Sunday, May 5, 2024
Home » අලි සබ්රි රහීම් ගැන සභානායක විමර්ශනයක් ඉල්ලයි

අලි සබ්රි රහීම් ගැන සභානායක විමර්ශනයක් ඉල්ලයි

රේගු වංචා සිද්ධිය

by gayan
August 26, 2023 1:00 am 0 comment

රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධිව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා පිළිබඳව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දී ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක ඇමැති, ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ඉල්ලීමක් කළේය.

අලි සබ්රි රහීම් මහතා මේ රත්රන් සහ ජංගම දුරකතන පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සිය රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවභාවිත කරමින් නීති විරෝධිව කටුනායක ගුවන්තොටුපොළේ ප්‍රභූ පර්යන්තයෙන් 2023 මැයි 23 දින මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මේ මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75ක දඩ මුදලක් නියම කර ඇති බවත් සභානායකවරයා පැවසීය. අදාළ මන්ත්‍රීවරයා රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කෙරුණු බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

අදාළ මන්ත්‍රීවරයා මන්ත්‍රී චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බැවින් සහ මහජන නියෝජිතයකු වශයෙන් මහජන විශ්වාසය කඩකර ඇති හෙයින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ නියෝජනය කරන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවද සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. එබැවින් ස්ථාවර නියෝගවල 118 වැනි වගන්තිය යටතේ අදාළ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශන පැවැත්විය යුතු බව සභා ප්‍රධාන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT