මැදි වයසක පිරිමින්ටත්

මුඛ වාඩම් සැනසුමක් ගෙනේ

 

පායා ආවා වාගේ දේදුනු

ළා අවු රැල්ලක ගුවන් ගැබේ

බොර වුණු, පෑදුණු පොඩි විල් දෙකකට

දෙබැම වඩයි ළඟ ඉඳන් ලොබේ

නා දළු දෙතොලට හිමි වී තිබු තැන

ඩැහැගත්තා නොව ලැබුණි ඉබේ

නහය, නිකට, කට හැඩ වැඩ නැතුවත්

කාටත් ලස්සන දෑස් තිබේ

 

හිතේ තියෙන දේ අහගන්නට නම්

ඇසේ බහ තමයි හොඳම ඉතා

දුක, සන්තෝෂය, කෝපය, ප්‍රේමය

ඕනැ දෙයක් එහි තිබෙයි ඔතා

මුඛවාඩම් ලා මග තොට යන එන

අය දෙස බැලුවම හොඳින් සිතා

මුවගින් දොඩමලු වුණත්, නැති වුණත්

කොයි කාගෙත් ඇස් කරයි කතා

නව අදහස දක්වන්න